|
ජයවිලාල් මිය යන මොහොතේ මහා කුණාටුවක හඬ මට ඇසුණා
44 වසරකට පෙර මිය ගිය අදීන සිනමා විචාරකයා පිළිබඳ බිරිය දයා කියන කතාව
ශ්‍රී ලාංකික සිනමා විචාර කලාවේ බිහි වූ වඩාත්ම ජනප්‍රිය හා අදීනතම විචාරකයා ලෙස ගැණෙනුයේ ජයවිලාල් විලේගොඩය. ජයරත්න විලේගොඩ නමින් ඉපිද ජයවිලාල් යන නාමයෙන් සිනමා විචාරයේ නියැළුණු ඔහු මිය ගොස් අගෝස්තු මස 4 වැනිදාට වසර 44 කි. මෙරට එකම වෘත්තීය සිනමා විචාරකයාද වූ ඔහුගේ සිනමා විචාර කෙතරම් ජනප්‍රිය වීද යත් එම ලිපි පළ වන දිනයේ දිනමිණ පුවත්පතේ අලෙවිය ද ඉහළ ගියේය. අප අතරින් කයින් වෙන්ව ගිය ද අද ද සිනමා විචාර කලාවේ රැව් පිළිරැව් දෙන ජයවිලාල් විලේගොඩයන්ගේ නිවහන සොයා අප පිය මැන්නේ අංක 05, රත්නාවලී පාර, කළුබෝවිල, දෙහිවල ලිපිනය සොයාගෙනය. අද ඒ ශ්‍රේෂ්ඨ විචාරකයාගේ නිවහනේ කල් ගෙවනුයේ ජයවිලාල් විලේගොඩයන්ගේ ප්‍රිය බිරිය දයා සපුතන්ත්‍රි විලේගොඩ මහත්මිය හා විලේගොඩයන්ගේ වැඩිමහල් දියණිය ඡායා ප්‍රහර්ශි විලේගොඩ මහත්මියයි. මුළු රටම වසර දහ අටක් පුරා සිනමා විචාරයෙන් පෙරළියක් කරමින් ජනමාධ්‍ය පුබුද වූ ඒ අදීන විචාරකයාගේ අතීත මතක සටහන් පිළිබඳවත්, අද විලේගොඩ පවුලේ අලුත්ම තොරතුරු පිළිබඳවත් දයා සපුතන්ත්‍රි විලේගොඩ මහත්මිය හා කතාබස් කරමු. දශක හතරකටත් වැඩි අතීතයක මතකය සිහිපත් කළොත්? ජයවිලාල් 1971 අගෝස්තු 04 වැනිදා හෘදයාබාධයකින් මියයනකොට එයාට වයස අවුරුදු 37යි. එයා ඉපදුණේ 1934 ජූලි 06දා. මේ වසරේ අගෝස්තු මාසයට එයා නැති වෙලා අවුරුදු හතළිස් හතරක්. ඔබ විලේගොඩට ආදරේට කතා කළේ? මම ජයේ කියලා කතා කළා. එයා මට දයා කියලා කතා කළා. මේ වසර හතළිස් හතර පුරාවට ඔබ විලේගොඩ වෙනුවෙන් මොන වගේ කටයුතු ද සිද්ධ කළේ? වසරක් පාසා නොකඩවා එයා වෙනුවෙන් පින් දහම් කටයුතු සිද්ධ නොකළත් මේ හතළිස් හතර වසර පුරාවට එයා වෙනුවෙන් මොන යම් හෝ පින් දහම් කටයුත්තක් සිද්ධ කළා. දාන මාන දුන්නා. මගේ අක්කාගේ ඔරුවල ඉඩමක් භාවනා මධ්‍යස්ථානයකට හා වැඩිහිටි නිවාසයකට පරිත්‍යාග කරලා තියෙනවා. කළුගල රතනජෝති හාමුදුරුවෝ භාරයේ තමයි මේ භාවනා මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ. බොහෝ අවස්ථාවලදී අපි මේ ස්ථානයේ විලේගොඩ වෙනුවෙන් පින් දහම් කටයුතු සිද්ධ කළා. අදටත් ඒ පිළිවෙත් එලෙසම සිද්ධ කරනවා. මමත් දැන් වසරක විතර පටන් දැඩිව ගිලන් වුණා. ඒ නිසා මහත්තයා වෙනුවෙන්ම කියලා පින් දහම් කටයුතු සිද්ධ කිරීමට අපහසුතාවක් ඇති වූ නිසාම අපි මෙවර මහත්තයා සිහිපත් කරලා බණ්ඩාරවෙල සුමනාරාමයේ චෛත්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් මූල්‍ය දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම චෛත්‍ය වහන්සේ අභියස මල් ආසනයක් ඉදි කර දෙනු ලැබුවා. මේ වගේ පින් දහම් කටයුතු එයා මියගිය දාටම කියා සිද්ධ නොකලත් වසරේ කවරදාක හෝ එයා සිහිපත් කරලා මෙවන් පින්කම් සිද්ධ කරනවා. විලේගොඩගේ හදිසි අභාවය ඔබට විශාල කම්පනයක් ඇති කළ මොහොතක්? අපි දෙන්නා 1961 දී විවාහ වුණා. 