වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




අපට චිත්‍රපට පොලීසියක් හෝ හමුදාවක් අවශ්‍ය නෑ

අපට චිත්‍රපට පොලීසියක් හෝ හමුදාවක් අවශ්‍ය නෑ

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ට්

මෙරට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය පොදු ජන ව්‍යවහාරයට එක්ව තිබෙන්නේ “කපන මණ්ඩය” යන සෝපාහාසාත්මක නාමයෙනි. එය උත්ප්‍රාසය දනවන කරුණක් වුවද, රුඟුම් පාලක මණ්ඩලය යනු දේශීය සිනමා හා නාට්‍ය කලාවේ සංස්කෘතික හා ජාතික අනන්‍යතාවය, මෙන්ම සදාචාරය සුරක්ෂිත කිරීමෙහි ලා බැඳුන ප්‍රමුඛතම ආයතනයකි.

වර්තමානයේ එහි සභාපති ධුරය හොබවන්නේ කලා මාධ්‍යයන් කිහිපයකම තම නිසඟ හැකියාවන් ප්‍රකට කළ ප්‍රවීණ කලාකරුවෙකි. හේ නමින් සමන් අතාවුදහෙට්ටිය. වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහකාර මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කරන හෙතෙම අද අප හා මේ සංවාදයට එක්වන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසිනි.

* අභියෝග රැසකුත් සමඟයි ඔබට රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ධුරය හිමිව තිබෙන්නේ.?

මම හිතන්නේ ලොකුම අභියෝගය තමයි මේකට මේ කපන මණ්ඩලය කියලා සමාජගත වෙලා තියෙන නම වෙනස් කරන එක. ඇත්තටම ඒක තමයි ලොකුම අභියෝගය.

* ඒ විදිහෙ නමක් පටබැඳෙන්න හේතුව කුමක් කියාද ඔබ හිතන්නේ?

ඈත අතීතයේ ඉඳලම චිත්‍රපට වාරණයට, කැපීමට ලක් කරපු නිසා වෙන්නට ඇති එවැනි නමක් පට බැඳෙන්න ඇත්තේ. මෙහි ඉංගී‍්‍රසි පනතේ සඳහන්ව තිබෙන්නේ ර්‍ථභඡතඪජ නඥපටධපථචදජඥ ඕධචපඤ කියලා. 1952 වසරේ තමයි මේ පනත හඳුන්වා දී තිබෙන්නේ. ඒකෙ කොතනකවත් “කැපිලි” කෑල්ලක් නෑ. නමුත් සිංහලට පරිවර්තනය වෙනකොටම කැපිල්ලක් ඇවිල්ලා තියෙනවා. පාලනයක් ඇවිල්ලා තියෙනවා, රැඟුම් පාලක මණ්ඩලය කියලා.

* ඇත්තටම මේ කපන මණ්ඩලයෙන් චිත්‍රපට කැපුවා?

ඔවි, චිත්‍රපට කැපුවා. ඒක තමයි අතීතයේ තිබූ සම්ප්‍රදාය. නමුත් දැන් වර්තමානයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අපේ ආර්ථික, සමාජ පරිසරය, තාක්ෂණික දියුණුව හා සන්නිවේදන කටයුතු පුංචි වීම නිසා අද වාරණය කියන එක, චිත්‍රපටයක කෑලි ඉවත් කරනවා කියන එක ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික දෙයක් නෙවේ.

* එවන් පසුබිමක රැඟුම් පාලක මණ්ඩලයේ නීති රීති පවා වෙනස් විය යුතුයි නේද?

ඇත්ත වශයෙන්ම පුළුල් මනසකින්, විවෘත මනසකින් මේ දිහා බලා මේ නවීන තාක්ෂණය හා බැඳුනු, අද යුගයට ගැළපෙන වෙනසක් අපි කරන්න ඕනෑ. මේ වෙනස්කම් කිරීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. සංස්කෘතික අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාත්, ඒ පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරය දරන අගමැති තුමා සහ ජනාධිපති තුමාගේත් බලාපොරොත්තුව නිදහස් සමාජයක් ඇති කිරීම. නිදහසේ හිතන්න පුළුවන්, නිදහසේ කතා කරන්න පුළුවන්, නිදහසේ නිර්මාණ කරන්න පුළුවන් සමාජයක්, ශීලාචාර සමාජයක් බිහි කිරීම.

