|
තවම මං වටිනාකම සොයා ගෙන යනවාරිදී තිරයේ ප්‍රවේගය, පුංචි තිරයේ ඇසිඩ් - එරංග ජීවන්ත
එරංග ජීවන්තට අපි කතා කරන්නේ ජීවා කියලා. ඔහුගේ සැබෑ ජීවිතයේ කෙසේ වෙතත් මිතුරන් අතරේ නම් එරංගව හොඳටම ප්‍රසිද්ධ ඒ නමින්. ප්‍රවේගයෙත් ඔහුගේ නම ජීවා. ප්‍රවේගය නරඹපු බහුතකරයක් එරංගගේ රංගනය ගැන වර්ණනා කළා. හොඳ අනාගතයක් ඇති නළුවෙක් කියලයි විචාරකයින්ගේ අදහස. ජීවා, ප්‍රවේගය ඔබේ කී වැනි චිත්‍රපටයද? හතරවැන්න. මීට කලින් මං චැලෙන්ජස්, පරාවර්ථන, සුපර් සික්ස් චිත්‍රපටවල රඟපෑවා. ප්‍රවේගයේ ජීවාට හොඳ ප්‍රතිචාර විඳිමින් ඔබ මේ දිනවල කල් ගෙවනවා ඇති නේද? ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. ප්‍රවේගය චිත්‍රපටය බාල මහළු කොයි කා අතරෙත් ඉතාම ජනප්‍රියයි. එය නරඹපු ගොඩ දෙනෙක් මට කතා කළා. ඒ අය මට සුබපැතුවා. මේ දිනවල තුසිත සිල්වාගේ යකඩ දෝලි සහ චාමර පීරිස්ගේ ඇස්ඩ් යන ටෙලි නාට්‍යවලත් ඔබ ඉන්නවා? මං එහි රඟපාන්නේ ජගත් කියලා චරිතයක්. ජගත් ව්‍යාපාරික පුතෙක්. මට කොහොමත් විවිධාකාර වූ චරිතනෙ ලැබෙන්නේ. ජගත් කියන්නෙත් එහෙම චරිතයක්. ඇසිඩ් එකේ හරීනුත් එහෙමයි. ප්‍රවේගය සිනමාපටය ගැන ඔබේ පොදු අදහස කියන්න? ප්‍රවේගය කියන්නේ අවශ්‍ය කාලෙදි ප්‍රේක්ෂකයන්ට ලැබුණු නිර්මාණයක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔබ රඟපෑ නාට්‍ය පෙළ පිරික්සා බලද්දී ඔබ තෝරා බේරාගෙන රඟපාන නළුවෙක් කියලා මට හිතුණා? ඒක හරි. ඇයි එහෙම තීරණයක ඉන්නේ? ප්රේක්කෂකයින් හොඳයි කියන චරිතවලට තමයි අප පණ පෙවිය යුත්තේ. ඔවුන් අපේ රංගනයක් දෙස බලලා අනේ අපොයි කියනවා නම් අපේ නළුකමෙන් තේරුමක් නැහැ. ඒ හින්දා මං චරිතයක් ලැබුණාම දෙපාරක් තුන් පාරක් කල්පනා කරලා බලනවා ඒක කරනවද නැද්ද කියලා. ඔබ වෘත්තීය නළුවකු නොවන්නේ ඇයි? මං රැකියාවක් කරනවා. ඒ ගමන් තමයි රඟපාන්නේ. රඟපාන්න තරම් කාල වේලාවක් රැකියාව කරන අස්සේ හොයා ගන්න පුළුවනිද? මං නියැලෙන්නේ නිර්මාණාත්මක අංශයේ රැකියාවක. මට ඒකත් එක්ක රංගන කටයුතු සමබර කරගන්න පුළුවන්. එරංග වැඩිිපුරම හිටියේ චාමර පීරිස්ගේ නාට්‍යවල, අයාල්, පියවි, යාය 4, ඇසිඩ්. චාමර ඇයි ඔබව නිතරම තමන්ගේ නිර්මාණවලට යොදා ගන්නේ? ඒක චාමර අයියගේ කැමැත්ත. ඔහුට හිතෙනවා ඇති ඔහුගේ නාට්‍යවල චරිතයනට මං සාධාරණයක් ඉටු කරනවා කියලා. ඒකනෙ ඔහු මාවම ගන්නේ. අනික ඔය නාට්‍ය හතරෙම මං විවිධාකාර චරිත රඟපෑවා. මටත් ඒක චේන්ජ් එකක්. ඔබගේ රංගනය ජනප්‍රියත්වය උදෙසා නොවන වග පැහැදිලියි? ඒක හරි. මොකක්ද