1971 දී එයා මිය යනවා. අපි දෙන්නාගේ විවාහය රැඳිලා පවතින්නේ අවුරුදු දහයක් වගේ කෙටි කාලයක්. එයා හෘදයාබාධයකින් මිය යන කොට මම ගැහැනු දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්. මගේ පුංචි දුවට ඒ වෙන කොට වයස අවුරුදු දෙක හමාරයි. මේ දරුවො තුන් දෙනාත් එක්ක මම මේ ලෝකේ තනි වෙනවා. ඒ දරුවො තුන් දෙනත් හදාගෙන මම ජීවිතේ නැගිටින්න ලොකු ධෛර්යයක් ගත්තා. විලේගොඩ මිය ගියත් හරි ඔබේ පිහිටට කවුද පැමිණියේ? පිහිටට වැඩිය මට බොහෝ විට ලැබුණේ සිත් වේදනා. මගේ තාත්තාගෙන් මට ලැබුණු දේපළවලින් මට ලැබෙන ආදායමෙන් මම ජීවිතයට මුහුණ දුන්නා. මේ ගෙදර එයා මිය යන කොට හදල තිබුණේ. අපිටම කියල ගෙයක් දොරක් තිබුණ නිසා දරුවො තුන් දෙනත් එක්ක මට දෙයියනේ කියලා ජීවත් වෙන්න ලොකු ආශිර්වාදයක් වුණා. ඔබට කොහොමද විලේගොඩ මුණ ගැහෙන්නේ? එයා අපේ ඥාති කෙනෙක් වෙනවා. රත්නපුරේ සීවලී විද්‍යාලයේ තමයි එයා ඉගෙන ගත්තේ. නිවාඩු කාලයට එයා තාත්තාගේ අක්කා කෙනෙකුගේ දුවෙක් හිටියා කොල්ලුපිටියේ. එහෙ එනවා. ඒ ආපුදාට රාජගිරියේ අපේ ගෙදරත් එනවා. අපේ ගෙදර හරියට පොත්පත් තිබුණා. පත්තර තිබුණා. මේව බලන්න කියවන්න එයා හරි ආසයි. ඔහොම අපේ ගෙදර එන යන කොට තමයි අපි දෙන්නා අතර බැඳීමක් ඇති වුණේ. ඔබේ පියාත් ඒ කාලේ විලේගොඩට උදව් උපකාර කළාද? ජයවිලාල්ගේ තාත්තා එයාට අවුරුදු දහයේදී මිය යනවා. අම්මා දරුවෝ හතර දෙනෙක් එක්ක තනි වෙනවා. එයාට බාල මල්ලි කෙනෙකුයි නංගිලා දෙන්නෙකුයි හිටියා. අපේ තාත්තා බොරැල්ලේ හිටපු හොඳ වෙළෙඳ ව්‍යාපාරිකයෙක්. ධර්මදාස ඇන්ඩ් බ්‍රදර්ස් කඩේ තිබුණේ අපේ තාත්තාට. මගේ තාත්තා ජයවිලාල්ට ඉස්කෝලේ යන්න පවා මුදල් අතිනුත් උදව් කළා. ජයවිලාල් කුඩා අවධියේ පටන් රෝගී තත්ත්වයෙන් පෙළුණා නේද? එයාට කුඩා අවධියේම රූමැටික් උණ හැදිලා තිබුණා. ඒ රෝගී තත්ත්වයේ ප්‍රතිඵලයක් විදියට එයා හෘදයාබාධයකින් පෙළෙමින් හිටියා. මුල් කාලයේ එයා වික්‍රමාරච්චි වෙද මහත්තයාගෙන් මේ සඳහා බේත් ගත්තා. පසුකාලීනව එයාට ප්‍රතිකාර කරනු ලැබුවේ දොස්තර ඔබේසේකර. මේ රෝග තත්ත්වයේ ප්‍රතිඵල විදියට හෘදයට දැඩි බලපෑමක් එල්ල වෙලා තිබුණා. ඔබ දෙදෙනා අතර තිබූ සම්බන්ධයට ගෙදරින් කැමැත්ත ලැබුණාද? අපි දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියලා ගෙදර කවුරුවත් දැනහිටියේ නැහැ. මගේ කල වයස හරි යන කොට තාත්තා විවාහ යෝජනාවක් ගෙනාවා තාත්තා දන්න කියන තැනකින්. මමත් ඒ වෙලාවේ මාව බලන්න යෝජිත කෙනා එන්න කලින් අපි දෙන්නාගේ සම්බන්ධය ගැන කියන්න ක්‍රමයක් කල්පනා කළා. මගේ මිතුරියක් හිටියා හේමා කියලා. ඇය ලවා මම අපි දෙන්නා ගැන අදහස මගේ අක්කාට කිව්වා. අක්කා ඒ ගැන මුලින් පුදුම වුණා. තාත්තාට අම්මාට එයා මේ ගැන කියලා තිබුණා. ඒ බව දැනගත්තාම තාත්තාට කරගන්න දෙයක් නැති වුණා. තාත්තා ලොකු අපහසුතාවයකට පත් වුණා. ජයවිලාල් ඒ වන විට සිටින රෝගී තත්ත්වය ගැන තාත්තලා කලින් ඉඳන් දැන සිටියා. මේ නිසා තාත්තාට අම්මාට තීරණයක් දෙන්න බැරුව ලත වුණා. ලෙඩෙක් කියලා දැන දැනත් දුව දුන්නොත් මගේ අනාගතය අඳුරු වෙන හැටි කියමින් තාත්තා මට කොතෙකුත් පැහැදිලි කිරීම් කළා. පිහිය රත්තරන් කියලා ඇන ගත්තොත් මොකද වෙන්නේ කියලා හිතන්න කියලත් තාත්තා මට ඇවිටිලි කළා. මගේ තීරණයේ වෙනසක් නැති තැන තාත්තා කිව්වා මෙතෙක් කාලෙකට මගේ පොඩි දුව මගේ හිත රිද්දලා නෑ. මේක ඔයාගේ දෛවය නම් මගේ අකමැත්තක් නැහැ කියලා. ඒ අනුව අපි දෙමාපිය ආශිර්වාදය මධ්‍යයේ 1961 දී විවාහ වුණා. ජයවිලාල් ඔබට