වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ සටන්කාමී ප්‍රේමවන්තයා රොබින් ප්‍රනාන්දුගේ ජීවන අත්දැකීම්
‘චණ්ඩියා’ තිරගත වී වසර 50 ක් පිරීම නිමිත්තෙනි

සිනමාවේ සටන්කාමී ප්‍රේමවන්තයා රොබින් ප්‍රනාන්දුගේ ජීවන අත්දැකීම්

සාමාන්‍යයෙන් රිදී තිරයේ දුෂ්ටයා, ප්‍රේක්ෂකයාට එතරම් දිරවන්නේ නැත. වීරයාගෙන් නැතිනම් කොල්ලාගෙන් අම්බානකට ගුටි කා නොකවුට් වූ දුෂ්ටයාට නරඹන්නන්ගෙන් ලැබෙන්නේ හොඳ හූවකි. කොල්ලාට විසිල් පාරය. කොල්ලා, බල්ලෙකු නොවී වීරයකු වන්නේ දුෂ්ටයාගේ සටන්කාමිත්වය වැඩි වූ තරමටය.

අපේ සිනමාවේ සටන්කාමීන්ට බොහෝ විට ලේබලය වැදුණේ දුෂ්ට නළුවන් ලෙසිනි. එහෙත් අතිශය සටන්කාමියකු වූ රොබින් ප්‍රනාන්දු වඩාත් කැපී පෙනුණේ දුෂ්ටයකු හැටියට නොව වීරයකු සේය. ඔහුගේ කඩවසම් බව ඊට හේතු සාධකයක් වන්නට ඇත. කෙසේ වෙතත් දුෂ්ට චරිත මෙන්ම වීර චරිත ද රිදී තිරය මත මැවූ රොබින් වරෙක සොඳුරු පෙම්වතාගේ චරිතයට ද පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට සමත් වූ නළුවෙකි.

රොබින් සිනමාවට ප්‍රවේශ වූයේ 'චණ්ඩියා' චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟින් කළ බිහිසුණු සටන් දර්ශනයත් සමඟිනි. එදා පටන් නළුවකු ලෙස දිනෙන් දින තම ප්‍රතිරූපය ඉහළට නංවා ගත් ඔහු කතා රචනයෙන්, නිෂ්පාදනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද දේශීය සිනමාවට දායක විය. අද ජීවිතයේ සැඳෑ සමය සුවසේ ගත කරන මේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා කලකට පසු 'සරසවිය' හා හෘදයාංගම කතාබහකට එක් වූයේ මෙලෙසිනි.

රොබින් අයියා අප අතරේ ඉන්නා ජ්‍යෙෂ්ඨතම නළුවන්ගෙන් කෙනෙක්?

මගේ නළු ජීවිතයට දැන් වසර පනස් එකක්. මුලින්ම මම රඟපෑවේ 'චණ්ඩියා' චිත්‍රපටයේ වුණාට ඊට කලින් 'ධීවරයෝ' තිරගත වුණා. ඒ 1964 දී. 'චණ්ඩියා' රිලීස් වුණේ 1965 දී.

ඔබගේ නවතම රංගනය තවම ප්‍රේක්ෂකයන් අතරට ආවේත් නෑ?

ඔව්. සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ 60 වැනි චිත්‍රපටයේ මම රඟපෑවා. 'මහරජ අජාසත්'. සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ ඇමතිවරයකුගේ චරිතයක්.

හොඳයි, අපි යළි ඔබේ අතීතයට යමු. රොබින් අයියා ඉපදුණේ කවදාදා? කොහෙදිද?

1937 ජූනි 15 වැනිදා කොටහේනේදී තමයි මම ඉපදුණේ. දැන් අවුරුදු හැත්තෑ අටක්. පොඩි වයසක් ද නේද? එයිනුත් අවුරුදු පනස් එකක්ම සිනමාවේ.

උප්පැන්න සහතිකයේ ඔබේ නම සඳහන් වුණේ කොහොමද?

පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු. ඒත් පට්ටියගේ සහ ස්ටීවන් කෑලි දෙක හැලිලා මම සිනමාවට ආවේ රොබින් ප්‍රනාන්දු හැටියට.

පවුල් පසුබිම කොයි වගේද?

මගේ තාත්තා සිරිල් ඇන්තනි. ඔහු සේවය කළේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ. අම්මාගේ නම වයලට්. මට සහෝදරයෝ දෙන්නයි, සහෝදරියෝ දෙන්නයි.

පාසල් අවධිය ගැන මතක කළොත්?

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. මට මතකයි දෙවැනි ලෝක යුද්ධ කාලේ අපි පාසල් යනවා. ඒ කාලේ මට අමතක නොවෙන දෙයක් තමයි අර ගෑස් බැලුන් උඩ ඇරපු එක. ජපන්නුන්ට බෝම්බ දාන්න බැරි වෙන්නයි එහෙම කළේ. ඒ බැලුමක් මම හිතන්නේ සාමාන්‍ය ගෙයක් තරම් විශාලයි. ඒකට ගෑස් පුරවලා කේබල් වයර් එකෙන් තමයි උඩ අරින්නේ.

