වර්ෂ 2015 ක්වූ ජූලි 30 වැනිදා බ්‍රහස්පතින්දා




නාම යෝජනා නොලැබුණේ ඇයි ?

නාම යෝජනා නොලැබුණේ ඇයි ?

අසංක දේවමිත්‍ර අසයි

කමල් අද්දරආරච්චි පිළිතුරු දෙයි

ඇතැම් කලාකරුවන් ගේ නිර්මාණ කටයුතුවලට වඩා වර්තමානයේ අපට කතා කරන්නට සිදුව තිබෙන්නේ ඔවුනගේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳය. ජනපි‍්‍රය නළු කමල් අද්දරආරච්චි ගේ නමද එසේ දේශපාලනයට ඈඳී තිබෙනු පසුගිය දා මාධ්‍ය ඔස්සේ අපි දුටුවෙමු. ඇසුවෙමු. එයින් කියැවුනේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු එක්සත් ජාතික පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වැදීමට නියමිත බවය. කමල් ද විවිධ මාධ්‍යයන් මඟින් ඒ පිළිබඳ තම අදහස් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වුව ද අවසානයේ කමල්ට ඒ සඳහා අවස්ථාව උදා වූයේ නැත. ඒ ඔහුට නාම යෝජනා නොලැබීම හේතුවෙනි. සෘජුව දේශපාලනයට සම්බන්ධවීමට ඔහු දැරූ ප්‍රයත්නය ලත්තැනම ලොප් වූයේ එලෙසය. කමල් දේශපාලනයට පිවිසීමට සූදානම් වූ පුවතත්, ඒ සඳහා ඔහුට අවස්ථාව නොලැබීමේ පුවතත් දැන් පිළුණු වී හමාරය. එහෙත් හරියටම සිදු වූයේ කුමක්දැයි කියා බොහෝ දෙනකු දන්නේ නැත.

කමල්ට නාම යෝජනා නොලැබුණේ මන්ද යන කාරණය ප්‍රමුඛ කොට ගනිමින් ඔහු හා අප මෙසේ සංවාදයකට එක් වුණෙමු.

ඡන්දෙ ඉල්ලන්න එනවා කියන ආරංචියත් එක්ක කමල්, ටිකක් ආන්දෝලනාත්මක චරිතයක් වුණා පසුගිය කාලේ...?

මම දේශපාලනයට එන්න කිසිම අවශ්‍යතාවක් තිබුණ කෙනෙක් නෙවෙයි. දැනටත් මම ඉන්නේ එතන. නමුත් අද අපේ රට දේශපාලන වශයෙන් කිසියම් පිරිහීමකට ලක්වෙලා තියෙනවා. එක පැත්තකින් පාර්ලිමේන්තුව තුළ අපි දකින, අපි අහන කතා දිහා බලනකොට රට ගැන, ජනතාව ගැන නිවැරදි අවබෝධයක්, නිවැරදි දැක්මක් තියෙන අවංක දේශපාලනඥයන් මේක ඇතුළේ ඉන්නවද කියන එක මට ප්‍රශ්නයක්. ඔවුන්ටත් නොදැනුවත්ම ලොකු ව්‍යසනයක් සිද්ධවේගන යනවා මේ රට ඇතුළේ. මේ රටේ තියෙන මුහුණුවර තමයි පාර්ලිමේන්තුව ඇතුළෙන් පේන්න තියෙන්නේ.

රට හදන තැන?

රට හදන තැන කිව්වට, උත්තරීතරයි කිව්වට මේක ඇතුළේ ඉන්න පුද්ගලයෝ මේ සමාජයේ ජීවත්වන අනෙක් මිනිස්සුන්ගෙන් පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ. අද සමාජය ඉතාමත් භේදභින්න වෙලා. ඒ කියන්නේ සමඟියක්, සාමයක් පවත්වාගෙන යන්නෙ නැති හැම පැත්තෙන්ම බිඳ වැටුණු ජාතියක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේකම තමයි අපි දකින්නේ ඔය රට හදන තැනත්. කිසිම වෙනසක් නෑ. එතකොට පාර්ලිමේන්තුවේ ගන්න තීරණ තමයි රටේ පාලනයට සෘජුව බලපාන්නේ. ඉතින් මේ රට ගොඩ ගන්න එක තමයි ඕනෑම පරිපාලනයක් යටතේ සිදු වෙන්න ඕනෑ. ඒක ජේ. වී. පී ද, යූ. එන්. පී. ද නැතිනම් එස්. එල්. එෆ්. පී. ද කියන එක මට වැදගත් නෑ.

රටට, ජනතාවට යහපතක් වෙන්නයි අවශ්‍ය...?

ඔව්, ඒක කවුරු කළත් කමක් නෑ. අවශ්‍යය වෙන්නේ රටේ දියුණුව. ඒ වගේම සාමය, සතුට. ඒ තුළින් සෞභාග්‍යමත් ජීවිතයක්.

එහෙම පක්‍ෂයක්, පාටක් නැතිනම් ඇයි ඔබ එක්සත් ජාතික පක්‍ෂයෙන් මැතිවරණයට එන්න අදහස් කරගෙන හිටියේ?

මම පක්‍ෂයකට, පාටකට විශේෂත්වයක් දක්වන කෙනෙක් නෙවෙයි. නමුත් මම ප්‍රායෝගික ප්‍රද්ගලයෙක්. කලාකරුවෙක් හැටියට මම හිතනවා කිසිම කලාකරුවෙක් දේශපාලනයට යා යුතු නෑ කියලා. ඒ වගේම පූජ්‍ය පක්‍ෂයේ කිසිවකුත් දේශපාලනයට යායුතු නෑ. මොකද මේ දෙපිරිසටම තියෙනවා විශාල වගකීමක්. ඒ තමයි මානව වර්ගයාගේ ආධ්‍යාත්මික සුවතාවය, එහෙම නැත්නම් ආධ්‍යාත්මික දියුණුව ගොඩ නැංවීම. මිනිසුන් අතර සාමය, සමඟිය ගොඩනඟලා රටට ආදරය කරන, පරිසරයට ආදරය කරන ජනතාවක් බිහිකිරීම තමයි ඔවුන්ගේ වගකීම.

කලාකරුවෝ දේශපාලනයට සම්බන්ධවීම ‘බල්ලගෙ වැඩේ බූරුවා කරනවා’ වගේ දෙයක් හැටියටයි ඔබම මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ?

බල්ලාගේ වැඩේ බූරුවා කරනවා කියන්නේ මෙහෙමනේ. බල්ලා තමයි ආරක්‍ෂකයා. බූරුවා තමයි බර ඇදගෙන යන්නේ. හරි. මේ සමාජයක් පවතින්නේ අප අතර තියෙන ගුණධර්ම, ආකල්ප මත නම්, අපි මේ ආර්ථික ක්‍රමෝපායන්වලින් හරි, ආර්ථික ප්‍රතිසංස්කරණවලින් හරි, අධ්‍යාපනයෙන් හරි ඉදිරියට යනවා කියන එක විහිළුවක් මිනිසුන් එතන නැතිනම්. මොකද මේක මම පැහැදිලිව කියන්න ඕනෑ. අද කලාකරුවන් හැටියට අපට ඒ කාර්යභාරය හරියට ඉටුකරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඒකයි කලාකරුවන්ට දේශපාලනය කරන්න සිදුවෙලා තියෙන්නේ.

ඒ කියන්නේ ‘කලාව’ කරගෙන යන්න ඉඩක් නෑ?

ඔව්, මම කියන්නේ සැබෑ කලාකරුවාගේ කාර්යභාරයට ඉඩක් නෑ. සිනමාව, සංගීතය, වේදිකා නාට්‍ය වැනි මේ සියලුම කලාංගයන් වර්ධනය වෙන්නේ සහ කේන්ද්‍ර ගත වෙන්නේ සාහිත්‍යය මුල් කරගෙන. සාහිත්‍යය පිළිබඳ තිබෙන පරිචය ඇසුරු කරගෙන තමයි යම් කිසි දුරකට හොඳ නිර්මාණ බිහිවෙන්නේ. අද සාහිත්‍යය කියන එක එහෙම පිටින්ම වල්වැදිලා. අපේ කුඩා දරුවන්ට, අනාගත පරපුරට මේ සාහිත්‍යය විෂය ඇතුළු කරගන්නට අමාරු තත්ත්වයක් තියෙන්නේ. මම කියන්නේ සිලබස් එකට නෙවේ. ඔවුන්ගේ මනසට. තේරවිලි කවියක්, ගොයම් කවියක්, කියන්නවත් අද ළමයි හුඟ දෙනෙක් දන්නේ නෑ. අපිට ආවේණික අපේ රස කැවිලිවල නමක්වත් නොදන්න අනාගත පරපුරක් තමයි අන්තිමේදී ඉතිරි වෙන්නේ. මේක මහා සංස්කෘතික කැලඹීමක්.

කලාව, සාහිත්‍යය කියන්නේ එක ළඟම කියැවෙන විෂයයන් දෙකක්නේ. එතකොට ‘කලාව’ටත් ඔය වින්නැහියම තමයි වෙලා තියෙන්නේ?

