වර්ෂ 2015 ක්වූ ජූලි 30 වැනිදා බ්‍රහස්පතින්දා




අද ටෙලි කම්කරුවෝ බිහි කරලා ඉවරයි

අද ටෙලි කම්කරුවෝ බිහි කරලා ඉවරයි

කලා අධ්‍යක්ෂ උදේනි සුබෝධි කුමාර

අබා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ උදේනි සුබෝධි කුමාර සරසවිය සම්මාන උළෙලේ හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා නිර්දේශ විය.

සම්මානනීය වූ කලා අධ්‍යක්ෂවරයකු ද, තිර පිටපත් රචකයකු, අධ්‍යක්ෂවරයකු හා රංගන ශිල්පියෙකු ලෙස අද නමක් දිනා සිටින උදේනි අද අපේ කතාබහට එක් වේ.

අපේ කතාබහට ප්‍රවේශයක් දෙමින් කියමුකො ඔබ සම්මානනීය වූ චිත්‍රපට පිළිබඳ?

මම චිත්‍රපට දෙකක්, ටෙලි නාට්‍ය 13 ක් සඳහා පමණයි කලා අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙන්නේ. එකක් තමා 'අබා', අනෙක තමා 'නිකිණි වැස්ස'. මේ චිත්‍රපට දෙක සඳහාම සම්මාන ලැබුණා. අබා චිත්‍රපටය 2010 පැවැත් වූ සරසවිය සම්මාන උළෙලේදී හොඳම කලා අධ්‍යක්ෂණයට නිර්දේශ වුණා. එම උළෙලේදී මට ලැබුණේ කුසලතා සම්මානය. නිකිණි වැස්ස චිත්‍රපටය ලංකා එවෝඩ්ස් සම්මාන උළෙලේදී හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. හිරු සම්මාන උළෙලටත් නිර්දේශ වුණා.

උදේනි සම්මානනීය චරිතයක් බවට පත්වන්නට හේතුවක් විය හැකියි නේද මේ ආ ගමන් මඟේ ප්‍රවේශය?

ඇත්තටම ඔව්. යම් දෙයක නියැළෙනවා සේම එහි යම් ප්‍රගමනයක් බලාපොරොත්තු වෙනවා නම් එයට මූලික දැනුම ලබපු ක්‍රමවේදයේ සාර්ථකත්වය කෙළින්ම බලපානවා.

එහෙනම් කියමුකො කලා කෙත අස්වද්දන්නට මුලපිරූ අයුරු?

පාසල් අධ්‍යාපනයෙන් පසුව ඒ කියන්නේ 1993 දී ජාතික තරුණ සේවා සභාව පැවැත් වූ නිස්කෝ වීඩියෝ පාඨමාලාව හැදෑරුවා. මෙහි අධ්‍යයන කටයුතු කරන අවදියේම මට අවස්ථාවක් ලැබුණා අවුරුදු ඒකාංගික නාට්‍යයක් වූ 'සූරිය නෑයෝ' හි කලා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන්න. මේ හරහා තමයි මගේ ප්‍රවේශය සිදු වන්නේ.

ඊට පස්සේ?

මේ අවදියේම පිටපත් රචකයකු වන සෝමවීිර සේනානායක මහතා හඳුනා ගන්නවා. එතුමා මට ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන විජය ධර්ම ශ්‍රී මහතාව හඳුන්වා දෙනවා. එතුමා අධ්‍යක්ෂණය කළ කස්තිරම ටෙලියේ කලා අධ්‍යක්ෂණය කරන්නෙත් මම. මේ ටෙලිය 1997 සුමති සම්මාන උළෙලට නිර්දේශ වුණා.

මොන අවධියේද ස්වර්ණවාහිනියේ පසුතල අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන්නේ. ඒ වගේම ඔබේ නිර්මාණ පිළිබඳවත් කියමු?

