|
රජීව් යළි තිරයට අතුරු මිතුරු හරි අපූරු
කොළඹ ගංගාරාම විහාර පරිශ්‍රයේ පැවති මුහුරත් උළෙලකින් අනතුරුව ලාල් ප්‍රියදේවගේ තිර රචනයෙන් අධ්‍යක්ෂණය වන දොළොස් වැනි සිනමා කෘතියෙහි වැඩ කටයුතු ආරම්භ විය. අතුරු මිතුරු හරි අපූරු ලෙසට නම තබා ඇති මෙය ළමා චිත්‍රපටයකි. දිගු කලකට පසු යසපාලිත නානායක්කාරගේ පුතු රජීව් නානායක්කාර අතුරු මිතුරු හරි අපූරු සිනමාපටය සමඟින් ඔබ හමුවීමට නියමිතය. මහේන්ද්‍ර පෙර්රා, සුරංග සතරසිංහ, ආනන්ද වික්‍රමගේ, ආරියසේන ගමගේ, රොනී ලීච්, දොන් ගයි, මානෙල් වානගුරු, රංග විජය වික්‍රම, රනිල් සුරංග, මේනකා නෙත්මි, ඩී. බී. ගංගොඩතැන්න, ජීවන් හෙට්ටිආරච්චි, ගාමිණී සුබසිංහ මෙහි චරිත මවති. ෂයිනි නයනතරා අතුරු මිතුරු හරි අපූරු හරහා සිනමාවට හඳුන්වා දෙන නවතම තාරකාවයි. මෙය එන්. උදය කුමාර්ගේ නිෂ්පාදනයකි. අලි පැටියෝ ඔයයි මමයි, අපේ යාළු පුංචි භූතයා නිෂ්පාදනය කළේ උදය කුමාර්ය. සුනිල් ආරියරත්න ගී පද රචනයෙන් ද, විශාරද එඩ්වඩ් ජයකොඩිගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙහි මංජුල කුමාරතුංග කැමරාව මෙහෙයවයි. ලයනල් ලියනගේ ගේ කලා අධ්‍යක්ෂණයකි. ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂණය කරයි. සේලවරාජ්ගේ අංග රචනයකි. සම්පත් රත්නායක සහාය අධ්‍යක්ෂවරයාය. නන්ද කුමාර නර්ථන නිර්මාණයෙන් එක් වෙයි. කොට්ටාරමුල්ලේ චමිල ඇඳුම් නිර්මාණය කරයි. වී. කේ. එල්. ප්‍රේමලාල්ගේ ආලෝකකරණයකි. |