|
දියණියගේ නමින් 'වීණා' එළි දකියිඑඩ්නා සුගතපාලගේ කලා දිවියේ අමරණීය දවසක්
මාර්තු 14 ඇගේ පියානෝ වාදන අසන්නට එන්න
පානදුරේ ‘පානදුර වලව්ව’ කිව්වට පස්සේ නොදන්න කෙනෙක් නැති තරම්. එහි උන්නු එඩ්නා කියන යුවතිය සැබෑ හැඩකාරියක්. හැඩකාරියක් වගේම ඈ දඟකාරියක්. ඉගෙනුමට උපන් හපනියක්. ඉගෙනුමට කොයි තරමක් ඈ පෙම් බැන්දා ද කිව්වොත් එඩ්නාගේ අතේ පොතක් වැරැදුණේ නැහැ. මේ නිසා ඈ පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුණා. “කුඩා කාලයේ මම පාසල් කිහිපයකම අධ්‍යාපනය හැදෑරුවා. මුලින්ම ගියේ පානදුර සිරිල් ජයන්තියට. ඊට පස්සේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ගිය මට එහි උන්නු ගුරුවරුන්ගේ සිත ගන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒ අධ්‍යාපන කටයුතුවලට වගේම පාසලේ අනෙක් බාහිර කටයුතුවලටත් පෙන්වුව දක්ෂතා නිසා. ඊළඟට පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයටත් ගියා. ඉහළටම ඉගෙන ගත්තා. පළමු පන්තියේදී ඉඳලාම පළමුවෙනියා වුණු මම අවුරුදු දහසයෙන් ඉගෙන ගැනීම නතර කළා. ඒත් ලන්ඩන් ඩිප්ලෝමාව වෙනතුරු පියානෝ වාදනයෙන් දිගටම ඉගෙන ගත්තා.” එඩ්නාගේ සිත පියානෝ වාදනයට යොමු වෙන්නේ ඈ බොහොම කුඩා කාලයේ. ඒ කියන්නේ අවුරුදු හයක තරම් ළදැරියක් කාලයේ. පියානෝ වාදනයට ආදරය කළ එඩ්නාගේ අම්මා ගුරුවරයෙක් නිවෙසට කැන්දුවේ දුවට පියානෝව උගන්වන්න හිතාගෙන. “මගේ අම්මා කොයි තරම් පියානෝ වාදනයට ආදරය කළා ද කිව්වොත් අද පියානෝ ශිල්පිනියක් විදියට මා පාන සමත්කමේ ගෞරවය හිමිවන්න ඕනෑ ඇයටයි. කාලයක පටන් සිතේ තිබුණු හීනය සැබෑ කර ගන්නට අම්මාට හැකි වුණේ මා මාර්ගයෙන්. කුඩා කාලයේ පටන්ම පියානෝ වාදනය පිළිබඳ මට ලැබුණු දැනුම කාලයකදී මාව දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක් බවට පත් කළා. ඒ තරමටම මම පියානෝවට ආදරය කළා.” වලව්වක හැඳුණු වැඩුණත් එඩ්නාගේ අම්මාට තිබුණේ කලා සිතක්. ඇගේ ජීවිතය කොයි තරම් කලාව හා බැඳිලා තිබුණ ද කිව්වොත් 58 වසරේ 'දස්කොන්' චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙත් ඈ. මේ නිසා 62 වසරේදී තිරගත වුණු දස්කොන් චිත්‍රපටයේ වැඩ කටයුතුවලට එඩ්නාගේ අම්මා නිතරම වගේ ඒ නිර්මාණකරුවන් සමඟ එකතු වෙලා කටයුතු කළා. අම්මාගේ ඇඟේ එල්ලිලා මේ ගමන් බිමන් ගිය එඩ්නට කලා ලෝකය ආගන්තුක වුණේ නැහැ. ඈ රුක්මණී දේවි සමඟ කොයි තරම් බැඳුණද කිව්වොත් කුඩා කාලයේ රුක්මණීගේ ඔඩොක්කුවේ ඉන්නට තරම් වාසනාවන්ත වුණා. ඒ රුක්මණී දෙබස් කියන හැටි, ඇවිදින හැටි මේ වගේ බොහෝ දේවල් පුංචි එඩ්නා බාලගෙන සිටියේ බොහොම ආසාවෙන්. ඇයව කලා ක්ෂේත්‍රයට අරගෙන ආවේ කාලයකදි පටන් සිතේ හැංගිලා තිබුණු ඒ ආශාවයි. ඊට මඟ පෑදුණේ ජීවරාණි කියන එඩ්නාගේ යෙහෙළිය නිසා.
“කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ 'සැනසුම කොතැනද' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කලේ ජීවරාණියි, ගාමිණී ෆොන්සේකායි. ජීවරාණිගේ ළඟම සිටිය මට චිත්‍රපටයේ ඇගේ යෙහෙළියක වෙන්න ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගත්ත මම චූටි චරිතයකට පණ පෙව්වා. රඟපෑමකට වඩා එදා ඒකට මම පෙනී සිටියා කිව්වොත් නිවැරැදියි. එතැනින් ආරම්භ වුණු මගේ කලා ගමන දිගටම එන්න මට හැකි වුණා. 'සූරයන්ගෙත් සූරයා' චිත්‍රපටයේදී කළ රංගනයත් සමඟ සිනමා රසිකයන් අතර මා බොහොම ජනප්‍රිය චරිතයක් වුණා.” එතැන් පටන් එඩ්නා රංගනයෙන් 'වීදුරු ගෙවල්', 'මිරිඟුව', 'හිත හොඳ කොල්ලෙක්', 'තුන්වෙනි ලෝකය', 'රෝසි', 'ඔබට දිවුරා කියන්නම්' ඇතුළු චිත්‍රපට රාශියකටම පණ පෙව්වා. ඇගේ රංගනයට ගුරුවරයෙක් වුණේ ඩික්මන් හැරල්ඩ් ඩයස්. ඔහුගේ 'ගැහැනු හටන' වේදිකා නාට්‍යයේ රඟපෑ එඩ්නා ගුරුතුමාගෙන් ලැබුණු පන්නරයයි ඒ චරිත කරන්නට මඟ පෑදුවේ. “ඔහුගෙන් රංගනය පිළිබඳ ඉගෙන ගන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක්. ඒ මොකද 46 වසරේදී රුක්මණී දේවිත්, 56 දී ජීවරාණිත්, 66 දී මටත් ඔහුගේ වේදිකා නාට්‍යවල රඟපෑමට ලැබීම මා සලකන්නේ දෛවයේ ලියැවුණු අපූරු සිදුවීමක් කියලයි. නිළි රැජන රුක්මණීගේත්, ජීවරාණිගේත් ගුරුතුමා මගෙත් ගුරුතුමා වුණා. හරියටම අපට දශකයෙන් දශකයට මේ ගුරුතුමා ම හමුවීම අපූරු සිදුවීමක් විදියටයි මා සලකන්නේ.” එඩ්නා අදත් සිය ගුරුතුමා සිහිපත් කරන්නේ ගෞරවයෙන්. මේ අතර වේදිකාව, සිනමාව වගේම පුංචි තිරයටත් ඈ නැතිවම බැරි ශිල්පිනියක් බව අපට හැඟෙන්නේ එඩ්නාගේ නිර්මාණ ජීවිතය දෙසට එබිලා බලද්දී. 'කුමාරි'හාමි', 'රන්මසුදැල්', 'ග්‍රහණය', 'කළු හංසයා', ' චල අචල', 'ක්‍රිකට් ගැටුම' මෑත කාලයේ ඈ රඟපෑ 'කිඳුරංගනා' ඊට අපූරු උදාහරණ. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේම චිත්‍රපටයකින් රංගන ගමන අරඹන එඩ්නාට ඔහුගේම 'උණ්ඩය' චිත්‍රපටයේ අන්තිමට රඟපාන්න ලැබෙන්නෙත් දෛවය කරන තවත් හාස්කමක් වගේ. “තෝරා බේරාගෙන රඟපාමින් රංගනයෙන් දිගු කලා ගමනක නිරත වුණු මම කාලයකදී නිහඬ චරිතයක් බවට පත් වුණා. ඒ කොහොම වුණත් පියානෝ වාදනය නම් මම අමතක කළේ නැහැ. ඒ සම්බන්ධව උගන්වන ගුරුවරියක් විදියට මා කලඑළි බසින්නේ 65 වසරේදී. ඊට අමතරව හවායින් ගිටාර් එක, පියානෝ එකෝඩියන් එක, හාමෝනියම් එක, විදුලි ඕගනය කියන මේ වාදන භාණ්ඩ හතරම වාදනය කරන්නටත් මා ඉගෙන ගත්තා.” ඒ කාලයේ එඩ්නාට