* එතනදි රැඟුම් පාලක මණ්ඩලයේ වගකීම වෙන්නේ?

අපේ වගකීම වෙන්නේ මේ රැඟුම් පාලනය කිරීම වෙනුවට නවීන ලෝකයේ හුඟක් රටවල් කරන විදිහට, වර්ගීකරණ මණ්ඩලයක් බවට මේක පරිවර්තනය කිරීම.

* ඇත්තටම මේ වර්ගීකරණ මණ්ඩලයක් කියන්නේ මොකක්ද?

දැන් ලෝකයේ හුඟාක් රටවල තියෙන්නේ ඒ ක්‍රමවේදය. ප්‍රධාන වශයෙන් චිත්‍රපට ගැන ගත්තොත් දැන් අමෙරිකාවෙ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුව වර්ගීකරණ කොටස් මම හිතන්නේ හයක්, නැතිනම් හතක් තියෙනවා. බ්‍රිතාන්‍ය වර්ගීකරණය යටතේ කොටස් හතරකට බෙදා තියෙනවා. තවත් රටවල ඒ වගේ ක්‍රමවේදයන් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අසීමිත ප්‍රදර්ශනය සඳහා සුදුසු චිත්‍රපට, එහෙම නැතිනම් දෙමාපිය අනුදැනුම ඇතිව නැරඹිය යුතු ගණයේ චිත්‍රපට. දැන් සමහර රටවල තියෙනවා දෙමාපිය අනුදැනුම ඇතිව අවුරුදු දහතුනෙන් නැත්නම් පහළොවෙන් ඉහළ ළමයින්ට නැරඹිය හැකි චිත්‍රපට.

* ඒ වර්ගීකරණයෙන් ඔබ්බට ගිය තවත් සීමාවන් පවා තියෙනවා මම හිතන්නේ?

එහෙම වර්ගීකරණය කරලා අන්තිමට එනවා වැඩිහිටියන්ට පමණක් වන චිත්‍රපට. සමහර රටවල තියෙනවා එයිනුත් ඔබ්බට ගිය තවත් වර්ගීකරණයක්. ඒ චිත්‍රපට හැම සිනමා ශාලාවේම පෙන්වන්න බෑ. ඒවා පෙන්විය යුතු විශේෂ සිනමාශාලා තියෙනවා. සමහර චිත්‍රපට වර්ගීකරණ තියෙනවා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමට නොහැකි ඒවා. සමහර කඩ සාප්පුවල වැඩිහිටියන්ට පමණක් සීමා වූ ච්.ඍ.ච් ලෙස ඒවා මිල දී ගත හැකියි. ඒ ඒ රටවල පවතින සමාජ, ආර්ථික, පරිසර අනුවයි ඒවා වර්ගීකරණය වෙලා තියෙන්නේ.

* දැන් අපේ රටට වඩාත් ගැළපෙන වර්ගීකරණ ක්‍රමවේදයක් සකස් කිරීමත් රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යභාරයක්?

වඩාත් සුදුසු ක්‍රමවේදයක් පිළිබඳ අපි මේ මොහොතේ සොයා බලමින් හා අධ්‍යයනය කරමින් ඉන්නේ. ආනයනකරුවන්ගේ සංගමය එක්ක අපි මේ පිළිබඳ සාකච්ඡා කළා. ඒ වගේම සිනමා අධ්‍යක්‍ෂවරුන් කීප දෙනෙක් සමගම අප මේ වෙනකොට පුද්ගලික මට්ටමෙන් සාකච්ඡාකර තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමය සමඟ නිල වශයෙන් මේ ගැන සාකච්ඡා කරන්න.

* එපමණද?

නැහැ. මේ වර්ගීකරණ ක්‍රියාවලිය පිළිබඳ හදාරපු කීප දෙනෙක් අපේ රටේ ඉන්නවා. තමන්ගෙ පුද්ගලික අවශ්‍යතා මත හදාරපු. අපි ඔවුන් සමඟත් අදහස් හුවමාරු කර ගන්නවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා, අමෙරිකානු ක්‍රමය, බ්‍රිතාන්‍ය ක්‍රමය ඒත් එක්කම ආසියාතික රටවල දැන් පවත්නා ක්‍රමවේදයන් හඳුනාගෙන එයින් අපට ගැළපෙන දේවල් තෝරා ගන්න. ඒ තුළින් අපේ වර්ගීකරණ මණ්ඩලය සකස් කරන්න.