ආරක්ෂක උපක්‍රමයක් විදිහටයි එහෙම කළේ?

ඔව්. නොදැන එහෙම ජපන්නු ඩයිව් කරන්න ආවොත් අර කේබල් එකේ පැටලෙනවා. අපි කොලු නඩේ ඒ වායු බැලුන් උඩ අරිනවා බලාගෙන හිටියේ හරියට මැජික් බලනවා වගේ.

පාසල් සමයේ මම හිතන්නේ ඔබ වඩාත් දක්ෂතාවයක් දැක්වූයේ ක්‍රීඩාවට?

කරාටේ සහ ජිම්නාස්ටික් තමයි මම තෝරා ගත්තේ. ටිකක් ඇඟපත හොල්ලන්න පුළුවන් ක්‍රීඩා. ඊට පස්සේ කැඩෙටින්. සීනියර් කැඩෙට(ර්) කෙනෙක් විදිහට ඒ කාලේ මම ස්කෝලේ නමක් දිනාගෙන හිටියා.

ජිම්නාස්ටික් ක්‍රීඩකයකු විදිහටත් ඔබට හොඳ තැනක් තිබුණා?

හොඳම ජිම්නාස්ටික් ක්‍රීඩකයා විදිහට මම පාසලේදී වගේම ජාතික වර්ණ පවා ලැබුවා. ඇත්තටම ජිම්නාස්ටික් තමයි ටේබල් ටෙනිස්, හොකී, බාස්කට් බෝල්, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩාවලට විතරක් නෙමේ නර්ථනයට පවා බේස් එක වුණේ.

නර්ථනයට?

අර ෙබ්‍රික් ඩාන්ස් කියලා තිබුණේ. ඒවා අපි මියුසික් නැතුව නටනවා ජිම්නාස්ටික් කරද්දී. එතකොට කෙඩෙටින් කරද්දී මම ඕඥඵබ ඉධධබඥප පවා වෙලා තියෙනවා. මට මතකයි අවුරුද්දකට දෙපාරක් විතර දියතලාවට යනවා අපි ප්ලැටුන් එකක් අරගෙන. කෙඩෙටින් පැත්තෙන් ගිහින් අපේ රටේ ප්‍රසිද්ධ වුණ චරිතයක් තමයි හිටපු හමුදාපතිවරයකු වූ සිසිල් වෛද්‍යරත්න.

ක්‍රීඩාවෙන් වගේම ඔබ බෞද්ධ අධ්‍යාපනයෙන් පවා හොඳ විනයක්, ශික්ෂණයක් ලැබූ අයෙක්?

පාසල් කාලේ ඉඳලම මම දහම් පාසල් අධ්‍යාපනයක් ලැබුවා. ඒ නිසාම දොරකඩ අස්න පවා කියැවීමේ වාසනාව මට ලැබුණා. මගේ ජීවිතයට 'බුදු දහම' නිසා ලැබුණු ආලෝකය විශාලයි.

ඔබ ජිම්නාස්ටික් ක්‍රීඩකයකු වූ නිසාම මම හිතන්නේ විශේෂ අවස්ථාවකුත් ලැබෙනවා?

අපි ජිම්නාස්ටික් කරනවා කවුරුත් දකිනවනේ, කරනම් ගහන ඒවා, අරවා මේවා. එතකොට අපේ පල්ලිය භාරව හිටියේ අර්නස්ට් පෝරුතොට පියතුමා. අපේ පාසලේ මාස්ටර්ගේ පුතා දක්ෂ කැමරා ශිල්පියෙක්. එයා මිලි මීටර් 16 චිත්‍රපටයක් කළා. පෝරුතොට පියතුමා මඟින් මාවත් තෝරා ගත්තා සුළු සටන් දර්ශනයකට.

මොකක්ද චිත්‍රපටයේ නම?

'හිඟන කොල්ලා' කියලා. ඒත් ඒක දකින්න ලැබුණේ නෑ. ඒ කාලේ මට සිනමාව ගැන ලොකු උනන්දුවක් තිබුණේ නෑ. හැබැයි අපේ පාසලේ ෆාදර් මාටින් අපිව හැම ඉරිදාම උදේ සත දහයකට මි. මි. 16 පිච්චර් එකක් පෙන්නනවා.

චිත්‍රපට නරඹන්න කැමැත්තක් තිබුණාද?

චිත්‍රපට කිව්වට සටන් ජවනිකා නරඹන්න තමයි මම ප්‍රිය කළේ. ඒ කාලේ හොලිවුඩ් සිනමාවට ආපු ජිම්නාස්ටික් සූරයෝ දෙන්නෙක් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගියා. ඒ වගේ දේවල් නිසා මටත් පස්සේ රඟපාන්න පොඩි ආසාවක් ඇති නොවුණා කියන්න බෑ.