පසුගිය අවුරුදු පහළොවක විතර කාලේ ඉඳලා කලාව තිබුණ තැනිනුත් පල්ලෙහාට වැටුණා. සිනමාව එන්න එන්නම කඩා වැටුණා. එදා චිත්‍රපට ශාලා තුන්සිය ගණනක් තිබුණ රටේ අද තියෙන්නේ එකසිය ගණනයි. රූපවාහිනී මාධ්‍යය ගත්තොත් අද අපට දකින්න ලැබෙන්නෙ මෙගා ටෙලි නාට්‍ය. ඉතාමත් පහත් පෙළේ රසිකත්වයක් ගෙණෙන, බාල, බොළඳ ටෙලි නාට්‍ය තමයි අද විකාශය වෙන්නේ. කාලය කා දමන, මිනිසුන්ගේ රසඥතාව මොට කරන කලාවක් බවට එය අද පත්වෙලා තියෙනවා.

මේවා හදන්නෙත් කලාකරුවන්මනේ?

ඒකයි මම ඔබට කිව්වේ ‘සැබෑ’ කලාකරුවන් කියලා. කලාව අතපත ගෑවට හැමෝම සැබෑ කලාකරුවෝ වෙන්නේ නෑ. ගුණාත්මක, හරවත් දෙයක් කරලා, මිනිස්සුන්ගේ ඔළුගෙඩි හදන්න ඕනෑය කියන සිතිවිල්ල ඔවුන්ට නෑ.

කලාකරුවෝ දේශපාලනය කරනවාට අකමැති ඔබ, පක්‍ෂයක, පාටක විශේෂත්වයක් නොදකින ඔබ අවසානයේ එක්සත් ජාතික පක්‍ෂය තෝරා ගන්නවානේ ඔබේ මතවාදය ජනතාව අතරට ගෙන යන්න. එහෙම කළේ ඇයි කියා මම ඇසූ පැනයට ඔබෙන් හරියටම අදාළ පිළිතුර ලැබුණේ නෑ?

මම කියන්නම්. මෙතෙක් වෙලා මම ඔබට කිව්වේ ඇයි මට දේශපාලනයට එන්න සිදු වෙන්නේ කියන කාරණාවයි. රටේ යම්කිසි වෙනසක් සිදු කරන්න, ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන් වෙන්නේ විපක්‍ෂයේ ඉඳගෙන නෙවෙයි. බලය තියෙන පැත්තේ, නැත්නම් ආණ්ඩුව පැත්තේ ඉඳගෙනයි. හැට දෙලක්‍ෂයක් ඡන්දෙ දීලා මිනිස්සු ඊට කලින් සිටි පාලකයා ඉවත් කර ගත්තා. හැබැයි මිනිස්සු මේ වෙනස ඇති කරගත්තාට මේ වෙනස යාවත්කාලීන කරන්න ඔවුන් මැදිහත් වෙන්නේ නෑ. පැත්තක ඉඳන් අත්දෙක බැඳන් බලාගෙන ඉන්නවා ‘රයිට්’ කරලා පෙන්නපන් කියලා.

එතකොට අනෙක් පැත්තට ඡන්දය දුන්න ලක්‍ෂ පනස් අටකුත් ඉන්නවානේ?

ඔව්, ඒ අය ගේ මතය ‘හරි අපි නෙවේ නේ මේක වෙනස් කළේ උඹලම කර ගනිල්ලා. මේකට අපි නෑ’ කියන එකයි. ඉතිං එහෙම හිතන ජාතියක් බවට අපි පත්වෙලා ඉන්නේ. මේ රට සංවර්ධනය කර ගන්න මේ මිනිස්සු ඔක්කොම ඕනෑ. මේ මිනිස්සු ඔක්කොම දිනාගන්න ඕනෑ. ඉතින් මිනිස්සුන්ගේ ඇති කරන්න ඕනෑ ආකල්පමය වෙනසක්. රට ගැන ඇල්මක් ඇති කර ගන්න ඕනෑ. දේශාභිමානයක්, දේශානුරාගයක් ඇති කරගන්න ඕනෑ සියලු දෙනාම. එහෙම මිනිස්සු නෑ අද. තමන්ට වුවමනා ගොඩනැගිල්ලක් හෝ වෙනයම් දෙයක් ඉදිකරගන්න ගහක්, දෙකක් නෙවෙයි මුළු වනාන්තරයක් වුණත් කපයි මිනිස්සු.

ඔබ ඔය කියන දේවල් එක්ක මට හිතෙනවා ඔබ දේශපාලනයට සුදුසු, දේශපාලනයේ ඉන්න ඕනෑ කලාකරුවෙක් කියා. නමුත් ඔබට අවස්ථාව ලැබුණේ නෑ. මීට ප්‍රථම ටෙලි නාට්‍ය නිළියකට පවා එහෙම අවස්ථාව ලැබුණා. ඇය පාර්ලිමේන්තුවටත් ගියා?

