වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




කලා පොලීසියට නමක්

කලා පොලීසියට නමක්

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ සම්පූර්ණ අනුමැතිය ලැබීම යහපත් සිනමාවක් අපේක්ෂිත බොහොමයකගේ සිනමාව සම්බන්ධයෙන් ලද අස්වැසිල්ලක් විය. සිනමාකරුවා අත්විඳින නිදහස සීමා කිරීම වර්තමානයේදී කළ හැක්කක් නොවන්නේ චිත්‍රපට නරඹන ප්‍රධාන මාධ්‍ය තවදුරටත් සිනමාහල් පමණක් නොවන හෙයිනි. ඒ කෙසේ වෙතත් නීත්‍යානුකුලව මෙරට සිනමාව හා කලාව සම්බන්ධයෙන් නීර්ණයන් ලබා දෙන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයටත් එහා ගොසින් චිත්‍රපට තනන්නටත් පෙර තහනම් කරන පොලීසියේ අංශයක් ඇතැයි දැනගන්නට ලැබුණේ ගිය සතියේ ලැබුණු ලිපියක් සමඟිනි. ලිපිය එවා තිබුණේ 'දේ ඩාන්ස් ආලෝන්' චිත්‍රපටය සම්බන්ධයෙනි.

එය අධ්‍යක්ෂණය කරනුයේ නිලේන්ද්‍ර දේශප්‍රියයි. ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා සිදුවීම කේන්ද්‍ර කොට ගෙන තැනෙන මේ චිත්‍රපටයේ තිර නාටකය නිලේන්ද්‍ර රචනා කරන ලද්දේ වසර පහළොවකට පමණ ඉහතදීය. එය රූගත කිරීම් සඳහා සුප්‍රකට ඉන්දියානු කැමරා අධ්‍යක්ෂ සනී ජෝශප් ද ඒ දිනවල ලංකාවට පැමිණියේය. එහෙත් මොකක්දෝ අහේතුවකට මෙම චිත්‍රපටය තැනීම දිනෙන් දින කල් ගියේය. අන්තිමට නිලේන්ද්‍ර තන්හා රතී රඟා පසුගිය වසරේ එළි දැක් වූයේය. ඒ දවස්වලම නැවත වැඩ ඇරඹුණ දේ ඩාන්ස් අලෝන් චිත්‍රපටය සඳහා යළිත් පසුගියදා පොල්ලක් වැටී ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ එහි නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් ඒ. එස්. ආරියසිංහ මහතා වෙතින් සිනමාකරුවා ලද ලිපියත් සමඟය.

ඒ ලිපිය අනුව දේ ඩාන්ස් අලෝන් චිත්‍රපටය නිපද වුවහොත් එය පාදක කරගෙන ඇති වෘතාන්තය අනුව පසුගිය කාලවකවානුවේදී රට තුළ පැවැති කලබලකාරී වාතාවරණය නැවත ඉස්මතු වීමට ඉඩකඩ ඇති බවටත්, අප්‍රසන්න අතීතයක් නැවත ආවර්ජනය කිරීම යෝග්‍ය නොවන බවට පොලිස්පති විසින් වාර්තා කර ඇති බවය. එබැවින් මෙම චිත්‍රපටයෙහි පොලිස් දෙපාර්තමේන්තුවට හා සම්බන්ධ චරිත රංගන, දෙබස් රූගත කිරීම සිදු කරන ලබන බැවින් එය රූගත කිරීම නිර්දේශ කර නොමැත. එමෙන්ම මෙම චිත්‍රපටය රූගත කිරීම මෙම අමාත්‍යාංශය විසින් අනුමත නොකරන බැව් කාරුණිකව දන්වා ඇත.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක තිර පිටපත නිෂ්පාදනයේදී අත්හිටුවීම සිදු කරනු ලබනුයේ චීනය වැනි රටවලය. පසුගිය දශකයේ චීන රජය ද, ආගමික මණ්ඩලයක් මඟින් ඉරානය ද චිත්‍රපට පූර්ව නිෂ්පාදනයේදීම තහනම් කරන ලදී. ලංකාවේදී චිත්‍රපට සම්බන්ධයෙන් බලතල ඇත්තේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයටය. සාමාන්‍යයෙන් ආසියාවේ බොහෝ රටවලට වඩා ලංකාවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල ලබාදුන් තීන්දු සිනමාකරුවන්ට සිය නිර්මාණකරණයේ නිදහස රැක දුන්නකි. බොහෝ විට චිත්‍රපට සම්බන්ධයෙන් වැරැදි තීන්දු ගන්නා ලද්දේ ඊට එහා සිට තමන්ට අයිති නැති වැඩ කොටසකට අත පොවන පරිබාහිර පුද්ගලයන්ය. 'පුරහඳ කළුවර' චිත්‍රපටය මෙරට තහනම් කරන්නට ගියේ රැඟුම් පාලක මණ්ඩලයට පරිබාහිරව සිටි වෙනත් විෂය බාර ඇමැතිවරයෙකි.