1997 සිට 2007 දක්වා පසුතල නිර්මාණ අධ්‍යක්ෂවරයකු ලෙස අවුරුදු 10 ක් ස්වර්ණවාහිනී ආයතනයේ වැඩ කළා. මෙහිදී මා අතින් නිර්මාණ 300 ක් පමණ සිදු කර තිබෙනවා. එයින් කතාබහට ලක් වූ නිර්මාණ කිහිපයක් තමා මහා සිංහලේ වංශ කතාව, සාධු නාද, සහශ්‍ර යාත්‍රා යන නිර්මාණයන්. මහා සිංහලේ වංශ කතාව පැවැත් වූ පසුතලය අද කලා විශ්වවිද්‍යාලයේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නැරැඹීමට එන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

පසුතල නිර්මාණයෙන් බැහැර වෙලා අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙනවා. ඔබේ පළමු අධ්‍යක්ෂණය කුමක්ද?

2013 දී විකාශය වූ 'දාසි' ටෙලිය තමයි මගේ පළමු අධ්‍යක්ෂණය.

පසුතල නිර්මාණයන් නැතිනම් කලා අධ්‍යක්ෂණයෙන් ඈත් වෙන්නේ කලකිරීමක් නිසාද?

මම කලා අධ්‍යක්ෂණය තෝරා ගන්නේ මට යමක් කරන්න තියෙනවා නම් විතරයි. ඒ නිසානේ මේ වසර විස්ස තුළ ටෙලි නාට්‍ය 13 ක් හා චිත්‍රපට දෙකක් කරන්නේ. මේ හැම එකක්ම ඇතුළේ මට නිදහස හා ඒ නිර්මාණයන්ට අවශ්‍ය මුදල් ලැබුණා. අද එහෙම නෙමේ. බජට් එකට අනුව නිර්මාණය කළ යුතුයි. එහෙම දෙයක නිර්මාණයේ ගුණාත්මකතාව අඩු වන්නට පුළුවන්. අනෙක අද ටෙලිවල වෙන දේවල් අහන කොට කලකිරීම් ඇති නොවෙයිද?

අද රෙදි මදින සහායක හෙට අනෙක් නාට්‍යයක කලා අධ්‍යක්ෂ වෙනවා. අද තියෙන්නේ නිර්මාණ ද? පසුතල නිර්මාණයන් දිස්වෙන නිර්මාණයන් අද බොහෝ අඩුයි. මේ සියල්ල විනාශ වුණේ මෙගා තුළින්. මේ වැඩ නිසා නිර්මාණ හෑල්ලුවට යනවා. මට මුදල් ලැබුණු පලියට මට දෙයක් කරන්න නැත්නම් මම ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මගේ පරමාර්ථය මොකක් හරි කරලා මුදල් ඉපයීම නොවේ. කළ දේ ආපසු හැරී බලපුවහම තෘප්තියක් තිබිය යුතුයි.

කලා අධ්‍යක්ෂවරයකුගේ වගකීම?

මෙය සංකීර්ණ විෂයක්. යම් නිර්මාණයක් සැකසීමේදී එයට අනුගත වන කාලවකවානුව, භූගෝලීය පරිසරය , කතා රටාව, ඇඳුම් ආයිත්තම් මේ සියලු දේ නිර්මාණයට බද්ධ කරගෙන කතාව ඔප් නැංවීමට අවශ්‍ය පරිසරය සැකසීම තමා මගේ වගකීම. චිත්‍රපටයක හෝ ටෙලියක ප්‍රේක්ෂකයන්ට එක් ප්‍රේම් එකක් (කොටසක්) තුළ මේ සියලු දේ කතාවට ගම්්‍යය වන අයුරින් තිබෙන බව ඒත්තු ගැන්වීමට අප අපොහොසත් නම් එම නිර්මාණය අසාර්ථක වෙනවා.

මේ කටයුතුවල නිරත වන ගමන් ඔබ රංගනයෙත් යෙදුනා නේද?

ඔව්. 'සත්සර නිම්නය' මෙහි ගරිල්ලා නායකයෙක් ලෙස චාන්දනී, පාලිත පෙරේරා සමඟ රඟපෑවා. 'අබා' චිත්‍රපටයේ අංජක ලෙස රඟපෑවා. දස්කොන් හී ගනින්නාන්සේගේ චරිතයට පණ පෙව්වා.

ඔබ කැමැති කලා අධ්‍යක්ෂවරයා?

එරල් කෙලී.

ඇයි?

ඔහුගේ විශේෂත්වය නම් ඔහුගේ නිර්මාණවල අනන්‍යතාවක් තබාගෙන තිබෙනවා.

මේ ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස?