හොලිවුඩ් සිනමාවේ ඔබ ප්‍රිය කළ නළුවන් කිහිප දෙනෙක්ම ඒ කාලේ හිටියා?

ඔව්. ක්ලින්ට් ඊස්ට්වුඩ්, චාල්ස් බ්‍රොන්සන්, නික් කුරවට්, බර්ටි ලැන්කැස්ටර් වගේ නළුවන්. ඇතැම් විට ඔවුන්ගේ රංගන ආභාසයත් මට ලැබෙන්න ඇති.

නමුත් රොබින් අයියාගේ හිතේ ඒ කාලේ් වෘත්තීය නළුවෙක් වෙන්න අදහසක් තිබුණේ නෑනේ?

නැහැ. ඇත්තටම ඒ කාලේ ගොඩක් අයට වුවමනා කළේ එක්කෝ බැංකුවට නැතිනම් පොලීසියට බැඳෙන්න.

පොලීසියට බැඳෙන්න අයදුම්පතකුත් දැම්මා?

එතනත් ලොකු කතාවක් තියෙනවා. අද වගේ නෙවෙයි ඉස්සර හැම දෙයක්ම බලනවා පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනිද්දී. පරම්පරා දෙක තුනක් පස්සට යනවා. ගිහිල්ලා බලනවා ඒගොල්ලන්ගේ පැවැත්ම කොහොමද කියලා.

පැටිකිරිය?

ඔව්. මගේ මාමලා දෙන්නෙක් හිටියා. එක් කෙනෙක් හොඳට දඟලන්න, ගහගන්න පුළුවන්, සටන් ක්‍රම ඉගෙන ගත්ත කෙනෙක්. අනෙක් මාමා නිල ශාස්ත්‍රය හදාරලා තිබුණා. නමුත් එයාලා මට කවදාවත් ඒවා ඉගැන්නුවේ නෑ.

ඇයි ඒ?

මොන හේතුවක් නිසා ද මන්දා මට ඉගැන්නුවේ නෑ. සමහර විට එහි තිබුණ භයානකකම නිසා ද දන්නෙත් නැහැ. ඉතින් මේ දෙන්නත් එක්ක පොලීසියේ යම් යම් ප්‍රශ්න තිබිලා තියෙනවා. මට ඒක බාධාවක් වුණා පොලීසියට යන්න. විජය කුමාරණතුංගටත් ඒක වුණා. ඒක එයාගේ මාමා කෙනෙකුගේ ප්‍රශ්නයක්.

හොඳයි එතකොට කොහොමද ඔබට 'චණ්ඩියා' චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

එතකොට මම හිටියේ වාසල රෝඩ් එකේ. අපේ ගෙදර ඉඳන් ගෙවල් හත අටකට එහායින් තමයි ආරියරත්න කහවිට හිටියේ. 'කලා' පත්තරේ කර්තෘ ඔහු එතකොට. ස්කෝලේ යන එනකොට මම දකිනවා ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධන, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ඩේසි අක්කා වගේ අය කහවිට හම්බ වෙන්න යනවා. කොහොම හරි අතපය හයි වෙලා ලොකු වුණාම ඔහු මගෙන් දවසක් ඇහුවා 'මල්ලි කැමැති නැද්ද චිත්‍රපටයක ඉන්න' කියලා.

ඔබ මොකද කිව්වේ?

මම ඉතින් කිව්වා අකැමැත්තන් නෑ කියලා. ඊට පස්සේ ඔහු කිව්වා 'එහෙනම් ෆයිට් එකක් තියෙනවා ගාමිණී ෆොන්සේකා කියන නළුවා එක්ක' කියලා.

බය හිතුණද?

නෑ. ගාමිණී එතකොට සිනමාවේ තරමක් ජනප්‍රිය නළුවෙක්. ඔහු සටන් කලාව ප්‍රගුණ කළ කෙනෙක් කියලා මම අහලා තිබුණා. නමුත් සිනමාවේදී ගහ ගන්නේ බෙරුවට කියලා අපි දැනගෙන හිටියා. හැබැයි බොරුවට ගහගන්න එක අමාරුයි ඇත්තට ගහ ගන්නවාට වඩා. මොකද ජිම්නාස්ටික්, කරාටේ ක්ලාස්වලදී අපි බොරුවට ෆයිට් කරනවා. බලන කොට පේන්නේ ඇත්තටම කියලා.

කොහොම වුණත් 'චණ්ඩියා' චිත්‍රපටයේ ගාමිණීගේත් ඔබගේත් සටන් ජවනිකාව ගැන අදටත් බොහෝ අය කතා කරනවා?

පිහිනුම් තටාකේ උඩ ඉඳලා මම සිය පාරකට වඩා වතුරට පැනලා තියෙනවා. උඩ ලෑල්ලේ ඉඳලා පැනලා වතුර යටටම මම ඩයිව් කරනවා. ඒ කියන්නේ පිට හරි පපුව හරි වැදුණොත් මැරෙන්න පුළුවන්. ඉතින් ගාමිණී ගහනකොට ඒ විදිහටයි වැටෙන්න ඕනෑ කියලා ටයි මහත්තයා මට කියලා දුන්නා. ලොකු අවදානමක් හැටියටයි ඔහු ඒක සැළකුවේ.

නමුත් වැඩේ හොඳට පුරුදුයි ඔබට?

ඔව්. ඒත් ටයි මහත්තයා ඒක දැනගෙන හිටියේ නෑ. කොහොම වුණත් අපේ ඒ සටන් ජවනිකා ඉතාම සාර්ථක වුණා. ගාමිණියි, මමයි අපේ දක්ෂතා පෙන්නලා වැඩේ හොඳට කළා.

සිනමාවට එනකොටත් මම 'මැක්වුඩ්ස්' ආයතනයේ රැකියාවකට සම්බන්ධ වෙලා හිටියේ. ඒ 1960 වසරේ ඉඳලා. 'චණ්ඩියා' රූගත කළේ 1962 දී විතර. තිරගත වුණේ 1965 දී.

ඒ වෙද්දි රොබින් අයියා විවාහ වෙලා?

අපොයි ඔව්. මම රඟපාන කොට තනිකඩයා. ඒත් ෆස්ට් ෆිල්ම් එක රිලීස් වෙනාකොට විවාහ වෙලා. මම විවාහ වුණේ 1963 අවුරුද්දේ. එයා වයලට් ජයවීර.

ආදර සම්බන්ධයක්ද?

එයා මගේ නෑනා කෙනෙක්. අපි අතරේ කාලයක් ආදර සම්බන්ධයක් තිබුණා. අපි විවාහ වුණේ බොහොම සරලව, චාම් විදිහට.

රංගනය රැකියාවට බාධාවක් වුණේ නැද්ද?

ඒ කාලේ 'මැක්වුඩ්ස්' සමාගම සුදු මහත්වරුන්ගේ පාලනය යටතේයි තිබුණේ. රාජකාරිය හරියටම කෙරෙන්න ඕනෑ. රඟපෑම් වගේ කටයුතුවලට ඒගොල්ල ප්‍රතිපත්තියක් හැටියට ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා වැඩ රාජකාරිවලට බාධාවක්, ප්‍රශ්නයක් නෙවෙන විදිහට තමයි මම ෂූටිං ඩේට්ස් යොදා ගත්තේ. හැම වෙලාවෙම මම ෂූටිං දාගත්තේ සෙනසුරාදා, ඉරිදා, පෝය නිවාඩු එහෙම බලලා. මොකද බත් කන්න රස්සාවක් තියෙන්නත් එපායැ. ඒ නිසා ප්‍රධාන චරිත වැඩියේ බාර ගත්තෙත් නෑ.

ඇයි රඟපෑම වෘත්තියක් කර ගන්න බය හිතුණද?

මොකක්දෝ හේතුවකට සිනමාව කියන්නේ රෝස මල් යහනාවක් නෙවෙයි කියලා මට එදා හිතුණා. හැබැයි 1970 වන විට මට රැකියාවට සමුදෙන්න සිදු වුණා.

සිනමාව නිසාම?

ඔව්. මගේ නිවාඩු ඉවර වෙලා පොතේ කළු මාර්ක් වැදිලා ඉවරයි. ඒ වෙනකොට මම සිනමාවේ සෑහෙන ඉදිරියටත් ඇවිල්ලා. ඉතින් මම රෙසිග්නේෂන් එක දුන්නා.

රැකියාවෙන් ඉවත් වෙලා සිනමාව වෘත්තීය විදිහට තෝරා ගත්ත එක ගැන පස්සේ කනගාටුවක් හිතුණේ නෑ?

ඇත්තම දිගටම රැකියාවේ හිටියා නම් වැඩියෙ හොඳයි කියලා හිතුණු අවස්්ථා නැතුවා නෙවෙයි. එදා මම රැකියාවෙන් සමු අරගෙන එද්දී මගේ තනතුරේ වැඩ බාර ගත්තේ මගේ සහායකයා. පස්සේ ඔහු ඒ තනතුරේ ඉහළටම ගියා. ඔහුගේ වැටුප මාසයකට ලක්ෂ තුනක්, තුන හමාරක් වුණා. පිටරට යන්න අවස්ථා, ගෙවල්, යාන වාහන ඔක්කොමත් එයාට ලැබුණා.

රොබින් අයියට මුලින්ම 'චණ්ඩියා' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් කීයක් ලැබුණද?

රුපියල් තුන්සීයයි. අද කාලෙත් එක්ක බලන කොට ලක්ෂ දෙකක් වගේ ඒ මුදල. මොකද මට මතකයි එතකොට පවුමක් රුපියල් පනහයි. මේ මම කරේ දාගෙන ඉන්නේ ඒ කාලේ හදපු මාලයක්. රත්තරං පවුම රුපියල් පනහයි. 1962 දී.

අපි ඉපදිලත් නෑ?