* අසල්වැසි ඉන්දියාවේ පවා වර්ගීකරණ මණ්ඩලයක් නැහැ නේද?

නැහැ තාමත් එහි තිබෙන්නේ රැඟුම් පාලක මණ්ඩලයක් වගේ දෙයක් විතරයි. ඒත් ඉන්දියාවේ සිනමා ශිල්පීන් බොහෝ පිරිසක් දැන් එය වෙනස් විය යුතුයි කියා ඉල්ලා සිටිනවා. එතකොට ජපානය, චීනය වගේ රටවල්වල වර්ගීකරණ ක්‍රමවේදයන් හදාරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දේවල් හදාරලා අපේ රටට ගැළපෙන වර්ගීකරණ ක්‍රමවේදයක් සකස් කරලා ඒක පනතක් මඟින් සම්මත කරලා එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඒ පිළිබඳ අපි අධිකරණ අමාත්‍යතුමා සමඟත් සංවාදයක් නැතිනම් කතිකාවක් ආරම්භ කරලයි තියෙන්නේ.

* ඒ කියන්නේ තිබෙන පනත සංශෝධනයට ලක් කිරීමක් වෙනවා?

තියෙන පනත සංශෝධනය කිරීමක් නෙවෙයි අපි ඒ පනත පරිචින්න කරලා, එහෙම නැතිනම් අහෝසි කරලා අලුත් පනතක් ගේනවා. මොකද මේ 1952 දී හදපු පනතක් උඩ තමයි අපි යන්නේ.

* මෙතෙක් කල් ක්‍රියාත්මක වුණේ ඒ පනතමද?

මම හිතන්නේ පොඩි, පොඩි සංශෝධන පසු කාලේදි එකතුවෙලා තියෙනවා. නමුත් ප්‍රධාන විදිහෙ සංශෝධන ඒ පනතට එකතු වෙලා නෑ.

* දැන් තිබෙන පනත සිනමා කලාවේ පැවැත්මට අහිතකරයි කියන තැන ඉඳලයි මේ සියලු කාරණා ඔබ ගෙනහැර පාන්නේ?

ඔව්, ඒක දැන් ඔප්පු වෙලා තියෙනවනේ. දැන් ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමය නිල වශයෙන්ම කියනවා මේ පනත හේතුවෙන් පාලක මණ්ඩලයේ කලින් සිටි පාලකයින් සහ සාමාජිකයින් ගේ ක්‍රියා කලාපයන් නිසා මෙරට සිනමා කර්මාන්තයට සහ සිනමා කලාවට දැවැන්ත විදිහේ බාධක එල්ලවෙලා තියෙනවා කියලා. ඉතින් ඔවුන් සංගමයක් විදිහට එහෙම ප්‍රකාශ කරනවා. අපිත් ඒක දැකලා තියෙනවා. හුඟක් වෙලාවට මේ මණ්ඩලය නිසා නිර්මාණකරුවන්ට බාධා එල්ල වුණු අවස්ථා. ඉතින් එවැනි අවස්ථාවන් අපි අවම කරන්න ඕනෑ. නැතිනම් ඒවා නැති කරලම දාන්න ඕනෑ. අපි කළ යුත්තේ කාටවත් දොස් කිය කියා සිටීම නෙවෙයි. වහ වහා එම වැරදි නිවැරදි කර ගැනීමයි.

* ඒ සඳහා ඔබ මණ්ඩලය මේ වන විටත් සක්‍රීයව මැදිහත්ව සිටිනවා?

අනිවාර්යයෙන්ම. මේක අපි නිර්මාණකරුවාගේ පැත්තෙන් බලලා ඔවුන් වෙනුවෙන් ගත් සුබවාදී පියවරක්.

* දැන් අපි දන්නවා “අක්‍ෂරය” වගේ චිත්‍රපටයකට රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබෙනවා. එහෙත් පසුව සංස්කෘතික අමාත්‍යවරයා විසින් එය තහනමට ලක් කරනවා. එවැනි දේවල් ඉදිරියේදීත් වෙන්නට බැරිද?