ප්‍රවීණ කලා විචාරකයෙකු වූ ඒ ඇමතිතුමන්ට අවසානයේ සිදු වූයේ අහක යන පරිප්පුවකට අත දමා අධ්‍යක්ෂවරයාට වන්දි ගෙවීමටය. රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ලැබූ 'අක්ෂරය' චිත්‍රපටය අවසානයේ ප්‍රදර්ශනය අත්හිටුවීමට තීන්දු ගැනීම උදෙසා අදාළ විෂය භාර ඇමැතිවරයා ද මෙහෙයවා අධිකරණය වෙත යොමු කරන ලද්දේ එක්තරා නාට්‍යකරුවෙකි. මේ සම්බන්ධයෙන් රැඟුම් පාලක මණ්ඩලය ද අසරණ විය. පසු කලෙක ඒ නාට්‍යකරුවා තමා විසින් සිදු කරන ලද වරද පිළිබඳ පශ්චත්තාප වූයේය. කොහොමටත් අනුන් දං ගෙඩියට දක්කන වැඩට අපේ බොහෝ දෙනා දක්ෂය. සාමාන්‍යයෙන් වෙනත් රටවල නිර්මාණකරුවන් නිදහස ඉල්ලා සිටින නමුත් ටෙලි නාට්‍ය සඳහා වාරණ මණ්ඩලයක් ඉල්ලා සිටින්නේ අපේ ටෙලි නාට්‍යකරුවන්මය.

'දේ ඩාන්ස් අලෝන්' චිත්‍රපටය සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ එවූ ලිපිය ද වර්තමානයේ සිනමාකරුවන් අත් විඳින නිදහසට එල්්ල වූ ආකාරයක තර්ජනයක් යැයි කාට හෝ සිතුණොත් එය පුදුමයට කරුණක් නොවේ. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ සිතීම ඉතා වැදගත් වුවත් ඒ සම්බන්ධයෙන් කලා නිර්මාණයන්ගේ ඇති සීමා කුමක්දැයි කිසිවකු හෝ හරියට දන්නේ නැත. කලකට ඉහත ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වූ 'රන්ග් දේ බසන්ති' චිත්‍රපටය සම්බන්ධයෙන් අපූරු සිදුවීමක් විය. එරට ගුවන් හමුදාවට ලබාගත් මිග් 21 වර්ගයේ යානා පිළිබඳ කුප්‍රකට ගනුදෙනුවක් පිළිබඳ එහි පාදක විය. මෙහිදී චිත්‍රපටය අනුමත කිරීමට පෙරාතුව එරට රැඟුම් පාලක මණ්ඩලය මඟින් ඉන්දීය ආරක්ෂක බලධාරීන්ගෙන් ඒ සම්බන්ධව විමසා සිටියේය.

චිත්‍රපටය නැරැඹූ ආරක්ෂක බලධාරීන්ගේ තීන්දුව වූයේ එය ආරක්ෂක අංශ විචාරය කිරීමක් නොව පූර්ව විමර්ශණයක් කිරීම බවය. ඒ අනුව චිත්‍රපටය දශමයක හෝ කපා දැමීමකින් තොරව චිත්‍රපටය තිරගතවීමට අවසර ලැබිණි. නිලේන්ද්‍රට ලැබුණු ලිපියේ හැටියට අප්‍රසන්න අතීතය චිත්‍රපටයක් මඟින් ආවර්ජනය කිරීම නිසා රට තුළ කලබලකාරී වාතාවරණයක් ඉස්මතු වන්නේ නම් ඇහැළේපොළ කුමාරිහාමි වැනි චිත්‍රපට ද තහනම් කළ යුතු යැයි තර්ක කිරීමට ද ඉඩ ඇත. හේතුව එබඳු චිත්‍රපට අපේ රටේ අප්‍රසන්න ඉතිහාසයක් ඉස්මතු කරන බැවිනි. අනෙක් අතට පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ රංගන දෙබස් චිත්‍රපටයකට පාවිච්චි නොකිරීමට තරම් ශුද්ධ වස්තු යැයි සැලකීමට සිනමාකරුවන් තබා සාමාන්‍ය මහජනතාවවත් සිතනවාදැයි මම නොදනිමි.

පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත වර්ගයාම එක ගොන්නෙහිලා මහජනයා සලකන්නේ නැත. එහි අති විශිෂ්ට නිලධාරීහු එදත් සිටියහ. අදත් සිටිති. එහෙත් ඒ අතර දේවදත්තලා නැතුවාම නොවේ. එය ඕනෑම වෘත්තියක පොදු දෙයකි. ඔවුන් පිළිබඳ නිර්මාණයක යෙදීම සමස්ත වර්ගයාට කරන අගෞරවයක් නොවේ. ඉන්දියාවේ 'රන්ක් දේ බසන්ති' තීන්දුව එයට හොඳම උදාහරණයයි. පසුගිය කාලයේ 'දඩයම' චිත්‍රපටය සම්බන්ධයෙන් මෙන්ම 'දඩකෙළිය' නවකතාව සම්බන්ධයෙන් ද ලබා දුන් අධිකරණ තීන්දු නිර්මාණකරුවා සතු කාර්ය පිළිබඳ පුළුල් විග්‍රහයක යෙදෙයි.

පසුගිය වසරේ තිරගත කරනලද අතිශය සාර්ථක වූ 'කොස්තාපල් පුඤ්ඤසෝම' චිත්‍රපටය තිරගත කරන්නට පෙරාතුව එය තහනම් කරන්න යැයි එවකට රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී සුමනසේකර මහතා හමු වී පොලීසිය ඉල්ලීමක් කළ වග ප්‍රසිද්ධ රහසකි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ උදයකාන්තට ද චිත්‍රපටය වෙනසක් කරන්නට යැයි යම් බලපෑම් එල්ල කළේය. එහෙත් ඒ අවස්ථාවේදී ඔවුන් ඒ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කරන ලදහ. යම් හෙයකින් එවර ද පොලීසියේ ඉල්ලීම ඉටු වූයේ නම් රැඟුම් පාලක මණ්ඩලයටත් වඩා අපහාස විඳින්නට වන්නේ ද පොලීසියටය.

මේ ආකාරයට ගුරුවරුන් ද, වෛද්‍යවරුන් ද, දේශපාලකයන් ද ඇතුළු සියලුම වෘත්තිකයන් තම තමන්ගේ චරිත සිනමාවට හෝ කලා කෘති සඳහා භාවිත නොකළ යුතු යැයි තර්ක කිරීමට ගතහොත් ලෝකයේ කලා කෘති හෝ සිනමා කෘති බිහි වීමට කිසිසේත් ඉඩක් නැත. හේතුව කලා නිර්මාණ බහුතරයක් හරහා ලෝකය ප්‍රතිනිර්මාණය වන හෙයිනි. පසුගිය වසර කිහිපය තුළ මෙරට බිහි වූ බොහෝ චිත්‍රපට හරහා සමාජ සිදුවීම් හොඳින් ග්‍රහණය කරගත් අවස්ථා එමටය. අනෙක් අතට තිර නාටකයක් කිය වූ සැණෙන් එහි එන අධ්‍යක්ෂවරයගේ රූපමය ඥානය වටහා ගෙන තීන්දුවක් දිය හැක්කේ කීයෙන් කී දෙනාටද? භාෂාව යනු චිත්‍රපටයක් නිර්මාණය කරද්දී අන්තිමට අවශ්‍ය වන දෙයයි. කෙනෙකු චිත්‍රපට නිපදවන්නේ සිංහලෙන් හෝ දෙමළෙන් නොව සිනමා භාෂාවෙන් යැයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පැවසුවේ එබැවිනි.