ඇත්තටම ඉපදිලා නෑ කිව්වම මගේ මතකයට ආවේ මෙහෙම දෙයක්. අද සිනමාවේ ඉන්න අයගෙන් සියයට අනූවක් විතර එදා ඉපදිලා නෑ.

ඔබේ සිනමා දිවියේ එක් සන්ධිස්ථානයක් තමයි 'හදවත් නැත්තෝ' චිත්‍රපටය. එයින් ඔබ ජනප්‍රියතාවයේ ඉහළම හිණිපෙත්තට යනවා?

'හදවත් නැත්තෝ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සුබයර් මකීන්. අවාසනාවන්ත විදිහට එයා ඉන්දියාවේදී නැති වුණා. මම හුඟක් කැමැතියි ඒ චරිතයට. මොකද අපි නිතරම දකිනවා ඒ වගේ පුද්ගලයෝ මේ සමාජයේ. ඒ කාලේ හාබර් එක ඇතුළට ගිහින් අපි ඒගොල්ල හැසිරෙන ආකාරය අධ්‍යයනය කළා. සරම කැහැපට ගහගෙන, ලේන්සුවක් කරේ දාගෙන එහෙම ඉන්න අයනේ.

ඒ ඒ පුද්ගල චරිත හැසිරෙන ස්වභාවය අධ්‍යයනය කිරීම හොඳ රඟපෑමකට අවශ්‍යය කාරණයක්?

ඇත්ත වශයෙන්ම. එහෙම වුණාම තමයි අපි අර කියන්නේ චරිතයේ ජීවත් වෙනවා කියලා. දැන් 'හාර ලක්සේ', 'සිරිපාල හා රන්මැණිකා' වගේ චිත්‍රපට කරද්දී අපි ඒ පළාත්වලට ගිහින් අදාල පුද්ගලයන් ගැන හොයලා බැලුවා. එහෙම කරලා තමයි වැඩේට බැස්සේ.

Action Hero  කියන සංකල්පය මම හිතන්නේ අපේ සිනමාවට ස්ථාවර ලෙස හඳුන්වා දෙන්නේ ඔබ?

මම හිතන්නේ Action Hero මතු වෙන්නේ ක්‍රියාදාම චිත්‍රපට හරහා. එහෙම ක්‍රියාදාම චිත්‍රපට කිහිපයකටම දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ සටන් ක්‍රම පුරුදු පුහුණු වෙලා හිටපු එක මට එවැනි චරිත නිරූපණය කරන්න ලොකු පිටුබලයක් වෙන්නැති. අද නම් ඉතිං අපේ 'සිනමාවේ වීරයා' මැරිලා කියලනේ කියන්නේ. ඇත්තටම සටන්කාමී, වික්‍රමාන්විත චරිත රඟපාන්න පුළුවන් දක්ෂයෝ ගොඩක් අපේ සිනමාවේ හිටියා. ඒත් කුමන හෝ හේතුවක් නිසා ඔවුන්ට ඒ අවස්්ථාව ලැබුණේ නෑ.

සමහර නිළියන්ගේ කැපිලි නිසා ඔබට පෙම්වතාගේ චරිතය ලැබුණේ නෑ කියා වරක් රොබින් අයියාම මා එක්ක කිව්වාග?

ඇත්තටම එහෙම දේවල් තිබුණා. ඒත් මම අද කැමැති නෑ ඒ ගැන කතා කරන්න. මොකද ඒක උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක්නේ. අනෙක දැන් ජීවිතය දිහා ගොඩක් උපේක්ෂාවෙන් බලනවනේ අපි ඉස්සරට වැඩිය.

එතකොට 'සුර දූතියෝ', 'නින්ජා ශ්‍රී ලංකා' වගේ චිත්‍රපට හරහා ඔබ අධ්‍යක්ෂවරයකු බවට පත් වෙනවා. ඒ ගැන කතා කළොත්?

මුලින්ම කියන්න ඕනෑ 'චණ්ඩියා' චිත්‍රපටයෙන් පස්සේ අධ්‍යක්ෂවරු හතළිහක්, පනහක් එක්ක මම වැඩ කරලා ඇති. ටයි මහත්තයා හැරෙන්න මට වෙන කිසිම අධ්‍යක්ෂවරයෙක් කියලා නෑ මේ විදිහට ෆයිට් කරන්න, මේ විදිහේ ෆයිට් එකක් ඕනෑ කියලා. මට අවශ්‍ය දේ කරන්න ඔවුන් මට නිදහස දුන්නා. අරක ඕනෑ, මේක ඕනෑ කියලා මට නොකිව්වත් ඔවුන් එක වැරැද්දක් කළා.

ඒ කිව්වේ?