මම දේශපාලනයට ආගන්තුක චරිතයක්. මිනිස්සු දන්නවා මම මීට කලින් දේශපාලනයට නාවේ ඒ ගැන මගේ උනන්දුවක් නැති නිසා බව එක පැත්තකින්. අනෙක් පැත්තෙන් මිනිස්සු දන්නේ නෑ මගේ හැකියාව. ඒ කියන්නේ දේශපාලනය පිළිබඳ දැනුවත්භාවය. ඒක කවුරුත් හඳුනන්නේ නෑ. නමුත් මේ අද දක්වා පාර්ලිමේන්තුවට ගිය කලාකරුවන්ට වඩා මම ගව් ගාණක් ඉස්සරහින් ඉන්නවා මම හිතන විදිහට.

ඇයි එහෙම හිතන්නේ?

මම හිතන්නේ කලාවෙන් රටට සිදු කළ හැකි යහපත, සේවය පිළිබඳ කලාකරුවෝ, පාලකයා දැනුම්වත් කළ යුතුයි. රටට ආමන්ත්‍රණය කරන්න ඉස්සර වෙලා මේකේ ඉන්න මිනිස්සු තේරුම් ගන්න ඕනෑ කලාව කියන්නේ මොකක්ද, කලාකරුවා කියන්නේ කවුද කියන එක. එදා ඉඳන් අද වෙනකල් කලාවට කිසිම තැනක් දීලා නෑ කිසිම රජයකින්. සිරිමාවෝ මැතිනියගේ කාලේ දුන්නෙත් නෑ. චන්ද්‍රිකාගේ කාලේ දුන්නෙත් නෑ. ජේ. ආර් ගේ කාලේ දුන්නෙත් නෑ. ප්‍රේමදාස මහත්මයා නම් ඔය තියටර් එකක්, දෙකක් හැදුවා. ඒ හැර කලාව තුළින් රටට සාමය, සමඟිය, සහජීවනය ඇති කරන්න පුළුවන්ද. ඒ පණිවිඩය රටට ගෙනියන්න පුළුවන්ද කියන එක කිසිම පාලකයෙක් තේරුම් ගත්තේ නෑ.

පොදුවේ සියලුම නායකයෝ?

මහින්ද රාජපක්‍ෂ මේක තේරුම් ගත්තේ නෑ. රනිල් වික්‍රමසිංහ මේ ගැන තේරුම් ගත්තාද කියන ගැටලුවත් මට තියෙනවා. අනුර කුමාර දිසානායක පවා කතා කරන්නේ නෑ මේ ගැන. මේවා කතා කරන්නේ බලාගෙන යනකොට මම විතරයි. මම පාර්ලිමේන්තුවට යන්න හැදුවේ කවුරුත් කතා නොකරන ඒ දේවල් ගැන කතා කරන්න. රටේ නායකයන්ට ඒ බව අවබෝධ කර දෙන්න.

කෙළින්ම කියන්නකෝ, ඇයි ඔබට නාම යෝජනා නොලැබුණේ?

මුලින් පක්‍ෂයේ වගකිව යුත්තෝ මගෙන් ඇහුවා කොහෙන්ද තරග කරන්නේ, කොහාටද තරග කරන්න කැමැති කියලා. මම ඔවුන්ට ලිඛිතව දැනුම් දුන්නා කොහෙන් වුණත් මට ප්‍රශ්නයක් නෑ කියලා. මට අවශ්‍ය වුණේ ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් අරගෙන එ. ජා. ප. ය දිනවන්න. මොකද සන්ධානගත වෙලා ආණ්ඩුවක් ගොඩ නැඟුවොත් එතනදි ලොකු පසුබෑමකට ලක්වෙනවා. එක එක පදයට නටන රූකඩ බවට පත්වෙනවා. එහෙම නොවෙන ශක්තිමත් ආණ්ඩුවකුයි රටේ පාලනයට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම සූදානම් වුණේ ඒ කාර්තව්‍යයට උරදෙන්න. නමුත් නායක කාරකාදීන්ට ඒක හරියට ග්‍රහණය කර ගන්න බැරි වෙන්න ඇති.

කොහොම වුණත් ඡන්දය ඉල්ලන්න සූදානමින් සිටි බව ඔබ කිව්වා?

ඔව්, මාස තුනකට කළිනුයි මම ඔවුන්ට ඒබව දැනුම් දුන්නේ. ඒ කියන්නේ නාම යෝජනා දීමට කලින්. මාව ඕනෑ තැනකට දාන්න පුළුවන්නේ කියලා බොහොම සැහැල්ලුවෙන් ඒ අයත් ඉන්න ඇති. මට අවශ්‍ය වුණා අග්‍රාමාත්‍යතුමා එක්ක කතා කරලා ‘මම ඇයි දේශපාලනයට එන්නේ’ කියන එක පිළිබඳ එතුමා දැනුම්වත් කරන්න. එහෙම පැහැදිලි කිරීමක් නොකර, මගේ අභිප්‍රාය එතුමත් නොදැන මම දේශපාලනයට එන එකේ කිසිම තේරුමක් නෑනේ.