බලපෑම් කළා ද ඔහුත් සමඟ විවාහ වෙන්න කියලා? කොහෙත්ම නැහැ. එයා මට රෝගී තත්ත්වය වසන් කළේ නැහැ. ඇත්තම කිව්වා. ඒ බව දැන දැනත් මම එයාට ළෙන්ගතු වුණා. පුංචි කාලෙම තමන්ගේ තාත්තා නැති වෙලා හරියට රෝගී තත්ත්වයට ප්‍රතිකාරයක් නැතුව ඉඳලා. එයා පෙළෙමින් හිටිය රෝගී තත්ත්වය ගැන මා තුළ පුදුම අනුකම්පාවක් ඇති කළා. මට එයා හැම තිස්සෙම කිව්වේ දයා මාව අමතක කරන්න. ඔයා ගන්න තීරණය ගැන දහස් වාරයක් හිතන්න, මගේ ජීවිතය කොයි වෙලාවෙද දන්නේ නැහැ කියලා. මම තීරණයකට ආවා. එයා ජීවත් වෙන්නේ පැය ද, දවස ද, මාසෙ ද, අවුරුද්ද ද මම එයා වෙනුවෙන් කරන්න ඕනෑ මොනවද ඒ දේ මම ඉටු කරනවා කියලා මමම තීරණයකට ඇවිත් එයත් එක්ක විවාහ වුණා. ඔබේ සැමියා තරම්ම ඔබත් සිනමාවට ආදරය කළාද? මම ඒ කාලේ පටන්ම සිනමාවට කැමැති කෙනෙක්. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ පටන් මම චිත්‍රපට බලපු කෙනෙක්. ජයවිලාල් හම්බ වෙන්න ඉස්සෙල්ලාත් මම චිත්‍රපට නිළියන්ගේ නළුවන්ගේ පින්තූර එකතු කළා. හින්දි නළු නිළියන්ගේ පින්තූර එකතු කරලා පොත් පවා හැදුවා. ඒ පොත් අදටත් මා ළඟ තියෙනවා. ජයවිලාල්ගේ ලේඛන ශෛලියට ද ඔහු රට තුළ ගොඩ නඟා ගෙන තිබූ ප්‍රතිරූපයට ද ඔබ ආදරය කළේ? එයා ලිපිවලට දාන හෙඩින්, පින්තූරවලට දාන කැප්ෂන්වලට වගේම එයා ලියන භාෂා ශෛලියට මම ගොඩක් ආස කළා. ඔබේ සැමියා මෙරට පෙරළිකාර සිනමා විචාරකයෙක් බවට පත් වන්නේ ? ඔව්. පාසල් ගමනින් පස්සේ එයා 1953 දී ලේක්හවුස් ආයතනයේ දිනමිණ කර්තෘ මණ්ඩලයට එක් වෙනවා. ඒ වර්ෂයේම ජූනි 27 වැනිදා දිනමිණ රඟමඬල සිනමා පැන නැමැති තීරයෙන් අරඹන ඔහුගේ සිනමා ලේඛන කලාව දිනෙන් දින පෝෂණය වන්නේ සිනමා විචාරයේ නව නැම්මක් ඇති කරමින්. ඔබ දෙදෙනා අතර විවාහයටත් පෙර පටන් ඔහු විචාර කලාව දිනමිණ පුවත්පත හරහා අරඹනවා නේද? මට මතක හැටියට 1953 අග භාගය වන විට චිත්‍රපට විචාරය පටන් ගන්නවා. පුදුම ලේලි චිත්‍රපටය තමයි මගේ මතකයේ හැටියට එයා මුලින්ම විවේචනය කරමින් චිත්‍රපට විචාරයට එක් වුණේ. ජයවිලාල් අදීන විචාරකයකු ලෙසින් ඉතාම නිර්දය අයුරින් චිත්‍රපට විවේචනයේ යෙදුණු අයකු බව ප්‍රසිද්ධයි? ඒක සහතික ඇත්ත. එයා කාටවත් ගැති වෙලා චිත්‍රපට විචාරයේ යෙදුණේ නැහැ. එයාට අවශ්‍ය වුණේ තරුණ පිරිස් හා බාලා පරපුර තුළ සිනමාව කෙරෙහි උනන්දුවක් ඇති කිරීමත් ඒ උනන්දු වන්නන් තුළ රසඥතාව වර්ධනය කිරීමත් කියලයි මට හිතෙන්නේ. ජයවිලාල්්ගේ විවේචන නොරිස්සූ බොහෝ අය ඔහුට තර්ජන පවා එල්ල කළා කියන්නේ ඇත්තද? ඇතැම් චිත්‍රපට නිෂ්පාදකවරුන්ගෙන් එයාට මරණ තර්ජන පවා එල්ල වුණා. චිත්‍රපට විවේචන නතර කරන්න කිව්වා. එයාගේ විවේචන වෙනුවෙන් මල් පොකුරු වගේම ගල් මුගුරුත් එල්ල වුණා. ඒවා මැදිහත් සිතින් ඉවසාගෙන නොබියව අවුරුදු දහ අටක් එයා චිත්‍රපට විචාරයේ නියැළියා. පුද පඬුරු මඟින් විලේගොඩව නම්මා ගන්නත් ඔහුට තර්ජන ගර්ජන කරමින් ඔහුගේ විචාරයන් නතර කිරීමටත් බොහෝ දෙනා විවිධ උපක්‍රම යෙදුවා කියන කතාවේ සත්‍යතාවක් තියෙනවාද? හැබැයි එකක් කියන්න ඕනෑ විලේගොඩ කවදාවත් කවුරු මොනවා කිව්වත්, කරන්න ගියත් ඒ කාටවත් යට වුණේ නැහැ. එයාට චිත්‍රපටවල පුවත්පත් දර්ශනවලට ආරාධනා ලැබුණහම කූල් ඩ්‍රින්ක් එකක්වත් බිව්වේ නැහැ. අඩුම තරමේ ටොපියක