නෑ, එහෙම වෙන්නෙ නෑ. එහෙම වෙන්නේ නෑ කියලා මම කියනවා. මොකද දැන් මේ අපේ රට පාලනය කරන පාලකයන්ගේ අරමුණ නිදහස් සමාජයක් බිහි කිරීම. ඒක තමයි පුරවැසියන්ගේ ඉලලීම. ඒ ඉල්ලීම ඉටු කරන්නට ඔවුන් සැදී පැහැදී ඉන්නවා. ඒක නිසා කිසිම දේශපාලන බලපෑමක් එන්නේ නෑ. මේ පාලක මණ්ඩලයේ සමාජිකයන් පත්කරද්දිත් කිසිම විදිහකට ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත්, ඇමැතිතුමාවත් බලපෑමක් කළේ නෑ.

* නමුත් රැඟුම් පාලක මණ්ඩලයේ ව්‍යුහය තුළ බල තුලනය වන්නේ අමාත්‍යවරයාගේ සිට පහළට. තවත් විදිහකට කිව්වොත් ඔබ මණ්ඩලය පාලනය වන්නේ සංස්කෘතික අමාත්‍යාංශය හරහා, ඒ නිසයි මා අර වගේ ප්‍රශ්නයක් යොමු කළේ?

සංස්කෘතික අමාත්‍යවරයා බොහොම විනිවිද ලෝකය සහ කලාව දකින කෙනෙක්. අප අතර හොඳ අන්‍යෝන්‍ය වැටහීමක්, අවබෝධයක් තිබෙනවා. ඒ නිසා එබඳු ප්‍රශ්න ඇති නොවන වග මට විශ්වාසයි. අර මම මුලින් සඳහන් කළා වගේ ස්වාධීන මණ්ඩලයක් මඟින් තමයි මෙහි සාමාජිකයන් පත් කළේ. දේශපාලන පත්වීමක් කියලා කියන්න ඉන්නවා නම් ඒ ඉන්නෙ මම විතරයි. මාව පත්කළේ අගමැතිතුමා. ඒ හැරුණුකොට අනෙක් කිසිම සාමාජිකයකු පත් කරන්න කිසිම දේශපාලනඥයෙක් සම්බන්ධ වුණේ නෑ. යම්කිසි ප්‍රතිපත්තිමය රාමුවක් ඇතුළේ තමයි සාමාජික, සාමාජිකාවන් මණ්ඩලයට පත් කළේ.

* අලුත් නීති රීති සමඟ, අලුත් පනතක් ආවත් මම හිතන්නේ ඒ හරහා ජන සමාජයට කළ හැකි බලපෑම සීමා සහිතයි. මොකද අද අන්තර්ජාලය හරහා ච්.ඍ.ච් තාක්‍ෂණය මඟින් වගේම ලෝකයේ විවිධ සිනමා නාළිකා හරහා කිසිදු වාරණයකින් තොරව චිත්‍රපටයක් නැරැඹීමේ හැකියාව තියෙනවා. එතනදි කෙතරම් සම්බාධක පැනෙව්වත් අර වගේ අභියෝග ජය ගන්නේ කොහොමද?

නෑ ඉතින් ඉස්සරහට සම්බාධක පැනවෙන්නේ නෑනේ.

* එතකොට රැඟුම් පාලක මණ්ඩලයක් අවශ්‍ය ඇයි කියා කෙනෙකුට හිතෙන්න පුළුවන්?

නෑ, මේක වාරණ මණ්ඩලයක් නෙවේනේ එන්නේ. වර්ගීකරණ මණ්ඩලයක්. එතකොට අපි දෙනවා වර්ගීකරණයක් මේ චිත්‍රපටය මේ, මේ වයස් සීමාවන්ට සුදුසුයි කියලා. එතකොට ඒ ඒ වයස් සීමාවලට සුදුසු විදිහට ඒවා නරඹන්න පුළුවන්.

* චිත්‍රපට ශාලාවලට ගොස් චිත්‍රපට නැරැඹීමේදී පමණයි ඔය සීමාවන් අදාළ වන්නේ?