එහෙම සහසම්බන්ධයක්, සාකච්ඡාවක්, සංවාදයක් ඇති වුණේ නෑ?

එහෙම සහසම්බන්ධයක් ඇති වුණේ නෑ මේ පාර්ලිමේන්තුව විසුරුවන කල්ම. ඒ වෙනකල්ම මට අවස්ථාවක් අරන් දුන්නේ නෑ කිසිම නායකයෙක් රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්ක කතා කරන්න. පාර්ලිමේන්තුව විසුරුවාට පස්සෙ ඔන්න මට දුරකථන ඇමතුමක් දුන්නා රනිල් වික්‍රමසිංහ. බොහොම කෙටියෙන්. විනාඩි ගාණකින් මම එතුමාට කිව්වා මගේ අරමුණ. ඒ කාලය මදි හරියට ඒක අවබෝධ කරලා දෙන්න. මම හිතනවා අඩුගානේ සාකච්ඡා කළා නම් මට ඒ අවස්ථාව ලැබෙනවා. රනිල් මහත්තයා මට කිව්වා ලේකම් එක්ක කතා කරන්න, සභාපති එක්ක කතා කරන්න කියලා. ඒ වෙනකොටත් මම ඒ ගොල්ල එක්ක කතා කරලා තිබුණේ.

ඒ වුණාට රත්නපුරයෙන් ඔබ මැතිවරණයට ඉදිරිපත් වෙන බව ඔබම ප්‍රකාශ කළානේ?

නෑ.. නෑ.. මම කිව්වේ නෑ. ඒ අයමයි මගෙන් ඇහුවේ. මුලින්ම ඇහුවා ගම්පහින් ඉල්ලන්න කැමැතිද කියලා. මම ප්‍රශ්නයක් නෑ කිව්වාම එයාලම කිව්වා ගම්පහින් නළුවෝ දෙන්නෙක් දාන එකේ තේරුමක් නෑනේ කියලා. ඇයි රන්ජනුත් ඉල්ලනවානේ. ඊට පස්සේ රත්නපුරේට යෝජනා වුණා. ඒක තමයි ඔය මහලොකු ප්‍රචාරයක් ගියේ.

රත්නපුරේට යෝජනා වුණාම ඔබට පක්‍ෂය ඇතුළෙන්ම විරෝධයක් ආවානේ?

තලතා අතුකෝරල මහත්මිය මට දුරකථනයෙන් අමතලා කව්වා, ඇත්තටම ඒක දෝෂාරෝපනයක් විදිහටයි කිව්වේ. රන්ජන් රාමනායක රත්නපුරෙන් පාර්ලිමේන්තුවට ඇවිත් එහෙට සේවයක් කළේ නෑ කියලා මිනිස්සු කියනවා කියලා තලතා මට කිව්වා. ආපහු මේ ඡන්ද ටික ගන්න නළුවෙක් දාලා කියලා මිනිස්සු කියයි කියලා ඇය ප්‍රකාශ කළා. අනෙක ඒ ප්‍රදේශයේ තවත්, තවත් අය තිගැස්මක් ඇති කරගත්තා මම එහෙට ඇවිත් ලොකු වෙනසක් කරයි කියලා.

තිගැස්මක්...?

ඔව්, තිගැස්මක් තිබුණා. මම ඇවිත් ඒ ගොල්ලන්ගේ ඡන්දවලට බලපෑමක් කරයිද කියලා. ඒ විදිහේ පොඩි ප්‍රතිරෝදයක් තිබුණා රත්නපුරේ. මම කල්පනා කළා කාගෙවත් පාත්තරවල තිබෙන දෙයක් මට අවශ්‍යය නෑ කියලා. ඊට පස්සේ ඔන්න ආයේ කිව්වා අපි ඔයාව කළුතරට දාන්නම් කියලා. ඉතිං මම කිව්වා ඕනෑ තැනකට දාන්න කියලා. මේක මගේ රට. අවසාන මොහොතේ මට කිව්වා අනුරාධපුරේට යන්න කියලා.

ඒක නම් ඔබ ප්‍රතික්ෂේප කළා?

ප්‍රතික්ෂේප කරන්නේ නෑ මට මාස තුනකට කලින්වත් කිව්වා නම්. මොකද මට එහෙට බහින්න වෙන්නේ පැරෂුට් එකකින් වගේ. පදනමකුත් නෑ. එහෙම නම් මම යම් විදිහකට ඒක හදාගෙන ඉන්න ඕනෑ.

රත්නපුරේට එක පයින් කැමැති වුණ ඔබ ඇයි අනුරාධපුරේට අකැමැති වුණේ. ‘මේක මගේ රට, ඕනෑම තැනකට දාන්න’ කියලා ඔබමනේ කිව්වේ?

