වර්ෂ 2015 ක්වූ ජූලි 30 වැනිදා බ්‍රහස්පතින්දා




පුවත් කෙටියෙන්

ප්‍රවේගය ලක්ෂ 760 ඉක්මවයි

ප්‍රවේගය තිරගතවීමට පටන් ගෙන දින 45 ක් තුළදී රුපියල් ලක්ෂ හත්සිය හැටක ආදායමක් උපයා ඇති බව එහි සම අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත සරසවියට දැන්වීය. මේ වන විට ඉහළ ප්‍රතිචාර ලබමින් ප්‍රවේගය තිරගත වන බව ඔහු දන්වා සිටියේය. හේමාල් රණසිංහ, ජැක්සන් ඇන්තනි, උදාරි පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, ජයලත් මනෝරත්න, ගජන් ගනේෂන්, පුබුදු චතුරංග ඇතුළු නළු නිළියන් රැසක් රඟපාන ප්‍රවේගය ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමති සදේශ් කුමාර්ගේ නිෂ්පාදනයකි.

දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානයේ නිලධාරින් හෙට තෝරා ගැනේ

දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානයේ තෙවැනි වර්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ නිලවරණය මෙම මස 31 වැනිදා එනම් හෙට උදෑසන 10.00 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ සුදර්ශී ශාලාවේ පැවැත්වේ. එදින සංධානයේ නව සාමාජිකත්වය පිරිනැමීම සහ නව වැඩ සැලැසුම ද ඉදිරිපත් කෙරෙනු ඇත. මේ සඳහා සහභාගි වන්නට සිනමා ක්ෂේත්‍රයේ දැනට සක්‍රියව කටයුතු කරන සංධානයේ ප්‍රචාරක ලේකම් ලලිත් පන්නිපිටිය ඇරැයුම් කොට සිටියි.

සුභූති පාසලට විශිෂ්ට ජයක්

බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ අංශයේ නාට්‍ය කණ්ඩායම පසුගියදා පැවැති 2015 සමස්ථ ලංකා පාසල් නර්ථන සහ මුද්‍රා නාට්‍ය තරගාවලියේදී විශිෂ්ට ජයක් හිමි කර ගන්නා ලදී. මේ එම කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටි අන්දමයි.

 

හේම ශ්‍රී - අයිරින් යුවළට ටවර්හෝල් ඇස යොමු වේ

මේ වන විට අසරණ වී ජීවිතය ගෙවන ජනප්‍රිය ගීත රචක හේම ශ්‍රී අල්විස් සහ ගායිකා අයිරින් ද අල්විස් වෙනුවෙන් ටවර්හෝල් පදනමෙහි අධ්‍යක්ෂ ලයනල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි රුපියල් විසිපන් දහසක මූල්‍යමය තිළිණයක් පිරිනැමිණ. ටවර්හෝල් පදනමහි චන්දන බණ්ඩාර විසින් හේම ශ්‍රී, අයිරින් දෙපොළට එම ත්‍යාගය ඔවුන්ගේ නිවසේදී පිරිනැමිණ.

පොල් කොළවලින් ගීතයක්

ගායන ශිල්පී අජිත් රන්දුණුගේ ගැයූ ප්‍රථම මව් ගුණ ගීතය 'පොල් කොළවලින්' පසුගියදා රූප රචනය ද සමඟ පසුගියදා එළිදැක්විණ. මෙය ශාන්ත දේශබන්දුගේ පද රචනයක් වන අතර අශෝක පීරිස්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. 'පොල් කොළවලින්' ස්වාධීන රූපවාහිනියේ හීන හතක් වැඩසටහන මඟින් රස විඳිය හැකිය.

සමන් - අශෝක සොහොයුරන්ගේ මෑණියන් මිය යයි

සමන් ආතවුදහෙට්ටි සහ අශෝක ආතවුදහෙට්ටි යන දෙසොහොයුරන්ගේ මෑණියන් වූ ජී. ඊ. පියසේන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට වයස අවුරුදු අසූ නවයක් වූ ඇය නැසීගිය ළමා නාට්‍යවේදී හා රාජකීය විදුහලේ ආචාර්යවරයකු වූ ඒ. එච්. පියසේනගේ ආදරණීය බිරිය ද විය. කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමික ගුරු මාතාවක් වූ පියසේන මහත්මියගේ දේහය ඇයගේ අවසන් ඉල්ලීම පරිදි කොළඹ වෛද්‍ය පීඨයට බාර දෙනු ලැබිණ.