ඔබේ අරමුණ? නළුවෙක් එක දිගට රඟපෑවාම ජනප්‍රිය වෙනවා. ඒ වගේම හොඳ චරිත රගපාන හොඳ නළුවන් කොහොමත් ජනප්‍රියයිනෙ. මට ඕනෑ හොඳ නළුවෙක් වෙන්න. එරංග රංගනය හදාරනවාද? කාලයක් රංගනය ඉගෙන ගත්තා මහේන්ද්‍ර පෙරේරාගේ වර්ක් ෂොප්වල. දැන් නම් ඒවාට යන්නේ නැහැ. හැබැයි පොතපත කියවලා දැනුම ලබා ගන්නවා. හොඳ නළුවෙක් වීමේ ගමනේදී බොලඳ පෙම්වතාගේ චරිතයකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවාද? මෙහෙමයි, පෙම්වතා බොලඳ වුණත් එම චරිතය තුළ මට කරන්න යමක් තියෙනවා නම් මං බාර ගන්නවා. චරිතය බොළඳ ද ප්‍රභලයි ද කියන එක නෙවෙයි වැදගත්. එහි රංගන පරාසය සහ චරිතයේ ගැඹුරුභාවයයි මට ඕනෑ. ලංකාවේ නළුවකුට තියෙන තැන පිළිබඳ ඔබ සතුටුයිද? නැහැ. නළුවකුට තියෙන තැන මීට වඩා වැඩි වෙන්න ඕනෑ. මොකද නළුවන් වන්නට හැමෝටම බැහැ. විශේෂයෙන් දක්ෂතා නළුවන් බිහි කරන්න අමාරුයි. එවන් පරිශ්‍රමයකින් සහ වගකීමකින් තමන්ගේ වෘත්තියේ නියැලෙන නළුවන්ට මේ තියෙනවාට වඩා ගරුත්වයක් තිබිය යුතුයි. එරංගගේ පෙම්වතිය ගැන සඳහන් කරමු? පෙම්වතියක් ඉන්නවා. හෙළි නොකර ඉන්නයි අදහස. ඔබට ලැබුණු චරිත බොහොමයක පෙම් ජවනිකා තිබුණා. එරංගගේ පෙම්වතිය කැමැති ද එවන් චරිත රගපානවාට? එයාට පොඩි ඊරිසියාවක් නම් තියෙනවා. ඒක මට දැනෙණ දෙයක්. නමුත් මං බොහෝ දේ එයාට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මං ගැන සැකයක් නැහැ. හැබැයි මොන ගැහැනු ළමය ද කැමැති තමන්ගේ පෙම්වතා වෙන කෙනෙකුගේ අත අල්ලගෙන ඉන්නවට. ඒත් මං කරන්නේ රංගනයක්නෙ. ඉදිරියේදී ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද? මං ආසයි අන්ධ චරිතයක් කරන්න. ඔබට නිසි වටිනාකමක් ලැබෙනවාද මේ ක්ෂේත්රය තුළ? තවම මං වටිනාකම සොයගෙන යනවා. දවසක මටත් වටිනාකමක් ලැබේවි. මුදල් අපිට අවශ්‍ය කාරණයක්. එහෙමයි කියලා මුදල්ම හඹාගෙන යන්නේ නැහැ. මුදල්ම නෙවෙයිනේ ජීවිතේ. දිර්ඝ කාලයක් ඔබ රංගනයේ නියැලුණා. නමුත් ජනප්‍රිය නළුවාගේ ලිස්ට් එකට ඔබ ඇතුළත් වූයේ නැහැ. ඇයි එහෙම වුණේ? ජනප්‍රිය නළුවා කියන කාරණය ඇතුළේ නිතර පේන්න සිටිය යුතුයිනේ. මං එහෙම නැහැ. හුඟක් හිට් වන නාට්‍යවලත් මං හිටියේ නැහැනෙ. ඒ හින්දා වෙන්න ඇති මං ඔය ලිස්ට් එකේ නැත්තේ. මොනවද ඉදිරි බලාපොරොත්තු? හිමින් ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ගමන හිමින් වුණාට දායක වෙන්නේ ගුණාත්මක නිර්මාණවලට. ඒ වගේම මට උදව් කළ හැමෝටම ස්තුතියි කියලා කෘතගුණ දක්වන්නත් මං මෙය අවස්ථාවක් කර ගන්නවා.
|