රත්නපුරේ මගේ සම්බන්ධකම් තියෙනවා. රත්නපුරේ මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මම ඉන්නේ. මගේ හිතවතුන් ගොඩක් එහේ ඉන්නවා. ඇඹිලිපිටිය දක්වා මට හිතවත්කම් තියෙනවා. ඇහැලියගොඩ, බලංගොඩ දක්වා ඒ ත්‍රිකෝණය ඇතුළේ මට හිතවත්කම් තියෙනවා. පුදුමාකාර සම්බන්ධකම්.

එතකොට ගම්පහ?

ගම්පහත් පුළුවන්. මොකද කොළඹ ආශ්‍රිත ප්‍රදේශයක්නේ. අනෙක මට ඕනෑ වෙලාවක යන්න එන්නත් පුළුවන්.

කලාකරුවා කියන්නේ පොදු වස්තුවක්නේ. රත්නපුරේට, ගම්පහට පුළුවන්නම් ඇයි අනුරාධපුරෙන් ඉල්ලන්න බැරි කියලා කවුරු හරි ඇහුවොත්?

මම කලිනුත් කිව්වානේ මම ප්‍රැක්ටිකල් මිනිහෙක්. අනුරාධපුරේට ගිහින් මට හරියට ඒ කාර්යයට කැප වෙන්න බෑ. අනුරාධපුරේ කිසි කෙනෙක් මම දන්නෙත් නෑ. එහෙ ගිහින් මම මොනවද කරන්නේ. අනුරාධපුරය විශාල ප්‍රදේශයක්. එක මාසයකින් මට ඒක ආවරණය කර ගන්න බෑ. නමුත් රත්නපුරේ ගැන මම දන්නවා. ඔවුන්ගේ ප්‍රශ්න ගැන මට අවබෝධයක් තියෙනවා.

මොකක්ද ඒ අවබෝධය?

දැන් නාය යෑමේ ප්‍රශ්නය. කවුරුවත් ඊට විසඳුම් හොයලා නෑ. එතකොට පතල් කර්මාන්තයේ තිබෙන අර්බුද. පතලේ ඉන්න මිනිහා හැමදාම දුප්පත්. ගොඩ ඉඳලා තැරැව්කාරයන්ගෙන් හරි මැණික මිලදී ගන්න කෙනා හැමදාම රජ සැප විඳිනවා. ඉතින් මේ ක්‍රමවේදය වෙනස් කරලා රත්නපුරේට නියම වටිනාකම ලබා දෙන්නයි මට ඕනෑ වුණේ.

මැණික් ගරන්න එහෙම ආසාවක් ඇති වුණේ නැහැනේ?

මැණික් ගරන්න වුණත් පුළුවන්. මැණික් කර්මාන්තය ආශ්‍රිතවයි මගේ එක් වෘත්තියක් ගොඩ නැඟී තිබෙන්නේ. මම මැණික් ගැන හොඳට දන්නවා. අනෙක මැණික් පිටරට යවන ක්‍රමවේදය මීටත් වඩා ඵලදායි අන්දමට කරන්න වැඩ පිළිවෙළක් පවා සකස් කරන්න තිබුණා. මොකද මැණික් මිල දී ගන්න බොහෝ රටවල් එක්ක මගේ සම්බන්ධතා, දැන හැඳුනුම්කම් තියෙනවා. පිටරටවලින් ආයෝජකයන් ගෙන්නා ගන්න පවා මට පුළුවන්කම තිබුණා. විදෙස් රටවල්වල ඉන්න මගේ හිතවත්තු මෙහෙ සිනමා ශාලා ඉදි කරන්නට ආයෝජකයෝ සොයා දෙන්නත් මට පොරොන්දු වුණා.

සමහර කලාකරුවෝ දේශපාලනය කරන්නේ තනතුරු වරදාන, වරප්‍රසාද බලාපොරොත්තුවෙන්. එහෙම තනතුරක් ලැබුණොත් ඔබට?

මම මේවා කියන්නේ හෙට උදේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිකම බාර ගන්න හිතාගෙන නෙවෙයි. එහෙම ජිවිතේට බාර ගන්නේ නෑ මම. මට අවශ්‍ය වුණේ කලාකරුවෙක් හැටියට මේ රටේ කලාව වෙනුවෙන් සේවයක් කරන්න. ඒ වගේම කලාවෙන් ලැබෙන ප්‍රතිලාභ පාලකයන්ටත් ලබා දෙන්න.

කමල් ඔය පොර ටෝක් දැම්මට දේශපාලනයට එන්න එයාට තියෙන සුදුසුකම මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත්?

එකම සුදුසුකම මේකයි. ඒ තමයි මේ රට හරියට පාලනය වෙන්නේ නැති එක. දේශපාලනඥයෝ හරියට රට පාලනය නොකරන එක.

එතකොට සිනමා නළුවන්ට පුළුවන් ද රට හදන්න?