දෙයක්වත් කැවේ බිව්වේ නැහැ. එයාගේ අදහස වුණේ එහෙම බිව්වම කෑවම ස්වාධීනව යමක් ලියන්න බැහැ කියන එකයි. සමහර නිෂ්පාදකවරු එයාලට ඕනෑ දේ ලියා ගන්න එයාට සල්ලි කුට්ටි ගණන් දෙන්න හැදුවා. ඒත් පුදුම වැඩේ කාටවත් එයාව සල්ලිවලට ගන්න බැරි වුණ එකයි. විලේගොඩ කවදාවත් සල්ලි සතේකටවත් යට වුණේ නැහැ. සල්ලි දෙනවා කිව්වම විචාර කලාව පවා දුන්නේ නැහැ. විවාහයෙන් පසු ඔබත් ඔහු සමඟ චිත්‍රපට මාධ්‍ය දැක්මවලට සහභාගි වෙලා තියෙනවාද? ඔව්. එයාට ලැබෙන ආරාධනා වලදී මාවත් එක්ක ගියා. මමත් පුංචි කාලේ ඉඳලා චිත්‍රපට බලන්න, නළු නිළියන්ට ප්‍රිය කළ කෙනෙක්නේ. ඔබ ඔහු ලියන විචාර පුවත්පතේ පළ වෙන්නටත් පෙර කියවන අවස්ථා තියෙනවාද? ඔව්. ගෙදරදි ලියන චිත්‍රපට විචාර මම කියවනවා. මමත් කියවලා කියනවා මේ ටික සැර වැඩියිිනේද කියලා මම කොතෙකුත් කියනවා. ඒත් ලිව්ව දෙයක් ආයේ මම කිව්වත් වෙනස් කරන කෙනෙක් නෙමේ එයා. මම අතින් අල්ලලා කිව්වත් ඔළුව අතගාලා කිව්වත් විලේගොඩ එයාගේ සෘජු මතයේ විවේචනයේදී ඉන්නවා. ඔබත් විලේගොඩත් එක්තරා දවසක චිත්‍රපට මාධ්‍ය දැක්මකට ගොස් නිවෙස බලා එන කොට ඔබලා ගමන් ගත් කාරය හරස් කොට අල්ලස් දෙන්න හැදුවා කියන කතාව මොකක්ද? මට මතක හැටියට කොළඹ රීගල් එකේ එක්තරා චිත්‍රපටයක් නැරැඹුවා. චිත්‍රපටය ඉවර වෙන කොට රෑ බෝ වෙලා තිබුණේ. විලේ්ගොඩ චිත්‍රපටය ඉවර වෙන කොටම නැගිටලා මාවත් ඇදගෙන ඇවිත් අපේ කාරෙකෙන් ගෙදර එන්න ආවා. එයාට චිත්‍රපටයේ නිෂ්පාදක ඇතුළු බොහෝ අය ආරාධනා කළා මොනවා හරි බීලා යන්න කියලා. ඒත් විලේගොඩ ඒ ගැන වග විභාගයක් නැතුව ගෙදර යන්න ආවා. ඔය එන අතරේ අපේ කාර් එක ඉස්සර කරලා කාරෙකක් ඇවිත් පාර හරස් කරලා නතර කළා. ඒකෙන් බැහැල ආපු කීප දෙනෙක් සල්ලි මිටි පොදි ගහපු බණ්ඩල් මිටි කීපයක් විලේගොඩට බලෙන් දෙන්න හැදුවා අපේ චිත්‍රපටය ගැන හොඳ කියන්න කියලා. මමත් හොඳටම බය වුණා. ඒත් එයා කතාබහක් නැතුව අපේ කාරෙක පස්සට අරන් ගෙදර ආවා. ඔබ දන්න විදියට කාගෙන්ද ඒ කාලේ වැඩියෙන්ම මරණ තර්ජන බලපෑම් තිබුණේ? එක්තරා ජනප්‍රිය නිෂ්පාදක, අධ්‍යක්ෂ, චිිත්‍රාගාර හිමියෙක්ගෙන්. මම නොදන්න තව ගොඩක් අයගෙන් එහෙම තියෙන්න ඇති. එවැනි තර්ජන ගර්ජන තෑගි බෝග දීමට තැත් කිරීම් ගැන ඔබට පවසපු අවස්ථා තිබුණාද? විලේගොඩ කවදාවත් තමන්ට තිබෙන රාජකාරි ප්‍රශ්න, තමන්ට තිබෙන තර්ජන ගර්ජන ගැන මාත් සමඟ කතා කළේ නැහැ. තමන්ගේ සිනමා කෘතියට ඔහු සෘජුව ලියන විචාරය තමන්ගේ සිනමා නිර්මාණයට වාසිදායක කරගන්න තෑගි බෝග මුදල් හදල් දෙන්න හදපු අවස්ථා මම ඇස්පනාපිටම දැක්ක දේවල්. විලේ්ගොඩ ඔබට මිල කළ නොහැකි මාණික්‍යයක් කියා ඔබ පවසන්නේ ඇයි? එයා ඇත්තටම ජීවත් වුණේ මරණ සහතිකය අතේ තියාගෙන. මා ඒ බව දැනගෙනමයි එයත් එක්ක විවාහ වුණේ. කොයි ගැහැනිය ද ඔය වගේ තිරණයක් ගන්නේ. ඔහුත් සමඟ එක දවසක් හරි ජීවත් වෙනවා කියන අධිෂ්ඨානයෙන් තමයි මම විවාහ වුණේ. මගේ තීරණය හරියට පිච්චෙන බව දැනගෙන ගින්දරට පනිනවා වගේ වැඩක්. ජයවිලාල් මැරුණොත් මමත් දරුවොත් අනාථ වෙනවා කියන දේත් මම නොදැන නෙමේ එයාව බැන්දේ. කොහොම හරි එයා මාත් එක්ක දස වසරක් ජීවත් වුණා. එයත් එක්ක ඒ ගත කළ දස වසර මගේ ජීවිතයේ සුන්දරම කාලය. මම ජීවිතය පිළිබඳ හුඟක් දේ ඉගෙන ගත්තේ එයාගෙන්. අපේ පවුල් ජීවිතය ඒ කෙටි කාලය තුළ හැම අතින්ම සර්ව සම්පූර්ණ වුණා. අපි අපිටම කියලා ගෙයක් හැදුවා. ඉඩමක් ගත්තා. දරුවො හැදුවා. බොහොම සතුටින් ජීවත් වුණා. එදා මහත්තයට රටේ තිබුණේ පුදුම පිළිගැනීමක්. එයා අද ජීවත් නොවුණත් අපි යම් කටයුත්තකට මොන ආයතනයකට ගියත් මගේ දරුවන්ගේ නම් කියලා කිව්වොත් ඒ අය අදටත් අහන්නේ අර ජයවිලාල් විලේගොඩගේ කවුරු හරිද කියලා. ඒ තරමට මේ නම අදටත් මිනිස් හදවත් තුළ ගලේ කෙටුව වගේ නිධන්ගත වෙලා. ජයවිලාල්ගේ මරණෙන් පසුව එතරම් නිර්දය ලෙසත් එතරම් අදීන ලෙසත් චිත්‍රපට විවේචනයේ යෙදෙන්නකු බිහි නොවූ බව අදටත් පැහැදිලි කරුණක්. මෙවන් තත්ත්වයක් තුළ අද කෙරෙන චිත්‍රපට විචාර ගැන ඔබ දරන්නේ කවර මතයක්ද? ජයවිලාල් නැති අඩුව අද සිනමාවට තදින් දැනෙන කාලයක්. මම එහෙම කියන්නේ අද හැදෙන චිත්‍රපට දිහා බලලා. හැටේ සහ හැත්තෑව දශකයේ සිංහල සිනමාවේ යම් පිබිදීමක් ඇති වුණා නම් එකේ කොටස්කාරයෙක් මගේ මහත්තයා. කවුරු හරි එහෙම නැහැ කියනවා නම් ඒක මහ බොරුවක්. අදටත් මම කියන්නේ ජයවිලාල්ගේ බිරිය හින්ද නෙමේ. නියම චිත්‍රපට විචාරයක් එයා මිය ගියත් හරි අද වෙනකම් මම දැක්කේ නැහැ. ජයවිලාල්ගේ විචාර කලාවේ ඔබ දැක්ක සුවිශේෂතා මොනවද? එයාගේ චිත්‍රපට විචාර ගැඹුරු වුණේ නැහැ. කාට වුණත් සරලව තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. එයා කවදාවත් කාටවත් පක්ෂග්‍රාහී වුණේ නැහැ. චිත්‍රපටයක් විවේචනය කළා නම් ඒක සමබරව සිද්ධ කළා. ඒ චිත්‍රපටය කොපි චිත්‍රපටයක් නම් ඒකෙ ඔර්ජිනල් කෘතියයි කොපියයි සංසන්දනය කරමින් විවේචනය කළා. රඟපාපු නළු නිළියන්ට වුණත් ඔහුගේ පෑනෙන් ගැලවෙන්න බැරි වුණා. කොච්චර හිතවත් වුණත් බොරුවට ඇගයීම් දුන්නේ නැහැ. එයාට සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි භාෂා හොඳින් හැසිරවීමේ දැනුමක් තිබුණා. හැම විචාරයක්ම කළේ හැම විධියෙන්ම ඒ ගැන විශ්ලේෂණයක් කරලා. අද එහෙම නොවීම තමයි විචාර කලාවේ අභාවය. ජයවිලාල්ගේ පෙරළිකාර සිනමා විචාර ලියන කොට ඔහු තුළ අපූරු පුරුද්දක් තිබුණා කියන්නේ ඇත්තද? බොහෝ විට එයා රැකියාවට ලේක්හවුස් ගියේ දවල් වෙලා දරුවෝ ඉස්කෝලෙට දාගෙන කාර් එකෙන්ම ලේක්හවුස් ගියා. සමහර දාට රෑ වෙනකන් වැඩ කරනවා. බොහෝ විට උදේට රෑට වගේ තමයි විචාර ලියන්න පටන් ගන්නේ. එයාගේ අපූරු පුරුද්දක් තිබුණා. දකුණු අතින් පෑනෙන් ලියන කොට වම් අතින් ඔළුවෙ කෙස් රොදක් අරන් ඉස්සරහට ඇද ඇද කෙස් රොද ඇඹරීමේ පුරුද්දක්. මේ ආකාරයට වම් අතින් කෙස් රොද අඹරන කොට ඉබේම එයාට වචන ගලාගෙන ආවා. ඔබේ පවුලේ වත්මන් තොරතුරු කොහොමද? මගේ දුවල තුන් දෙනාම දැන් විවාහකයි. ලොකු දුව ඡායා ප්‍රහර්ශි. එයා ව්‍යාපාර කරගෙන ඉන්නවා. දෙවැනි දුව නිලීමා විජාලි. ඇය ජ්‍යෝතිෂවරියක්. බාල දුව තරිකා අසීමි දෘෂ්ටි විශේෂඥවරියක්. මගේ දරුවෝ තුන් දෙනාම කුඩා කාලයේ පටන් මට කිසිම කරදරයක් කළේ නැහැ. අදටත් මේ දරුවෝ තුන් දෙනා වෙන් වෙන්ව පදිංචි වෙලා හිටියත් පුදුම ආදරයක් එකිනෙකාට තියෙන්නේ. මම අද ලොකු දුව ළඟ විලේගොඩ හදපු ගෙදර ජීවත් වෙනවා. මම අද දරු මුනුපුරු මිනිබිරියන්ගේ මිත්තණියක්. විලේගොඩයන් එදා ලියපු ලිපි ලේඛන එකතුවක් ඔබ සතුව තිබුණා නේද? මම එයාව විවාහ කර ගන්න ඉස්සෙල්ලා ඉඳලා එයාගේ ලිපි සියල්ල එකතු කළා. අපේ තාත්තාගේ කඩේ බිල් පොත්වල තමයි මම ඒ ලිපි ඇලෙව්වේ. මා සතුව එයා මිය යන කොට විශාල ප්‍රමාණයක් ලිව්ව සිනමා විචාර තිබුණා. සිනමාව ගැන ලියපු පතපොත, දුර්ලභ පින්තූර මේ හැම දෙයක්ම මම නාගරාජයෙක් මැණිකක් රකින්නා සේ මම බොහොම පිළිවෙළට රැකගෙන ආවා. දිනක් එක්තරා පත්තරවලට සම්බන්ධ සිනමා ලේඛකයෙක් අපේ ගෙදර ඇවිත් මගෙන් ඒ බොහෝ දේ ඉල්ලාගෙන ගියා නැවත ගෙනත් දෙනවා කියන පොරොන්දුව පරිදි. ඒ අතර විලේගොඩ ලියනු ලැබූ පුවත්පත්වල පළ නොවූ සිනමා විචාරත් තිබුණා. මේ හැම වටිනා කියන සියල්ල මේ පුද්ගලයා රැගෙන ගියා. ඒ ගෙන ගිය පින්තූරවලින් කීපයක් ඔහු නැවත මුද්‍රණය කරගෙන ඊට පස්සේ මගෙන් ගෙන ගිය ඔර්ජිනල් ටිික ඔහු තබාගෙන මුද්‍රණය කළ කීපයක් මට ලැබෙන්න සැලැස්සුවා. අද වෙනතුරුත් ඒ ගෙන ගිය සිනමා විචාර පොත්පත් මට නැවත දුන්නේ නැහැ. ඒ ගැන මට තියෙන්නේ ලොකු හිත් වේදනාවක්. ඊට පස්සේ ඉතිරිව තිබූ මා සතුව තිබුණ විලේගොඩයන්ගේ සියලු ලිපි ලේඛන පොත්පත් මම ජාතික කතෝලික සිනමා පර්ෂදයට පරිත්‍යාග කළා. මම එහෙම කළේ ඒ දේවල්වලින් මගේ දරුවන්ට වැඩක් නැහැ. දරුවො සිනමාව පැත්තෙන් ලේඛන පැත්තෙන් මොකුත් කරන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තුළ ඒ ලිපි ලේඛන පරිශීලනය කරලා සිනමාව හදාරන දරුවෝ ඉගෙන ගනියි කියන චේතනාවෙන් තමයි මම රැක ගත්ත ඒ වටිනා පොත්පත් මම පරිත්‍යාග කළේ. විලේගොඩගේ චිත්‍රපට විචාර කොතෙක් ප්‍රබල වුණාද කියනවා නම් එවක ඔහු රැකියාව කළ ලේක්හවුස් ආයතනයට පවා දැඩි බලපෑම් එල්ල වුණා කියන්නේ ඇත්තද? දිනමිණට ලියන චිත්‍රපට විචාර පළ වුණේ දිනමිණ රඟමඬල අතිරේකයේ හැම සතියකම බදාදා. එදාට මේ පත්තරය වෙනදා මුද්‍රණය කරන ප්‍රමාණයට වඩා විශාල පිටපත් සංඛ්‍යාවකින් තමයි මුද්‍රණය කළේ. දිනමිණ පත්තරය මේ විචාරය කියවන්න විතරක් මිනිස්සු ඒ දවසට පුදුම විදියට පත්තරය මිලදී ගත්තා. දිනමිණ වාර්තාගත අලෙවියක් මේ නිසා සිද්ධ වුණා. මහත්තයාගේ විචාර නවතාගන්න බොහෝ දෙනා වලිකෑවා. චිත්‍රපට සමාගම්, චිත්‍රපට නිෂ්පාදකයෝ පුදුම විදියට මහත්තයාගේ චිත්‍රපට විචාර නවතාලන්නට කරපු නැති දෙයක් නැහැ. අවසානයේ එවක ලේක්හවුස් අධිපති රංජිත් විජේවර්ධන මහත්තයාට පවා ඔවුන් බලපෑම් කළා විලේගොඩගේ විචාර නතර නොකළොත් එයාලා කවුරුවත් ආයතනයේ පත්තරවලට චිත්‍රපට දැන්වීම් දෙන්නේ නැහැ කියලා. විජේවර්ධනයන් ඒ තර්ජන තුට්ටුවකට මායිම් කළේ නැහැ. මට ඔය දැන්වීම් එකක්වත් නොලැබුණාට මම කවදාවත් විලේගොඩගේ විචාර නතර කරන්නේ නැහැ කියලා විජේවර්ධන මහත්තයා කිව්වා. ඒ පූර්ණ නිදහස එයාට ලේක්හවුස් ආයතනයේ පාලනාධිකාරිය පවා ලබා දී තිබුණා. ඔබත් ලේක්හවුස් ආයතනයේ රැකියාවට යනවා නේද මහත්මයාගේ මරණෙන් පසු? එයා නැති වෙලා මාස තුනක් විතර ගියාට පස්සේ මහත්තයා ලේක්හවුස් ආයතනයට ගෙන දී තිබූ කීර්තිය නිසාම අපි ඒ වෙන කොට පත් වෙලා හිටිය අසරණභාවයත් නිසාම රංජිත් විජේවර්ධන මහත්තයා මට ආයතනයේ රැකියාවක් දුන්නා. මොන වගේ රැකියාවකටද ඔබ ලේක්හවුස් පැමිණියේ? මම රැකියාව ලෙස කළේ දිනමිණ පත්තරයේ සෝදුපත් බැලීම. එවක දිනමිණ කාන්තා පිටුව කළ හේමා ගුණවර්ධන මහත්මිය මට ගොඩක් ආයතනය තුළ උදව් කළා. අවුරුදු හතක් විතර මම ලේක්හවුස් ආයතනයේ වැඩ කළා. පසුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසාම මම ඉල්ලා අස් වුණා ඔබ පැමිණ වාඩි වුණෙත් එදා විලේගොඩ පාවිච්චි කරපු දිනමිණ කර්තෘ මණ්ඩලයේ පුටුවේ කියන්නේ ඇත්තද? ඔව්. මම රැකියාවට යන තුරුත් කවුරුවත් එයා වාඩිවුණු මේස පුටුව භාවිත කරලා තිබුණේ නැහැ. මට ඒකේ වාඩි වෙන්න කියලා පාලක අංශය කිව්වා. මම දින කීපයක් ඒ පුටුවේ වාඩි වෙලා වැඩ කළත් මට මානසික වශයෙන් තවදුරටත් එහි වාඩි වෙලා වැඩ කරන්න බැරිව ගියා. ඒ වෙන කොටත් ආයතනය තුළ මේ පුටුවේ වාඩි වෙන්න සමහරු පොරකකා හිටියා. මම ඒ පොරකෑම් දැකලම මගේම ස්වාමියා වාඩි වෙලා හිටපු මේසේ හා පුටුව තවදුරටත් පරිහරනය කරන්න හිත දුන්නේ නැහැ. මම පාලන අංශයට කියලා එතනින් අයින් වෙලා වෙන මේසයක් පුටුවක් ඉල්ලා ගත්තා. ඔබේ ස්වාමියා නමින් සම්මානයක් නම් කොට තිබෙනවා නේද? අදටත් ඕ සී අයි සී සිනමා උළෙලේදී ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය නමින් සම්මානයක් පිරිනමනවා. ඒ ඇරෙන්න මගේ ස්වාමියා වෙනුවෙන් කිසිදු අයුරක අනුස්මරණයක් අද වෙනකන් සිද්ධ කරලා නැහැ. මේ විදියට සම්මානයක් නම් කොට පිරිනැමීම පිළිබඳ මම ඒ සම්මාන උළෙලේ සංවිධායකයන්ට හිස නමා කෘතවේදිත්වය පිරිනමනවා. ජයවිලාල්ගේ එකම සොඳුරු පින්තූරයේ කතාව මොකක්ද? එයා කවදාවත් ප්‍රසිද්ධිය පසුපස හඹා ගියේ නැහැ. දවසක් ලේක්හවුස් එකේ වැඩ කර කර ඉන්න කොට ලේක්හවුස් එකේම වැඩ කරන ඡායාරූප ශිල්පී ඩී. බී. ලියනගේ ඇවිත් විලේගොඩගෙන් ඇහුවලු මහත්තයා මගේ බ්ලැක් ඇන්ඩ් වයිට් රීල් එකේ අද පොටෝ ගහල ෂොට් දෙකක් ඉතිරි වෙලා තියෙනවා. ගමු ද ඔබතුමාගේ පින්තූරයක් කියලා. ඒ පාර මහත්තයා කිව්වලු අපේ ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධන මහත්තයා ෆොටෝ එකට ඉඳලා තියෙන්නෙත් මෙන්න මෙහෙම. ඒ විදියට මාත් ඉන්නම් කියලා විජේවර්ධන මහත්තයාගේ බිත්තියේ ගහල තිබුණ පින්තූරයක් විදියට මහත්තයා පෙනී හිටියලු. අන්න ඒ අවස්ථාවේ තමයි ඔය කියන පින්තූරය අරන් තියෙන්නේ. ජයවිලාල් විලේගොඩයන්ගේ මරණය සිදු වුණු දිනය ඔබේ ජීවිතයේ කිසිදා අමතක නොවන දිනයක් බව පැවසුවේ? එයාගේ අසනීප තත්ත්වයට නිතර බේත් ගනිමින් තමයි හිටියේ. ඔය කාලයේ මට දවසක් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ අම්මා යෝජනාවක් කළා රත්මලානේ බොරුපන පැත්තේ දේවාලයක් තියෙනවා අපි ගිහින් බලමු කියලා. මමත් ගියා පිහිටක් බලාපොරොත්තුව. අපි ගිහින් පඬුරු තිබ්බහම කපු මහත්තයා මගෙන් ඇහුවා ආයු බල නැති කෙනෙකුට කැමැති වුණේ ඇයි කියලා. කවදාවත් ඒ රෝගී තත්ත්වය සනීප කරන්න බැහැ. වැඩිකල් ජීවත් වෙන්නෙත් නැහැ කියලා මට කිව්වා. මම හිත හදා ගත්තා. මට පුළුවන් ශ්‍රමයෙන් මම එයාව රැක බලා ගත්තා. එයා වෙනුවෙන් සෙත් ශාන්ති බෝධි පූජා පැවැත් වූවා. ඔය අතරේ එයාට අමාරු වෙලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. ඔය වෙන කොට 1971 කැරැල්ල දවස්. රට පුරා කලබලකාරී දවස්. ඒ දවස්වල දුරකථන පහසුකම් ගෙවල්වලට නැහැ. කොහොම හරි එයා මියගිය දවසේ මම එයා වෙනුවෙන් අර මම කලින් කිව්ව දේවාලයට පූජාවක් දෙන්න යන්න සූදානම් වෙමින් හිටියා. එදා කොහොම හරි ඒ දේවාලයේ මහා පූජාවක් සංවිධානය කරලා තිබුණ දවසක්. මම මල්මාල හද හදා ඉන්න කොට එකපාරට ගෙදරට ටෙලිග්‍රෑම් එකක් ආවා විලේගොඩට අමාරුයි