තිබුණේ අපූරු කාල කළමනාකරණයක්. කිසිම වෙලාවක ඈ නිකම් ඉඳගෙන කාලය අපතේ හැරියේ නැහැ. වාදනයට අමතරව එඩ්නා ග්‍රන්ථ කතුවරියක් වගේම ඡ්‍යෝතිෂය වේදිණියක් ලෙසත් කරළියට එන්නේ ඒ නිසා. ඒ වගේම ඈ අපූරු පියානෝ ගුරුවරියක්. “මම ඉගෙන ගත්ත දේවල්වලින් කිසිවකුට හෝ යමක් කළ යුතු යැයි සිතුවා. ඒ අරමුණ ඇතිවයි මගේ 'එඩ්නා ස්කූල් ඔෆ් මියුසික්' කියන සංගීත පන්තිය ආරම්භ වෙන්නේ. ඒ ඔස්සේ මේ වන විට දහස් ගණනකට මගේ ශිල්පීය දැනුම ලබා දෙන්නට හැකියාව මට ලැබුණා. ඒ අතර ගුරුවරුන්, දරුවන්, කාන්තාවන්, වෛද්‍යවරියන්, කන්‍යා සොහොයුරියන් ආදී නොයෙක් අය සිටියා. අවුරුදු පහේ පටන් අවුරුදු 65 දක්වා අය මගේ ගෝලයන් බවට පත් වුණා. නම්වලින් කියන්න අමතක වුණත් බොහෝ දෙනා අද වන විට පියානෝ වාදනය මගෙන් ඉගෙන ගෙන තිබෙනවා” මේ විදිහට දිගු ගමනක් ආව එඩ්නාගේ කලා ජීවිතයට අඩ සියවසක් උදා වෙලා. විවිධ දක්ෂතා හා කුසලතා සමඟ පැමිණි දිගු ගමන සිහිපත් කරමින් යමක් කළ යුතු යැයි ඈ සිතුවා. “මේ තරම් කුසලතා විදහා දක්වමින් මොන දේ කළත් අද වනතුරුත් මාව කිසිම කෙනෙකුගේ ඇගයීමට ලක් වෙලා නැහැ. මම වගේ ඇගයීමට ලක් නොවුණු තවත් කලාකාරිණියන් මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. ඒ නිසා මට තිබෙන මේ දක්ෂතා මඟින් රසිකයන්ට යමක් පිරිනැමිය යුතු යැයි සිතුවා. ඒ අනුවයි 'වීණා' පියානෝ ගී අනුවාදන සංයුක්ත තැටියක් එළි දැක්වීමට සූදානම් වන්නේ. මේ මාසේ 14 වැනිදා සවස 3.45 ට මහවැලි කේන්ද්‍රයේදී ඒ කටයුත්ත සිදු වෙනවා. මගේ එකම දුව 'වීණා' නමින් තමයි මේ සංයුක්ත තැටිය නම් කර තිබෙන්නේ. මේ සංයුක්ත තැටියට නන්දා මාලිනී හා රෝහණ වීරසිංහ ගයන 'රත්තරන් දුවේ', නිහාල් නෙල්සන්ගේ 'සල්ලි සල්ලි හා ලස්නට පිපුණු' ජගත් වික්‍රමසිංහගේ 'ජලේ ගැඹුර', රුක්මණි දේවිගේ 'නිලම්බරේ කැලුම් පිරේ', උපාලි කන්නන්ගරගේ 'දුම්බර මිටියාවත', කීර්ති පැස්කුවල්ගේ 'කවිකාරියේ, සඳලතා, ඉස්සර රජකාලේ' ආදී ගීත රැසක වාදන වගේම ජාත්‍යන්තර ගීත කිහිපයකුත් ඇතුළත්. ඒ සියලුම නිර්මාණකරුවන්ගේ අවසර අරගෙන මේ කටයුත්ත සිදු කෙරෙන දවසට මා පියානෝව සජීවීව වාදනය කරනවා. මට ආදරය කරන හැමෝටම එදාට එන්න කියලත් මා ආරාධනා කරනවා.” බොහෝ දස්කම්වලින් සුසැඳුණු මේ සොඳුරු කාන්තාව ඔබට කරන්නේ දයාබර ආරාධනාවක්. ළෙන්ගතු ආරාධනාවක්. සෙනෙහෙවන්තකම පිරුණු ආරාධනාවක්. එන්න මේ 14 වැනිදාට මහවැලි කේන්ද්‍රයට ඒ සෙනෙහෙවන්ත බව විඳින්න එඩ්නා ගී සැඳෑවට. අපත් ඔබට මේ ආරාධනය කරන්නේ හදවතින්මයි.
|