රට හදන්න නෙවෙයි. අඩු ගානේ මේ දේශපානඥයන්ගේ ඔළුවට දාන්න පුළුවන් රට පාලනය කරන්න ඕනේ මෙන්න මේ මේ දේවලුත් උපයෝගි කරගෙන කියන එක. රටේ සම්පත් කොහොමද සංවර්ධනයට යොදා ගන්නේ කියන සංකල්පය ඔවුන්ට වටහා දිය යුතුයි. අලුත් චින්තනයකින් කොහොමද රට පාලනය කරන්නේ සහ රටේ ප්‍රශ්න හඳුනා ගන්නේ වගේ දේවල්. දැන් අර චින්තනය, මේ චින්තනය නෙවෙයි මේ මිනිසුන්ගේ චින්තනය , ඒකයි වෙනස් කර ගන්න ඕනෑ. කාගේ කාගේත් චින්තනයන් ඇති. නමුත් ඒ මොන චින්තනය තිබ්බත් මිනිසුන්ගේ චින්තනය තියෙන්නේ වෙන තැනක නම් ඒකයි අපි හඳුනා ගන්න ඕනෑ.

මේ වෙන කොට අපේ කලාකරුවන් රැසක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඔවුන් කලාව වෙනුවෙන් කිසියම් මෙහෙවරක් කළේ නැහැ කියලා ද ඔබ කියන්නේ?

සමාජ විෂමතා, සමාජයේ තිබෙන අවුල්, වියවුල්, දූෂණ, සොරකම් ගැන විනා ඔවුන් කතා කරනවා අඩුයි මේ කලාව සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න පිළිබඳ. කලාව සම්බන්ධව කතා කිරීම ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රවල නෑ කියලයි මට නම් පේන්නේ. ගීතා කුමාරසිංහ දිහා බැලුවත් පේන්නේ ගීතා හරි දෙයක් ගැන කතා කරන්නේ නෑ. කලාව සම්බන්ධ දේවල් නෙවෙයි කතා කරන්නේ. රන්ජන් ගිහිල්ලත් කතා කරන්නේ පසුගිය රජයේ නායකයාගෙන් සිදු වෙච්ච දූෂණ, වංචා ගැන. එතකොට මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග කතා කළේත් නෑ. ඒ විතරක් නෙවේ එදා ගාමිණී ෆොන්සේකා කතා කළේත් නෑ.

ඔය කිසි කෙනෙක් කලාව වෙනුවෙන් හඬ නැඟුවේ නෑ?

කිසි කෙනෙක් කතා කළේ නෑ. මම දැන් මේ ආ(ර්)ටිකල් එකේ කතා කරන්නෙත් ඒ ගැන. මම පාර්ලිමේන්තුවට ගිහින් කතා කරන්න හිටියෙත් ඒක. මම පාර්ලිමේන්තුවට යන්න තීරණය කරපු එකම හේතුවත් ඒක. ඉතින් මට තේරෙනවා මේ කලාව දියුණු කර ගත්තොත් ඒ තුළින් මිනිසුන්ගේ හිත් අවදි වෙනවා. එහෙම වෙලා සැබෑ දේශපාලනඥයෝ කවුද කියලා මිනිස්සු තේරුම් ගත්තොත් කියලා සමහරු බය ද දන්නේ නෑ.

ගිය දේ ගියාවේ කියලා නැවත ඊළඟ මහ මැතිවරණයට ඉල්ලන්න හිත හදාගෙන ද දැන් ඉන්නේ?

අනේ නෑ. ආයේ කිසිම දවසක ඡන්දෙ ඉල්ලන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. තව අවුරුදු පහකින් මට වයස අවුරුදු පනස් අටයි. මම හිතන්නේ මේ මැතිවරණය තමයි මට ඒ සඳහා තිබූ එකම සහ හොඳම අවස්ථාව. නමුත් ඒ අවස්ථාව මගෙන් ගිළිහී ගියා.

ඔබ ඒ ගැන කලකිරීමෙන්ද?

කලකිරීම කියන්නේ දැන් අවුරුදු දොළහකින් මම ටෙලි නාට්‍යයක රඟපාලා නෑ. ඒ අවුරුදු දොළහට ඕනෑ නම් මම චිත්‍රපට හතරක් කරලා ඇති ප්‍රධාන භූමිකා රඟපාපු. චිත්‍රපට සමහර ඒවා ප්‍රධාන භූමිකා කියලා පෙනුණාට එහෙම නෑ. ‘කලර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කළා. මම හිතන්නේ ඒ අවුරුදු දොළහ ඇතුළට වැටෙනවාද දන්නේ නෑ ‘ගරිල්ලා මාකටිං’ චිත්‍රපටය. ‘දෝණි’ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයක් නෙවේ. මට එහෙම ඉන්න පුළුවන්. ලොකු චරිත ද, පොඩි චරිත ද කියලා මට ප්‍රශ්නයක් නෑ චිත්‍රපටය හොඳ නම්. නමුත් එහෙම හදවතට දැනෙන චිත්‍රපට මට යම් ප්‍රමාණයක්වත් ලැබුණේ නැහැ.

ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ සඳහා ආරම්භයේ සිට දායක වූ රංගන ශිල්පියෙක් ඔබ. ‘අත්’, ‘මෝරා’ වේදිකා නාට්‍ය ගත්තත් ‘වෙද හාමිනේ’, ‘දඬුබස්නාමානය’ වැනි ටෙලි නාට්‍ය ගත්තත් ‘අග්නිදාහය’, ‘ගරිල්ලා මාකටිං’ චිත්‍රපට ගත්තත් ඔබ ඒ වායේ ප්‍රධාන භූමිකා රඟ දක්වනවා.

ඔව්.

නමුත් ජයන්තගේ ‘සමනල සංධ්වනිය’ හා ‘මහරජ ගැමුණු’ චිත්‍රපට දෙකේම කමල් නෑ?

නෑ. ‘දුටුගැමුණු’ චිත්‍රපටයට මට කතා කළා. මම ඒ චිත්‍රපටයට කැමැති නෑ. මම ජයන්තට වෙන බයිලා එකක් කියලා ඒකෙන් අයින් වුණා.

මොකක්ද ඔබට කතා කළ චරිතය?

අර එළාරගේ අග්‍රපුරෝහිතයාගේ චරිතයට. ඒක මට හරි ගියේ නෑ. වෙනත් චරිතයක් ලැබුණා නම් මට කරන්නත් තිබුණා. ඒත් මට කියන්න බෑ මේ චරිතේ දෙන්න, අර චරිතේ දෙන්න කියලා. ඒ පිළිබඳ මට ප්‍රසාදයක් තිබුණේ නෑ. ඒ නිසා චරිතය භාර ගත්තේ නෑ.

එතකොට ‘සමනළ සංධ්වනිය’ට?

නෑ ඒකට කතා කළේ නෑ. මම කියන්නේ එහෙම වෙන්න ඕනේ නෑ. හැම එකේම ඉන්න ඕනෑ නෑ. නමුත් මට කරන්න පුළුවන් චරිතයක් ඔහු මට බාර දුන්නා නම් ජයන්ත ඒ හරහා තවත් ආලෝකයක් ඔහුගේ නිර්මාණයට ලබා ගන්නවා.

නෑ එක්තරා කාලයක ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණවල ප්‍රධාන තුරුම්පුව වුණේ ඔබ. ඒකයි මම එහෙම ඇහුවේ?

ජනතා ප්‍රසාදයට ලක් වූ ජයන්තගේ නිර්මාණවල ප්‍රධාන භූමිකාව කළේ මම. ඉතින් ඒ ගැන මට සංතෝෂයි. ඒක ජයන්තත් දන්නවා. අපේ හිතවත්කම එහෙමම තියෙනවා. මමත් එකඟ වෙන ඔහුගේ නිර්මාණයකට මට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම මම ඒක භාර ගන්නවා, කොන්දේසි විරහිතව.

රඟපෑම දෙවැනි තැනට දාලා කමල් දැන් දිගටම බිස්නස්වලට බැහැලා කියලා සමහරු කියනවා?

මට නිකං ඉන්න පුළුවන්ද? මගේ බිරිය, දරු දෙන්නට මම කන්න, අඳින්න දෙන්න ඕනෑ. මුලින් මම ඔබට කිව්වා පසුගිය අවුරුදු දොළහ තුළ නළුවෙක් වශයෙන් මට අත් වුණ ඉරණම. කමල් අද්දරආරච්චි කියන නළුවා මට එහෙම තුට්ටු දෙකට දාන්න බෑ. කාගෙන් හරි යැපෙන, කාගේ හරි පිටිපස්සේ යන, කාට හරි යටත් වෙලා ඉන්න චරිතයක් කරන්න ඕනෑ නෑ. කාගේ හරි පිට කසන, නැතිනම් කාට හරි වන්දි භට්ටකම් කරන, කඩේ යන එහෙම නැතිනම් හිඟාකන කෙනෙක් කරන්න අවශ්‍ය නෑ. මට ඕනෑ ‘නළුවා’ කියන ගෞරවයත් තියාගෙන කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න. පහුගිය කාලයේ මම හරි අපහසුවෙන් හිටියේ හොඳ නිර්මාණයකට දායක නොවීම ගැන. ඒක තරමක් දුරට හරි මඟ හැරුණේ ‘රඟපෑම් ඉවරයි’ කියන වේදිකා නාට්‍යයෙන්.

ඒත් කමල්ගේ රඟපෑම් තවම ඉවර නෑනේ?

නෑ... නෑ... ඕනෑ වෙලාවක සුදුසු චරිතයක් ලැබුණොත් මම රඟපානවා.