අද 'සරසවිය' පුවත්පතේ පළවන වර්තමාන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා සමඟ කරන සාකච්ඡාවේ දී කියා සිටින්නේ වාරණයක් නොව වර්ගීකරණයක් පිළිබඳය. වර්තමාන ලෝකය තුළ වාරණයක් පිළිබඳ සිතීම පවා බරපතළ විහිළුවක් සේ සැලකිය යුතුය. එයට හේතුව වර්තමානයේ ලෝකය සතුව ඉතා ඉක්මනින් සියල්ල පැතිරෙන මාධ්‍ය ජාලයක් තිබීමය. ලෝකයේ තහනම් කරන ලද බොහෝ චිත්‍රපට කිසිදු වාරණයකින් තොරව ගෙදරදී දැකගත හැකිය. කලකට ඉහත අසභ්‍ය යැයි තීන්දු කරන ලද බොහෝ චිත්‍රපට අද නිවසේ සාලයේ සිට ටෙලිවිෂනය ඔස්සේ රස විඳීම සුලබ කරුණකි. පනස් ගණන්වලදී මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පවා තර්ක කරන ලද්දේ 'නළඟන' චිත්‍රපටය කිසිසේත්ම ගැමියකු දැකගත යුතු නැති වගය.

එහෙත් නළඟන චිත්‍රපටය ටෙලිවිෂනය මඟින් පසුගිය කාලයේ කී වතාවක් පට්ට ගසා තිබේද? යල් පැනගිය වාරණ රීතිවලින් සිනමාකරුවන්ට තුට්ටුවක වටිනාකමක් නැත. බ්‍රිතාන්‍ය රැඟුම් පාලක මණ්ඩලය (ඕඕජ්ඛ්) චිත්‍රපට වර්ගීකරණය කරනුයේ සහතික හතක් යටතේය. සියල්ලන්ට නරැඹිය හැකි, මව්පියන්ගේ අවසරය ඇතිව නැරැඹිය හැකි, වසර දොළහට වැඩි, අවුරුදු දහ අටට වැඩි ආදී වශයෙන් වර්ගීකරණය කරන මේ සිනමාව නිවෙසේ ගෘහස්ථ සිනමාවට මෙන්ම ප්‍රසිද්ධ සිනමාවට ද ආකාර දෙකකින් තීන්දු ගනු ලබයි.

වර්තමානයේදී ද මෙරට රැඟුම් පාලක කර්තව්‍ය යාවත්කාලීන විය යුතු බව, එහි සභාපති සමන් අතාවුදහෙට්ටි (අපට වඩා වයසින් වැඩිමහල්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට ගෞරවයට අමතන්නේ සමන් අයියා කියාය. එහෙත් ඔහු පවසන්නේ මචං යනුවෙනි) මෙන්ම එහි සිටින සාමාජිකයන් ද, සිනමාකරුවන්ගේ ද ඒකායන බලාපොරොත්තුව ඇත්තේ සිනමාව පිලිබඳ පුළුල් නිදහස් කතිකාවකි. එහෙත් 'ද ඩාන්ස් අ ලෝන්' චිත්‍රපටය තිර නාටකය දුටු සැණෙන් අධ්‍යක්ෂවරයාට ලද ලියුම දොවාගත් කිරි කළයට ගොම බිඳුවක් දැමුවා වැනි යැයි අසන කාට වුව සිතෙන්නේය. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය තිබියදී වෙන පැත්තක සිට එබඳු තීන්දු තීරණ ගන්නා විට ඒ සඳහා දිය හැකි කදිම පිළිතුර කවරෙක්දැයි මම එක්තරා මිතුරකුගෙන් විමසා සිටියෙමි. ඔහු ලබා දුන්නේ තනි වචනයේ අපූරු පිළිතුරකි. එහි අර්ථය කුමක්දැයි මම තනිවම කල්පනා කරන්නෙමි. මිතුරාගේ පිළිතුර අප පාසල් යන අවදියේ මිතුරන් පිරිසක් විසින් පිහිටුවා ගත් සංගීත කණ්ඩායමකට යොදන ලද නාමය වීම දෛවෝපගත සිදුවීමකි. එදා එයට යෙදූ නම 'මුන්ටලූස්'ය. කලා පොලීසියකට එබඳු නමක් කෙතරම් ගැළපෙන්නේදැයි ඔබේ තර්ක බුද්ධියට යොමු කරන්නේ නම් වඩාත් මැනවි.