කියලා. මම ඒක දැකලා විජහට දන්න කියන අසල්වාසී කෙනෙකුගේ කාර් එකකින් කොළඹ මහ ඉස්පිරිතාලෙට ගියා. ඒ යන කොට මහත්තයා ඇඳේ වැතිරිලා හිටියා. මම මිසී කෙනෙක් ළඟට ගිහින් ඇහුවා මහත්තයාට කොහොමද කියලා. එයා මොකුත් කිව්වේ නැහැ. මගෙන් ඇහුවා තනියමද ආවේ කියලා. ඊට පස්සේ මහත්තයා ළඟට මම ගියා. එයා මගෙන් ඇහුවා දයා අද කොහොමද මෙහෙ ආවේ කියලා. මම කිව්වා අහවල් ගෙදර අයගේ කාර් එකෙන් ආවේ කියලා. ඒ පාර මහත්තයා අතේ ලේන්සුව තියෙනවාද කියලා මගෙන් ඇහුවා. මම ඔව් කිව්වා. එහෙනම් එයාගේ ඇස් දෙක ඒකෙන් පිසදාන්න කිව්වා. මම ලේන්සුවට වතුර ටිකක් දාලා පොඟවලා ඇස් දෙකම හොඳින් පිස්සා. එයා මා දිහා බලා සිටියා. ඊට පස්සේ එයා මට කිව්වා දැන් ඔයා ගෙදර යන්න කියලා. ඒ කිව්වත් මම ගියේ නැහැ. පස්සේ බේරිල්ලක් නැහැ. එයා කියනවා මට ගෙදර යන්නම කියලා. ඒ පාර මම ගෙදර ආවා. මම ආපහු එනකොට එයාට අමාරු බව ආරංචි වෙලා එයාගේ යාළුවෝ ඉස්පිරිතාලෙට එනවා මට හම්බ වුණා. මම ගෙදර ඇවිත් හැකි ඉක්මනින් මගේ අසල්වාසියකු වූ දයා නෙල්ලම්පිටිය මහත්මියත් කැටුව අර දේවාලයේ මහ පූජාවට ගියා. ඒ යන කොට දේවාලයේ පූජාවට සියල්ල සූදානම්. දේවාල භූමියේ ගේට්ටුව වහලා. මම ගේට්ටුවට පයින් පාරක් ගැහුවා. මට මොනව වුණා ද කියලා මම දන්නෙත් නැහැ. ගේට්ටුව ඇරුණා. මම කෙළින්ම ගියේ දේවාලයේ කපු මහත්තයා ඉන්න කාමරයට දොරත් ඇරගෙන. ඒ යන කොට කපු මහත්තයා පූජාවට අවශ්‍ය ඇඳුම් වලින් සැරැසී හිටියේ. මම කපු මහත්තයාගේ උරහිසෙන් අල්ලාගෙන වේගයෙන් සොලවමින් ඇහුවා මගේ මහත්තයාට අමාරුයි, බේරලා දෙනවද කියලා. කපු මහත්තයා ටික වේලාවක් නිශ්ශබ්දව ඉඳලා මට කිව්වා කරදර කරන්න එපා. ගෙදර යන්න කියලා. ඒ පාර මම ගෙදර ඇවිත් රෑ කාමරයේ නිදාගෙන ඉන්න කොට මට ඇහෙන්න පටන් ගත්තා මහා ඝෝෂාකාරී හඬක්. හරියට නිකන් ගස් ගල් පෙරළාගෙන එන මහා කුණාටුවක් වගේ හඬක්. මම ඒ බවක් මගේ තනියට ගෙදර හිටිය මගේ අම්මටත් කිව්වා මම එහෙම කියන කොට අම්මා මගේ දිහා බලන් උන්නා. එයාට ඇහිලා නෑ. ඔය අතරේ රෑ මගේ අක්කාගේ මහත්තයා අපේ ගෙදරට ආවා හදිසියේම විලේගොඩ නැති වුණා කියාගෙන. එයා තමයි මහත්තයා ළඟ රෑට නැවතිලා හිටියේ. පහුවෙනිදා තමයි මම දැනගත්තේ බොරුපන කතරගම දේවාලයේ කපු මහත්තයාට මට දැනුණ අද්භූත හඬ ඒ වෙලාවේ එයාටත් දැනුණා කියලා. ඒ වෙනකොට දින ගණනක් පුරා දේවාලයේ පැවැති පින්කම් අවසන් කරමින් රාත්‍රී මහා පිරිත් දේශනයක් පවත්වමින් තිබිලා තියෙන්නේ. අර කපු මහත්තයා පිරිත් මණ්ඩපය ළඟට දුවගෙන ඇවිත් ඔන්න විලේගොඩ මහත්තයා මිය ගියා. දැන් මෙහාට ආවා. අනේ හාමුදුරුවනේ පිරිත ටිකකට නතර කරන්න කියලා කපු මහත්තයා කියා සිටියාලු. මහත්තයා නැති වුණා කියලා කවුරුත් නොකියා කපු මහත්තයාට දැනිල තියෙන එක මහ පුදුමයක්. මහත්තයා නැතිවෙන්න කලින් අයියාට හරි අපූරු කතාවක් කියලා තිබුණා. සාමාන්‍යයෙන් ලෙඩ ඇඳේ හිටියත් මහත්තයා පොතක් කියවන එක පුරුද්දක්. මහත්තයා අයියට කිව්වලු අයියත් නිදිය ගන්න. මාත් නිදිය ගන්නම්. දැන් නිදිමතයි කියලා. ඒ පාර අයියා කිව්වලු මල්ලිට නිදිමත නම් නිදාගන්න. මට තවමත් නිදිමත නැහැ කියලා. බලබල හිටිය පොත පැත්තකින් තියලා අයියේ මට නිදිමතයි, අයියත් නිදාගන්න කියලා පැත්තට හැරුණලු. ඒ තමයි මගේ ආදර සැමියාගේ අවසන් වචන ටික.
|