රූගත කිරීම් අවසන් කරලා ඒගොල්ල එඩිටින් ටේබල් එකට ගියාම මට කතා කරන්නේ නෑ. ඒගොල්ලන්ගේ දස්කම් තමයි පෙන්නන්න හැදුවේ. දැන් ෆයිට් එකකදී ෂොට් එකක් මිස් කරනවා මම හිතාමතාම. මොකද ඒ මිස් එක අවශ්‍යයි ඊළඟ ෂොට් එක ගහන්න. එතකොට මේගොල්ල හිතන්නේ ෂොට් එක මිස් වෙලා තමයි කියලා. ඒ කෑල්ල කපලා දානවා. ඊළඟ කෑල්ල සෙට් කරගන්න අමාරුයි එතකොට.

ඒවගේ අකටයුතුකම් නිසා තමයි ඔබම චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න තීරණය කරන්න ඇත්තේ?

ඇත්තටම මට අවශ්‍ය වුණා හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක් කරන්න. ඒ නිසයි මම 1983 වසරේදී 'සුර දූතියෝ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ඒ කාලේ 83 ජූලි කලබල ආවා. පටන් අරගෙන මාස දෙක තුනක් යද්දී තමයි ඒ කලබල ඇති වුණේ. ඒ නිසා චිත්‍රපටයේ රූගත කිරීම් පස්සට ගියා. කොහොම හරි 1985 දී චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න හැකියාව ලැබුණා.

සත්‍යය සිදුවීම් පාදක කරගෙනයි ඔබ 'සුර දූතියෝ' තිර කතාව රචනය කළේ?

ඇත්තෙනන්ම. ලංකාවේ හොර සල්ලි අච්චු ගැහුවා ඒ කාලෙත්. ගංජා, අබිං, මත්කුඩු ව්‍යාපාර තිබුණා. යුද අවි නැව්වලින් ගෙනල්ලා ඒවා අහුවෙලා තිබුණා. ඉතිං ඒවා පසුබිම් කරගෙන තමයි චිත්‍රපටය නිර්මාණය කළේ. එදා සමහර විචාරකයෝ මේ චිත්‍රපටය බලලා ඒක මනඞකල්පිත කතාවක් කියලා තිබුණා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ.

'නින්ජා ශ්‍රී ලංකා' චිත්‍රපටයත් ඔබ අධ්‍යක්ෂණය කළේ වෙනස්ම තේමාවකින් යුතුව?

ලංකාවේ කෞතුක භාණ්ඩ ඔක්කොම පිටරට පැටෙව්ව කාලයක් තිබුණා. ඒක බේස් කරගෙන තමයි ඒ කතාව ලිව්වේ. අපි නිකම්ම නිකං ගිහින් කැමරාවක් ඉස්සරහ රඟපානවා නෙවේ. ඊට වඩා රටට දෙන්න පුළුවන් යමක් අපට තිබුණා.

කොහොම වුණත් ඒ චිත්‍රපට දෙකින් පස්සේ රොබින් අයියා ආයේ චිත්‍රපට අධ්‍යක්ෂණයට අත ගැහුවේ නෑ. ඇයි ඒ?

කළකිරීමක් තිබුණා. අපට අවශ්‍ය විදිහට වැඩ කරන්න අවස්ථාවක් තිබුණේ නෑ. ටෙලිවිෂන් එකෙනුත් බලපෑම් ආවා. ඉතිං ඔය වගේ විවිධ හේතු නිසා ආයේ චිත්‍රපට නිර්මාණයට අත ගැහුවේ නෑ.

රොබින් ප්‍රනාන්දු ස්ථාවරයට පත් වුණේ, නමක් හදා ගත්තේ වාණිජ යැයි සම්මත සිනමා ප්‍රවාහයේ ඉඳන්. ඇයි කලාත්මක සිනමාවේ ඔබට ඉඩහසර විවර නොවුණේ?

වාණිජ සිනමාවයි, කලාත්මක සිනමාවයි කියලා නෑ. චිත්‍රපටයක් කියන්නේ චිත්‍රපටයක්මයි. මම දකින්නේ එහෙමයි. සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයෝ චිත්‍රපටයක් නරඹන්න යන්නේ ඒගොල්ලට සරල වින්දනයක් ලබන්න. අනෙක ඉතිං කලාත්මක සිනමාව කිව්වම ගොවියො, කුඹුර, අමුඩය, ඔව්වනේ. හැබැයි කලාත්මක සිනමාවේ මට ලැබුණ එක අවස්ථාවක් නම් ගිළිහී ගියා.

ඒ මොකක්ද?

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'රන්සළු' චිත්‍රපටයේ ටෝනි රණසිංහ රඟපෑ චරිතයට මුලින් තෝරා ගෙන තිබුණේ මාව. ලෙස්ටර්, පී. කේ. ඩී. සෙනෙවිරත්න, සුමිත්ත අමරසිංහ මගේ ස්ක්‍රීන් ටෙස්ට් එකකුත් කළා. 'පුතා මම හෙට එනවා ඔයා මුණ ගැහෙන්න. මේ චරිතයට අපි ඔයා තෝරා ගත්තා' කියලා පී. කේ. ඩී. කිව්වා. මම බලාගෙන හිටියා. ඒත් පී. කේ. ඩී. සෙනෙවිරත්න ආවේ නෑ.