එහෙම නැතුව නැරැඹීමේ අවස්ථාවන් දැන් තියෙනවා. ඒවා ඉතින් ගෙදර ඇතුළේ සිද්ධවෙන දේවල් වෙන්න පුළුවන්. දෙමාපියන් හා දරුවන් අතර තිබෙන සම්බන්ධතා උඩ තමයි ඒවා පාලනය වෙන්නේ හෝ නොවෙන්නේ. ඒක ඉතිං චිත්‍රපටවලට විතරක් බලපාන දෙයක් නෙවෙයිනේ. හැමදේටම බලපාන දෙයක්. චිත්‍රපටයකට පමණක් සීමා කරන්න බෑ. නමුත් චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනය සඳහා එද්දි යම්කිසි වර්ගීකරණයකට ලක්විය යුතුයි කියන එක ලෝකය පිළි අරන් තියෙනවා. දැන් අමෙරිකාව වගේ රටක තිබෙන ක්‍රමය ගත්තම අමෙරිකාවේ මේක නීතියක් නෙවේ. නෛතික කාරණයක් නෙවේ.

* ඒ කියන්නේ ආණ්ඩුවෙන් පනවපු නීතියක් නෙවේ?

ඔව්, අමෙරිකාවේ චිත්‍රපටකරුවන් විසින් සාදාගත් වර්ගීකරණ මණ්ඩලයක් මඟින් තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ සංගමයට අයිති නැති අයට පුළුවන් මේ වර්ගීකරණයට යටත් නොවී ඕනෑ නම් චිත්‍රපට පෙන්වන්න. හැබැයි එහෙම පෙන්වන ඒවා හරි අඩුයි. සංගමයට අයිති නැති නිර්මාණකරුවොත් හැමවෙලාවෙම මේ සංගමයෙන් ඉල්ලා සිටින්නේ අදාළ වර්ගීකරණයට තමන්ගේ නිර්මාණත් යොමු කරන ලෙසයි. එහෙම ඉල්ලා සිටින්න ඔවුන් පෙළඹෙනවා.

* “බොරදිය පොකුණ” වගේ චිත්‍රපටයක් වසර හතක තහනමකින් පසු දැන් තමයි ප්‍රදර්ශනයට එක්වී තිබෙන්නේ. එතකොට “ඉගිලෙන මාළුවෝ” වගේ චිත්‍රපටයක් වාරණයට බඳුන් වුණා. දැන් ඔබ මේවාට වග කිව යුතු නැති වුණත් එබඳු කාරණා පිළිබඳ ඔබේ අදහස කෙබඳුද?

ඇත්තටම මම දන්නා පරිදි “බොරදිය පොකුණ” චිත්‍රපටයට තිබූ තහංචිය ඉවත් වුණේ කලින්මයි. මට මතක විදිහට නම් අශෝක සේරසිංහ මහත්තයා රැඟම් පාලක මණ්ඩලයේ සභාපතිත්වය දරන අවධියේ. එතකොට ඒක අවුරුදු දෙක, තුනකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. අපි මේ අලුත් පාලක මණ්ඩලය පත්වුණාට පස්සේ චිත්‍රපට දෙකක් වෙනුවෙන් පමණයි අභියාචනා ඉදිරිපත් කර තිබුණේ.

* මොනවාද ඒ චිත්‍රපට?

එකක් ප්‍රසන්න විතානගේ ගේ “ඔබ නැතිව ඔබ එක්ක” චිත්‍රපටය. අනෙක “මෝටර් බයිසිකල්” චිත්‍රපටය. මේ චිත්‍රපට දෙකටම අභියාචනා ඉදිරිපත් කර තිබුණා. මොකද මේ පනත අනුව පාලක මණ්ඩලය යම් වාරණයක් කළොත් ඒ පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කිරීමටත් පනතෙන්ම ඉඩකඩ සලසා දී තිබෙනවා. එතකොට ඒක නැවත සමීක්‍ෂණය කළ යුතුයි.

* එහෙම නැවත සමීක්‍ෂණයක් කළාද?

ඔව්, ඒ අනුව අපි ප්‍රසන්නගේ චිත්‍රපටය “වැඩිහිටියන්ට වඩාත් සුදුසු” චිත්‍රපටයක් ලෙස නම් කළා. “මෝටර් බයිසිකල්” කියන චිත්‍රපටයට “වැඩිහිටියන්ට සුදුසුයි” කියා සීමාවක් දාලා තිබුණේ. නමුත් අපි එය අයින් කරලා අසීමිත ප්‍රදර්ශනය සඳහා සුදුසු බවට තීරණය කළා. එතකොට “ඉගිලෙන මාළුවෝ” නම් අභියාචනයක් යොමුකර තිබුණේ නෑ. හැබැයි මට මතක හැටියට නම් ඒ චිත්‍රපටය රැඟම් පාලක මණ්ඩලය වාරණය කළ එකක් නෙවේ. යම්කිසි විදෙස් චිත්‍රපට උළෙලක ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබියදියි ප්‍රශ්නයක් වුණේ.

* විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක් පිස්තෝලයක් තියාගෙන සිටින දර්ශනයක් පදනම් කරගෙන තමයි ප්‍රසන්න විතානගේ ගේ “ඔබ නැතිව ඔබ එක්ක” තහනමට ලක් වෙන්නේ?

ඔව්, ඒත් චිත්‍රපටයේ යම්, යම් දර්ශන සහ දෙබස් කිහිපයක් කපන්න කියලා තමයි නිර්දේශ කරලා තිබුණේ.

* දැන් එතකොට ඇතැම් චිත්‍රපට සඳහා පොලිසියේ සහ හමුදාවේ යම් යම් බලපෑම් ඉහළ නිලධාරීන්ගෙන් එල්ල වන බවට නිර්මාණකරුවන් චෝදනා නඟනවා. ප්‍රසන්න වගේම උදයකාන්ත වර්ණසූරිය, බෙනට් රත්නායක, නිලේන්ද්‍ර දේශපි‍්‍රය වැනි නිර්මාණකරුවන්ටත් මේ බලපෑම් එල්ල වුණා. රැඟුම් පාලක මණ්ඩලය කොයි විදිහට ද මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ?

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වෙන දෙයක් පිළිබඳ මැදිහත් වීමක් වෙන්න රැඟුම් පාලක මණ්ඩලයට පුළුවන් පනත අනුව. එහෙම දෙයක් ගැන රැඟුම් පාලක මණ්ඩලයට තීරණයක් ගන්න අසීරු වුණොත් පනතෙන් බලතල තියෙනවා සභාපතිට ඒකට අවශ්‍ය විශේෂඥ පුද්ගලයකු කැඳවන්න. සාමාජිකයකු විදිහට කැඳවලා ඒ තීරණයට උපදෙස් ගන්න. එතනදි නිර්මාණය තමයි අපි මුල් තැන්ලා සලකන්න ඕනෑ. නමුත් මින්පෙර සමහර අවස්ථාවල නිර්මාණය නෙවෙයි වෙනත් කාරණා මුල් වෙලා තියෙන්නට ඇති.

* මොනවද ඒ වෙනත් කාරණා?

දේශපාලනය වෙන්නට පුළුවන්. පොලිසියේ, හමුදාවේ බලපෑම් වෙන්නට පුළුවන්, වෙනත් සාමාජීය, ආර්ථික බලපෑම් වෙන්නට පුළුවන්. එහෙම අවස්ථා ඉතිහාසයේ අපට දකින්න තිබුණා. ඉතින් අපි මේවා නවත්වන්න ඕනෑ. මොකද නිරමාණයක් දිහා නිර්මාණයක් විදිහට බලන්න අපි ඉගෙන ගන්න ඕනෑ. මම හිතන්නේ නෑ මගේ මතය අනුව කිසිම අවස්ථාවක හමුදාවක චිත්ත ධෛර්යය චිත්‍රපටයකින් බිඳින්න පුළුවන් කියලා. එහෙම මතයක් තියෙනවා නම් ඒක හමුදාවට කරන අගෞරවයක්. මොකද පිච්චර් එකක් පෙන්නුවා කියලා හමුදාවේ චිත්ත ධෛර්යය කැඩෙනවා නම් එල්. ටී. ටී. එක එච්චර මහන්සි වෙන්න ඕනැ නෑ මේ යුද්ධය දිනන්න. ඔවුන්ට තිබුණේ පිච්චර් පෙන්නන්න. නමුත් පිච්චර් පෙන්නලා ශක්තිමත් හමුදාවක් පරාජය කරන්න බෑ.

* ඒවා බොහොම ප්‍රාථමික සිතිවිලි?