මෙය කර්මාන්තයක් හැටියට ගොඩ ගන්න එහෙනම් අපේ රටේ සීමා මායිම් ගැන පමණක් හිතලා නිර්මාණ කරලා වැඩක් නැහැ. අපේ නිර්මාණ විදේශයන්හී පෙන්වීමට හැකි නිර්මාණ බිහි කළ යුතුයි. අද අපි රස කර කර බලන්නේ ජපානේ, කොරියාවේ, ඉන්දියාවේ ටෙලි. අපේ එකක් පිටරටක පෙන්වන්න හදාගෙන තිබෙනවාද?

කාටවත් ඇඟිල්ල දික් කරන්නේ ඔබම එය පටන් ගන්නකෝ?

ඒක තමා මගේ දෙවැනි නිර්මාණය. එහි තිර පිටපත රූ ගැන්වෙන ස්ථාන රංගන ශිල්පීන් බොහෝ කටයුතු සැලසුම් කරලා තියෙන්නේ. මේ නිර්මාණයෙන් කියැවෙන්නේ ඩිජිටල් තරුණයා හා සංස්කෘතික හා සම්ප්‍රදායික තරුණයා අතර එකට හමුවන විට ඇතිවන ගැටුම පිළිබිඹු වෙන කතාවක්. මේ ඡන්දයෙන් පසුව මෙහි වැඩ කටයුතු ආරම්භ කරනවා.

ටෙලියක් කරන විට ඇතිවන බාධක?

චැනල්වලට දෙන්න තියෙන අපහසුතාව. අද මේ වෘත්තියේ ටෙලි කම්කරුවෝ බිහි කරලා ඉවරයි. හැම දෙයකම දවස් පඩි. අපි ටෙලියක් හදන කොට චැනල්වල බලධාරීන්ට අවශ්‍ය නළුවා නිළිය ගිවිස ගත යුතුයි. ඔවුන් පිනවීමට නිර්මාණ කළ යුතු යුගයක් තිබුණා. ඒ වගේම මෙගා ටෙලි නාට්‍ය කලාව නිසා එක කොටසක් මිලදී ගන්නේ බොහොම අඩු මුදලකට. ඉතින් අපි කරන නිර්මාණයත් මේ කියන බජට් එකට සකසන්න ගියොත් ඒ නිර්මාණයේ සාර්ථකත්වය බලන්න විදිහක් නැහැ. ඒක නිසයි මා හැම විටම කියන්නේ වගකිවයුත්තන් මෙය කර්මාන්තයක් ලෙස ස්ථාවර කළ යුතුයි කියා.

ඔබ කැමැති අධ්‍යක්ෂවරු?

ජැක්සන් ඇන්තනි, අරුණ ජයවර්ධන, විජය ධර්ම ශ්‍රී, සෝමරත්න දිසානායක, අරුණ ලොකුලියන. මේ අය වගේම මම මෙතෙක් වැඩ කළ සැවොටම මම කැමැතියි. එයට හේතුව වන්නේ මගේ නිර්මාණය සඳහා ඔවුන් දුන් නිදහස. ඒ නිසා තමයි ඒ හැම එකක්ම සාර්ථක වුණේ.

අමතක නොවන සිදුවීම?

අබා චිත්‍රපටයේ පසුබිම හැදුවේ තඹුත්තේගම. මාස 6 ක් එහි නැවතී හිටියා. එක දිගට කිසිදු විවේකයක් නොගෙන දවස් 70 ක් එක දිගට වැඩ කළා.

අපේ කතාබහ අවසන් කරන්නට ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් කියමු?

මම මූලික අධ්‍යාපනය ලැබුවේ අරනායක වැලිමන්න සුනන්ද කනිටු විදුහල, ගල්බොක්ක ඩී. එස්. සේනානායක විදුහල, උසස් පෙළ සඳහා ධර්මරාජ විදුහල නුවර අධ්‍යාපනය හැදෑරුවා. අද මම පදිංචි වෙලා ඉන්නේ පන්නිපිටියේ. මම විවාහකයි. මගේ බිරිඳ චිරාණි මංගලසෝම. ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරනවා. ඇය මගේ නිර්මාණයක් කරගෙන යෑමට අවශ්‍ය පරිසරය නිරන්තරයෙන් හදන නිසා මට ලොකු පහසුවක් වෙනවා.