ඇයි ඒ...?

ඒවාට ඉතින් හේතු තියෙනවා. ඔය වගේ දේවල් දැනගත්තම මම තවත් ශක්තිමක් වුණා.

ඔබ බොහොම ප්‍රතිපත්තිගරුකව, විනයක් ඇතිව තමයි සිනමා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කළේ?

මේ අවුරුදු පනස් එකටම එක දවසක් නෑ මම හින්දා ෂූටිං කැන්සල් වුණු. දෙයියන්ගේ පිහිටෙන් බරපතල ලෙඩක්, දුකක් හැදුණේ නෑ. ප්‍රතිපත්තියක් වශයෙන් මම එක එක දේවල් ඉල්ලා සිටියේ නෑ නිෂ්පාදකවරයාගෙන්. තේරෙන කාලේ එනකොට මම හිතුවේ මේක වගකිව යුතු රැකියාවක් කියලා. මුලදී නම් මට කොහෙත්ම ඒ අවබෝධය තිබුණේ නෑ.

සිනමාවට එන්නට ප්‍රථමයෙන් විජය කුමාරණතුංග, රවීන්ද්‍ර රන්දෙණිය ඔබේ හිත මිතුරන් බවට පත්වෙලා හිටියා. ඒ අතීතය මතක් කළොත්?

ඔව්. ඒ දෙන්නම ඉගෙනගත්තේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ. විජයයි, රවීන්ද්‍රයි දෙන්නම මට වඩා අවුරුදු හත අටක් බාලයි. ඔවුන් හිටියේ පහළ පන්තිවල. ඒ කාලේ ජනප්‍රිය සිනමා නළුවකුව සිටි රෝයි හඳපාන්ගොඩ මට වඩා සීනියර්. එතකොට ප්‍රේමනාත් මොරායස්, ලෙනින් මොරායස් වගේ අයත් හිටියේ අපේ පාසලේ.

විජයට ඔබ එක්තරා කාලයකදී කඩු සටන් පවා පුහුණු කළ බව අසා තිබෙනවා?

දවසක් විජය මාව මුණ ගැහෙන්න ආවා 'මැක්වුඩ්ස්' එකට. සෙරන්ඩිබ් ආයතනයෙන් 'පුරන් අප්පු' කියා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න යන බවත් එහි රඟපෑමට ඔහුව තෝරා ගත් බවත් පැවසූ විජය ඔහුට කඩු සටන් පුහුණු කරන්න පුළුවන්ද කියා මගෙන් ඇහුවා. ඔහු එතකොට සීදූවෙ. මම මාලඹේ. සෙනසුරාදා, ඉරිදා දිනවල ඔහුට සටන් පුහුණු කරන්න මම බාර ගත්තා. ඇත්තෙන්ම විජය අපේ අක්කලගේ ගෙදර මාත් එක්ක නැවතිලා ඒ පුහුණුවීම් ඉවර වෙලා පහුවදා තමයි යන්නේ. මම ර්‍ණටටඪජඥ එන ගමන් විජයවත් කාරෙකේ දාගෙන එනවා.

විජය ගුවන් නියමුවකු කරන්න ඔබ දායක වුණා කියලා මම අහලා තියෙනවා?

ආ . . . ඒක මේ සිනමාවට සම්බන්ධ කතාවක්. විජයත් මමත් ළඟින් ඇසුරු කරන කාලේ තමයි මම 'බිඳුණු හදවත්' චිත්‍රපටයට සම්බන්ධ වුණේ. අලුත් කොල්ලෙක් ඉන්නවා. මොනවා හරි කෑල්ලකට දාපන් කියලා මම අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාට්ට කිව්වා. විජය ඒකේ පයිලට් කෙනෙකුගේ පුංචි භූමිකාවක් කළා. ඒ තමයි විජයගේ පළමු චිත්‍රපටය. සිනමා කැමරාවට මම හිතන්නේ විජය මුලින්ම මූණ දුන්නේ 'බිඳුණු හදවත්' චිත්‍රපටයේ. හැබැයි විජය ඔය තත්ත්වෙට එයි කියලා කවුරුවත් හිතුවේ නෑ. එයාවත් හිතුවේ නෑ.

රොබින් අයියා රඟපෑ කැමැතිම චරිතය මොකක්ද?

ඔය හාර ලක්සේ, සිරිපාල හා රන් මැණිකා, හදවත් නැත්තෝ, දැවෙන පිපාසය, පිනිබිඳු ඔය වගේ චිත්‍රපට කීපයක් තියෙනවා.

සිනමාවට සටන් නළුවන් කීප දෙනෙක්ම හඳුන්වා දුන්නා ඔබ?

දහ දෙනෙක් විතර මම හඳුන්වා දීලා තියෙනවා. එයින් හත් අට දෙනෙක් යන්න ඕනෑ තැන්වලට ගියා.

ඒ අය අද ඔබට යම් ගරුත්වයක් දක්වනවාද?