ප්‍රාථමික සිතිවිලි. ඉතින් අපි ඒවායින් මිදෙන්න ඕනෑ. අනෙක එහෙම චිත්‍රපටයකින් චිත්ත ධෛර්යය බිඳෙනවා නම් ඒ හමුදාවේ විතරද? දැන් එහෙම බැලුවොත් අපිට ලෝකයේ කිිසිම චිත්‍රපටයක් පෙන්නන්න බෑ. චිත්‍රපටය ඇතුළේ යම් යම් ක්ෂේත්‍රවලට සම්බන්ධ චරිත තියෙනවා. සමහර විට දොස්තර කෙනෙක් මිනියක් මරන්න පුළුවන්. එහෙම චිත්‍රපටයක් බලලා දොස්තරවරු කිව්වොත් අපේ චිත්ත ධෛර්යය බිඳෙනවා මේක පෙන්නන්න එපා කියලා. ඒක හරියනවද? මේක වෙලා තියෙන්නේ නිර්මාණාත්මක ඇසින් නිර්මාණ දිහා බලන්න පුරුදු නොවීම.

* දැන් ඔබ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිර්මාණයක් දෙස බලන්නේ නිර්මාණාත්මක ඇසින් පමණමද?

අපට අවශ්‍ය නිර්මාණකරුවාට උත්තේජනයක් සපයන්න මිසක ඔවුන් දුර්මුඛ කරන්නට නෙවෙයි. චිත්‍රපට පොලිසියක් හෝ චිත්‍රපට හමුදාවක් අපට අවශ්‍ය නෑ. චිත්‍රපට නරඹන්නන්, නිර්මාණකරුවන් වගේම කර්මාන්තය ඔසවා තැබීමයි සිනමාව සම්බන්ධව කටයුතු කරන ඕනෑම ආයතනයක වගකීම විය යුත්තේ. වත්මන් රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හැටියට මමත්, එහි සමාජික, සමාජිකාවනුත් ඒ සඳහා කැපවී සිටිනවා.

* හොඳ සංචිතයක් තිබෙනවා ඔබට?

ඔව්, ඉතාම හොඳ සංචිතයක් ඉන්නවා කියලා මට හිතෙනවා. මොකද මීට කලින් හිටපු අය නරකයි කියා මම කියනවා නෙවෙයි. නමුත් ඊට වඩා ඉතාම හොඳ සංයුතියක් තියෙනවා. සමාජයේ හොඳ හරස්කඩක් තියෙනවා. අපට ඉතාම හොඳ ජනමාධ්‍යවේදීන් ඉන්නවා. සම්මානිත ග්‍රන්ථ කර්තෘවරුන් ඉන්නවා. එතකොට කාන්තා නියෝජනය අපි හය දෙනෙක් දක්වා වැඩිකර තිබෙනවා. ඒ වගේම සුළු ජාතික නියෝජනය අපි පහක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ ප්‍රශ්න ඔවුන්ගේ ඇසින් දකින්න පුළුවන් වෙන විදිහට. නීතිඥවරුන්, වෙබ් මාධ්‍ය නියෝජිතයින්, සමාජ මාධ්‍ය ජාල නියෝජිතයින් ඉන්නවා. අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන අය ඉන්නවා. මේ විදිහට බලපුවාම ඉතාම පුළුල් සහ වර්ණවත් සංයුතියක් මේකෙ තියෙනවා.

* කී දෙනෙකුගෙන් සමන්විත ද මේ සංචිතය?

පහළොස් දෙනෙකුගෙන් තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. චිත්‍රපට, නාට්‍යය, කලාවන්ට සම්බන්ධ, ඒ පිළිබඳ හසල දැනුමක් තියෙන, පතපොත ලියා තිබෙන අයත් මේ මණ්ඩලයේ ඉන්නවා. නමුත් අපි තීරණයක් අරගෙන තියෙනවා මණ්ඩලයේ සාමාජිකත්වය දරන තාක් කල් සෘජුව කිසිම කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නෑ කියලා. ඒ විදිහේ ආචාර ධර්ම පද්ධතියක් අපි හදාගෙන තියෙනවා.

* ඔබත් නිර්මාණකරුවෙක් නිසා කලාකරුවන්ට එවැනි කොන්දේසි, සම්බාධක පැනවීම යුක්ති, යුක්තයි කියා සිතනවාද?

