|
කට වැඩිකමත් හොඳට ගියා
දිලාන් සේනානායක
මහනුවර කටුගස්තොටින් කොළොම්පුරවරයට පැමිණෙන මේ තරුණයා කටකාරයෙකි. කුඩාකල පටන්ම ඔහුට උරුම වූ කටකාරකම නිසාම පවුලේ සිල්ලන්ගේම සිත් දිනා ගත්තත් අම්මාගේ හොඳ සිත දිනා ගැනීමට නම් මේ තරුණයාට ලෙහෙසි පහසු කාර්යයක් වන්නේ නැත. මේ වනවිටත් ඒ සිය අභිප්‍රාය ඉටුකර ගනිමින් අම්මාගේ මෙන්ම රටේ බොහෝ දෙනාගේ හදවත්වල ජීවත්වන ඔහු දෙරණ සේවයේ නිවේදකයෙක්, හඬ කැවීම් අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබ හමුවට පැමිණෙන දිලාන් සේනානායකයි. ඔබ මේ පැත්තට යොමු වෙන්නේ කොහොමද? මම පාසල් ගියේ මහනුවර විද්‍යාර්ථ විද්‍යලයටයි. ඒ කාලයේ ඉඳලාම මම පාසලේ මීඩියා යුනිට් එකේ වැඩ කළා. ඒ විතරක් නෙවෙයි පාසලේ ක්‍රිකට් කණ්ඩායමේත් නායකයා දහනවයෙන් පහළ වෙනතුරුම. ඒ අතරතුරයි දවසක් පාසල් මට්ටමේ තියෙන හඩ කැවීම් තරගයට මගේ යාළුවෙක් වුණු චලකගේ යෝජනාවකට අනුව ඉදිරිපත් වුණේ. එතැනදි මට දෙවැනි ස්ථානය හිමි වෙනවා. වානිජ අංශයෙන් උසස් පෙළ කරලා ඉන්න මම මුලින්ම බොහොම ආදරය කරන්නේ ක්‍රිකට්වලටයි. එතැනදි ඇතිවන සිත් රිදවීමක් නිසයි මා මේ හඬ කැවීම් කියන අංශය තෝරා ගන්නේ. ඒ වනවිටත් මම පුංචි දේවල් කරලා ඊට සම්බන්ධ වෙලා තමයි සිටියේ. ඒ සිරස ගුවන් විදුලියටයි. එහි සිටිය කාංචන අමරරත්න කියන හඬ කැවීම් අධ්‍යක්ෂවරයා මාව පසන් කීර්ති නන්ද මහත්මයා ළඟට යොමු කළා. ඔවුන් අතරට මාව යොමු කළේ මගේ ගුරුවරයා වුණු අතුල ජයසිංහයි. ඔබ දෙරණට ශිල්පියෙක් විදියට පැමිණෙන්නේ කොහොමද ? දෙරණට මාව යොමු කරන්නෙත් අතුල ජයසිංහ මහත්තයා. ඔහුව විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මේ අතර ශ්‍යාමලී ලිවේරා කියන ප්‍රවීණ හඬ කැවීම් ශිල්පිනිය මට මුණ ගැසෙන්නේ දෙරණ ගුවන් විදුලියේ වැඩ කරගෙන යනවිටයි. හඬ කැවීම් පිළිබඳ මගේ සිතේ තිබෙන ආශාව පිළිබඳ කිව්වට පස්සේ ඇය මාව යවන්නේ ප්‍රාන් වාකිෂ්ට කියන මගේ හඬ කැවීම් ගුරුතුමා ළඟටයි. ඔහුගෙන් තමයි මම හඬ කැවීම් පිළිබඳ ඉගෙන ගන්නේ. ඔහු මා ගැන කොයිතරම් විශ්වාසයක් තිබ්බාද කියලා කිව්වොත් ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘සත්‍ය ගවේශක’ කියන කතා මාලාවේ ප්‍රධාන චරිතය වුණු රිචඩ් සයිෆර්ගේ චරිතයට මට හඬ කවන්න දෙනවා. එය සාර්ථක වෙනවා. බොහෝ දෙනෙක් මාව හඳුනා ගන්නවා. මේ චරිතය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙන්නේ. ඊට පස්සේ ‘අසෙලියා මල’ නාට්‍ය මාලාවේ දුෂ්ටයා වුණු ඉන්සු කියන ශිෂ්‍ය සභාපතිගේ චරිතයට මා හඬ කවනවා. මේ ඇතිවුණු පසුබිමත් සමඟ දෙරණ රූපවාහිනියේ තරංග කුමාරසිංහ හා අනුරාධ සිගේරා කියන දෙන්නාගේ මැදිහත් වීමෙන් ‘බෝයිස් ඔෆ් ෆ්ලවර්ස්’ කියන ටෙලි නාට්‍ය මාලාවට මාව සම්බන්ධ කර ගන්නවා. එහි අධ්‍යක්ෂවරයා විදියට සිටියේ චරිත් කොතලාවල. මම එහි කටයුතු කරන්නේ සහය හඬ කැවීම් අධ්‍යක්ෂවරයා හා දෙබස් නිර්මාණකරුවා ලෙසයි. මට හිතෙන විදියට මේ කොරියානු නාට්‍ය උන්මාදයක් ආරම්භ වෙන්නේ මේ නාට්‍ය හරහායි. ඒ එහි ඉන්න පිරිමි ළමයින් නිසා. ඒ වගේම අපේ ආයතනයත් තේරුම් ගන්නවා මට හරියන්නේ මේ අංශයමයි කියලා. ඊට පස්සේ වෙනත් වෙනත් කාර්යයන් පවා ඔබට පැවරෙනවා ඇත්තෙන්ම ඔව්. ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, නිවේදකයෙක් විදියට වැඩ කරමින් ඉන්න අතරතුර මට අපේ දෙරණ වෙබ් එකෙන් කතා කරනවා විසි හතර පැය නාලිකාවේ ‘ටෙක්ගුරු’ කියන තාක්ෂණික වැඩසටහනට. ඒ විමුක්ති ලියනගේ විසින්. ඒ සඳහා මට උදව් කරන්න තව කෙනෙක් තමයි අදීෂ ගුරුගේ. ඔවුන් දෙදෙනාවත් සිහිපත් කළ යුතුයි. එතැනින් පස්සේ චතුර අල්විස් ඇතුළු ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායමෙන් මට ආරාධනාවක් ලැබෙනවා. ඒ අනුවයි ‘ලෝකය සහ ලෝකයෝ ’ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. එතැනදි මම කරපු දේවල් මගින් වැඩසටහනට ආලෝකයක් ගෙනෙන නිසයි දිගටම ඒ අයත් සමඟ රැඳී සිටින්න අවස්ථාව හිමි වෙන්නේ. අද වනවිට ඒ වැඩසටහන බොහොම ජනප්‍රියයි. ඔබ කරන කුංෆු චණ්ඩි මේ දවස්වල ළමයින් අතර ජනප්‍රිය කාටුන් වැඩසටහනක් බවට පත්වෙලා නේද? ඔව්. මා හඬ කැවීම් අධ්‍යක්ෂවරයෙක් බවට පත්වන්නේ මේ වැඩසටහනෙන්. ඒක ළමයින් අතර බොහොම ඉක්මනට ජනප්‍රිය වුණා. මේ කාටුන් වැඩසටහනක් එවැන්නක් බවට පත්වීම නිසා මට දැනෙන්නේ සතුටක්. මේ අතර එදා ඉඳලා තිබුණු ඔබගේ ක්‍රිකට් සිහිනයට මොකද වෙන්නේ? 2006 දි මගේ රෝහණ සේනානායක කියන බාප්පා තමයි මාව මුලින්ම කොළඹට ක්‍රිකට ගහන්න එක්කන් එන්නේ. කැන්ඩි යූත් කියන ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරද්දි එක් අවුරුද්දකදි මම ලංකාවෙන්ම තුන් ඉරියව්වෙන් හොඳම ක්‍රීඩකයා බවට පත් වෙනවා. ඒකට කියන්නේ අන්තර් සමාජ තරගාවලිය කියලා. එහි දෙවැනි කොටසෙන් තමයි මට මේ ජයග්‍රහණය හිමි වන්නේ. ඒ නිසයි බාප්පා මාව කොළඹ ඇවිත් ක්‍රිකට් සෙල්ලම් කරන්න පොලඹ වන්නේ. ඇත්තම කිව්වොත් ක්‍රිකට් හීනය මම තවම අතහැරලා නැහැ. එහෙම වෙන්නේ මම හිතන්නේ එක මගේ ඇඟේ තියෙනම දෙයක් නිසයි. ඉදිරියේදි ක්‍රිකට්වලින් මොකක් හෝ වැඩක් කරන්න සිතාගෙන ඉන්නවා. අම්මාගේ හොඳ සිත දිනා ගත්තේ කොහොමද? ඇත්තම කිව්වොත් මම ඒ දවස්වල මගේ කට වැඩිකම නිසා අම්මගෙන් නොසෑහෙන්න ගුටි කාලා තියෙනවා. ඒක වෙනස් වුණේ මම දෙරණට පැමිණියාට පස්සෙයි. අම්මා දැන් තමයි කියන්නේ ඒ කට වැඩිකම නම් හොඳයි කියලා. අද මම පවුලට නැතිවම බැරි කෙනෙක් වෙලා වගේ කියලයි මට හැඟෙන්නේ. මොකද ලොකු අම්මලා, ලොකු තාත්තලා මම ගෙදර ආවට පස්සේ මාව වටකර ගන්නවා. ඒ මගේ රස කතා අහන්නයි. වාණිජ අංශයෙන් ඉගෙන ගත් ඔබගේ රැකියාවට දැන් ගෙදරින් ප්‍රශ්නයක් එල්ල වෙන්නේ නැද්ද? මුලින්ම නම් මම මේ රැකියාව තෝර ගත්තට පස්සේ නිවාඩු එහෙම නැති නිසා මොකක්ද ඔය තෝරගත්ත රස්සාව කියලා පුංචි චරු චුරුවක් තිබුණා. දැන් නම් ඒක ඇත්තේ නැහැ. හඬ කැවීම් අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබටත් හඬ කැවීම්වලදි චෝදනා එල්ල වී තිබෙනවාද? මට මතකයි ‘බෝයිස් ඔෆ් ෆල්වර්ස්’ කියන කතා මාලාවට යම් චෝදනාවක් එල්ල වෙනවා. ඒ කතා කරන වචන අතර සාමාන්‍ය වචන ගොඩක් දමලා තිබෙනවා නේද කියලා. ඒ වගේම ඒවා ළමයින්ට ගැළපෙන්නේ නැහැ නේද කියලත් ඔවුන් අහනවා. මම ඒ අයගෙන් අහන්නේ වචනවලින් ළමයින් නරක් වෙනවා නම් අපි ගෙදරදි කරන කියන දේවල් සිතනවාද කියලයි. තාත්තා, අම්මා තමන්ගේ ළමයි ඉස්සරහ තියාගෙන දික්කසාද ගැන, අල්ලපු ගෙදර ගැන, ඒ අයගේ වැරැදි, අඩුපාඩු, ඕපාදූප ගැන එහෙම නම් කොයිතරම් කතා කරනවද කියලා අපට මතකයට නැගෙන්නේ එතකොටයි. ළමයි නරක් වෙනවා නම් ඒ දේවල්වලිනුත් නරක් විය යුතුයි. ඒ නිසා ළමයි මුලින්ම නරක් වෙන්න ඕන හරි නම් ගෙදරින්. අපි මේ කතා මාලාවේදි පරුෂ වචන යොදා ගත්තේ නැහැ. මිනිස්සු සාමාන්‍ය කතා කරන විදියට අපි කතා කළා. වචන නිර්මාණය කළ යුතු නැහැ. හඬ කැවීම් කරනවා කියන්නත් අපි සාමාන්‍යයෙන් කතා කරන විදියමයි. එතැනදි අමුතු දෙයක් විය යුතු නැහැ. ඒක ඩබ් කරලා තියෙනවා තේරෙන්නේ නැහැ කියන වචනය අපට එන්නේ අපි ඒ විදියට හඬ කැව්වොත් පමණයි. ඒක මට කියලා දුන්නේ ගාමින්ද ප්‍රීති විරාජ්, සුමිත් චිත්‍රානන්ද, අතුල ජයසිංහ කියන අයයි. හඬ කැවීම්වල හඬේ බරක් නොමැති වීම නිසා ඒ අසන අසන්නන්ට ඒ කතා අසන්නට සිත් දෙන්නේ නැහැ නේද? මේ ගැන ඔබ මොකද පවසන්නේ? ඒකට එක් හේතුවක් ලෙස මා දකින්නේ පිටපත වෙලාවට නොලැබීමයි. එක්කෝ මා ලැබුව අත්දැකීම් අනුව නම් හඬ කැවීම් ශිල්පීන් හැසිරවීම සම්බන්ධයෙන් නිෂ්පාදවරයාගේ තිබෙන අඩු දැනුමත් මේ සඳහා බලපානවා. එක් වරක් වැරැදුනොත් ඒක යළිත් ගතයුතු බවත්, ඔය වචනය කියවෙන්න ඕන මෙහෙමයි කියලා කියන දැනුමත් ඔහු සතුවිය යුතුයි. එවිටයි වරදක් වුණත් හදන්න පුළුවන් වන්නේ. ඒ වගේම ආප්ප බානවා වගේ නිර්මාණ කරන්න ගියොත් නම් ඔය තත්ත්වය ඇති වෙනවා. ඒ නිසා මට බයක් නැතිව කියන්න පුළුවන් ඔය කියන චෝදනා ටී.වී දෙරණට හෝ එෆ්.එම්. දෙරණට නැගෙන්නේ නෑ කියලා. ඒ වගකීම අපි ගන්නවා. ඒ වගේම මට මේ ගමන එන්න උදව් කළ සියලුම දෙනාටත්, මගේ අම්මාටත්, තාත්තාටත්, සහෝදරයන් හතර දෙනාටත්, නෑදෑයන්ටත් ස්තූති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ගුරුවරුන්ට ස්තූති නොකළත් ඔවුන්ගේ නම් කියවුණු නිසා එසේ නැවත කළයුතු යැයි මා සිතන්නේ නෑ. මෙතනට එන්න මගේ ජීවිතයේ මම මුහුණ පෑ අමාරු කාලයේදී මගේ ළඟින්ම සිටිය තරිඳු ප්‍රභාත්, ප්‍රසන්න ඉන්ද්‍රජිත්, සුරංග පැතුම්, අමිල වගේම ජනක, මධුක, ලලනි, තිලින කියන මිතුරන්වත් මේ අවස්ථාවේ මම මතකයට නගනවා. මාත් සමඟ වැඩ කරන සියලුම දෙනාවත්, ආයතන ප්‍රධානීන් වන මාධව මඩවල, ලක්සිරි වික්‍රමගේ යන මහත්වරුන්වත්, ශර්මිලා ධර්මරාසා මෙනෙවිය යන සියල්ලන්ටමත් මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
|