බලාපොරොත්තු වෙන්නේ නෑනේ. සමහර අවස්ථාවලදී සමහරු ඒ ගැන කියනවා. පංගුවක් කියන්නේ නෑ. මම නම් කියනවා උදවු කරපු අය ගැන. හැබැයි මට එහෙම උදවු කරන්න වුණේ නෑ කාටවත්, මොකද මම ගිය ලයින් එකේ එහෙම කම්පීට් කරන්න කවුරුවත් හිටියේ නෑ. රඟපෑම ගැන මට යම් දෙයක් හෝ කියලා දුන්නා නම් ඒ ටයි මහත්තයා.

අද මේ අපේ රටේ සිනමා සටන් කලාව අභාවයට ගිහින් නේද?

හුඟක් දුරට. අද සටන් කලාව තාත්ත්වික නෑ. අර කේබල්වලින්, වයර්වලින් අඹරලා හිතන්න බැරි විදිහට ඒවා ඉදිරිපත් කරන්නේ. පාරක් ගහපුවම හැතැප්ම කාලක්වත් විසි වෙනවා. අහසේ පාවෙලා ගිහින් ගහන්නේ, ඕව සේරම බොරු. දැන් අපේ කාලේ ඔය තාක්ෂණය කිසි දෙයක් තිබුණේ නෑ. හොඳ හයිය පොළොවේ තමයි වැටුණේ. නැචුරල් ෆයිට් කළේ අපි. අද තාක්ෂණය නැතිනම් ෆයිටුත් නෑ.

සිනමාව කියන්නේ මඟුල් සක්වලක්නේ. අපේ ජනප්‍රිය නළුවන්ගේ නම් අගට නිළියන්ගේ නම් එකතු වෙලා තිබුණා, කාලෙන් කාලෙට අපි දැක්කා. ඒත් රොබින් අයියා යහපත් පවුල් ජීවිතයක් ගත කළ කෙනෙක්. ඒකත් විශේෂත්වයක් නේද?

මට ආඩම්බරයි ඒ ගැන. ඔයාලා සිනමාවේ හැම අස්සක් මුල්ලක් ගැනම දන්න අයනේ. දැන් ඔයා ඔහොම කියන කොට මට පොඩි ලැජ්ජාවකුත් ඇති වෙනවා. ඇත්තටම මම මිනිස්සුන්ට ආදරෙයි. නළු, නිළියෝ කියලා වෙනසක් නෑ. මේ ක්ෂේත්‍රයේ හුඟක් අය මටත් ආදරෙයි, හිතවත්. දළදා සමිඳුන්ට අවුරුදු විසි හතක් තිස්සේ මම දානයක් දෙනවා හැම අවුරුද්දකම මැයි මාසේ 05 වැනිදාට. ඒකට සහභාගි වෙන්න නළු, නිළියෝ සෑහෙන පිරිසක් බලාගෙන ඉන්නවා මගෙත් එක්ක. ඉතින් ඒ වගේ සම්බන්ධකම්, හිතවත්කම් තියෙනකෙට අපි අතින් කවදාවත් වැරැද්දක් වෙන්නේ නෑනේ.

ඔබේ දයාබර බිරියගෙන් ලැබුණු සහයෝගය නිසාම තමයි මේ තරම් දුරක් මේ ගමන ඔබට එන්න ලැබුණේ?

ඇත්තටම වයලට්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා මේ ගමන එන්න. එයාට ලොකු විශ්වාසයක් තිබුණා මම ගැන. කොහෙද ගියේ, කා එක්ක ද ගියේ කියලා එයා කවදාවත් ඇහුවේ නෑ මගෙන්. නිළියක් ලිෆ්ට් එකක් ඉල්ලුවොත් මම ගෙදරට වුණත් ගිහින් බස්සනවා. ගෙදර ඇවිත් මම කියනවා අහවලාට ලිෆ්ට් එකක් දුන්නා කියලා. බයට නෙවේ. ඒත් මම ඒක කියනවා තව කෙනෙක් කියන්න කලින්. අනේ එයා ගණන් ගන්නෙවත් නෑ. අඩු ගානේ එයා ප්‍රිමියර් එකකටවත් එන්න කැමැති නෑ.

හොඳයි, අපේ සිනමාවේ අවුරුදු පනස් එකක් හිටපු කෙනෙක් හැටියට මොන වගේ උපදේශයක් ද දෙන්න තියෙන්නේ අලුත් පරපුරට?

කනගාටුයි කියන්න, එහෙම උපදේශයක්, අවවාදයක් දෙන්න කෙනෙක් නෑ අද. ඒවා පිළිගන්න අයත් නෑ. ඒ නිසා නිහඬව ඉන්න එක තමා වඩා සුදුසු කියලා මට හිතෙනවා. කා එක්කවත් අමනාපයකින්, තරහවකින් නෙවේ මම මෙහෙම කියන්නේ. ඒත් අද අපට සිනමාවේ වර්තමානය ගැනවත්, අනාගතය ගැනවත් කතා කරන්න දෙයක් ඉතිරිව නැහැ.