මෙතන ඉඳගන්නවා නම් ඒ සම්බාධකවලට යටත් විය යුත්යි. නැතිනම් ඒක අනිසි බලපෑමක් වෙන්න පුළුවන්. ඒක සුදුසු නෑ. දැන් මෙතන ඉන්නේ චිත්‍රපටයක් සඳහා බලපත්‍රයක් නිකුත් කරන පුද්ගලයෙක් නම් ඔහු ඒ චිත්‍රපටය ගැන විචාරයක් ලියන එක සාධාරණ නෑ. එහෙම නැතිනම් චිත්‍රපටයක ජූරියක ඉඳගෙන විනිශ්චය දීම සුදුසු නෑ. අපේ පළමුවැනි මණ්ඩල රැස්වීමේදී සාමාජික, සාමාජිකාවන්ගෙන්ම ආපු යෝජනාවක් තමයි මේ. එතකොට මේක හරි පිරිසුදුයි. විනිවිද බවෙන් යුක්තයි. තමන්ගේ අදීනත්වය රැකගෙන කටයුතු කරන්න ඔවුන්ට පුළුවන් එතකොට.

* ඔබ මේ සංචිතය කවුදැයි හෙළි නොකරන්නට කිසියම් පරිශ්‍රමයක් දරන බව පේනවා?

නෑ.. නම් හෙළි කරන්න අකැමැත්තක් නෑ. නමුත් ඒක අවශ්‍යද කියලා හිතෙනවා. දැන් මීට කලින් රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයන් පිළිබඳ ඔබ දන්නවාද? ඔවුනුත් ඒක හෙළි කළේ නෑනේ. මේ රජය විසින් තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කළාට පස්සේ ඒ අයගේ නම් ගම් ඕනෑම කෙනෙකුට දැන ගන්න පුළුවන්කම ලැබේවි.

* කුමන වර්ගීකරණයක් ඔස්සේ ද අද චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හරින්නේ කියා මා ඔබෙන් දැන ගන්නට කැමැතියි?

මුලින්ම අසීමිත ප්‍රදර්ශනය. ඊළඟට වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන සීමාව. ඒ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියා වර්ගීකරණය කළ චිත්‍රපට නැරැඹීම සඳහා අවුරුදු දහ අටට අඩු කෙනෙකුට එන්න පුළුවන් තමන්ගේ මවුපියන් සමඟ. අනෙක් වර්ගීකරණය “වැඩිහිටියන්ට පමණයි” කියන එක. එතකොට ඒක අවුරුදු දහ අටට වැඩි අයට. එවැනි වර්ගීකරණ සීමාවන් තුනක් තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ.

* චිත්‍රපටයක් රැඟුම් පාලක මණ්ඩලයේ ලියා පදිංචි වූ දින අනුපිළිවෙළට තමයි චිත්‍රපටය ප්‍රදර්ශන පෝලිමට එකතු වුණේ. එහෙම ක්‍රියා පිළිවෙතක් තිබුණා?

තිබුණා දැන් නෑ.

* ඒක නිර්මාණකරුවාට සහ නිෂ්පාදකයාට කරන අසාධාරණයක් නේද? මොකද පෝලිමෙන් පිට පැනලා චිත්‍රපට ප්‍රදර්ශනය කළ අවස්ථා අප දැක තිබෙනවා?

දැන් එහෙම පෝලිමක් නෑ ඉතින්. දැන් ඉස්සර රැඟුම් පාලක මණ්ඩලයේ බලපත්‍රය ලැබූ අනු පිළිවෙළ අනුව තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා යොමු වෙන්නේ. නමුත් ඒ ක්‍රම වේදය අද ක්‍රියාත්මක වෙන්නේ නෑ.

* ඒ ක්‍රමවේදය අහෝසිවීම හොඳයි කියලද ඔබ කියන්නේ?

ඒක මට කියන්න බෑ. ඒ ගැන අපි හදාරන්න ඕනෑ. මොකද අපිත් ඒ පිළිවෙත දැන් ක්‍රියාත්මක නොවන බව දැන ගත්තේ මේ පාලක මණ්ඩලය බාරගෙන වැඩ කරගෙන යනකොට. ඒකෙ හොඳ තියෙන්නත් පුළුවන්. නරක තියෙන්නත් පුළුවන්. නමුත් මම හිතන්නේ ඒ ගැන හදාරන්නේ නැතිව යම් ප්‍රකාශයක් කරන එක සාධාරණ වෙන්නෙ නැහැ කියලයි.