වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




රන්මුතු දූව තැනූ මයික් විල්සන්ගේ ඉරණම

රන්මුතු දූව තැනූ මයික් විල්සන්ගේ ඉරණම

දියණිය දාමිණී මුල්වරට පුවත්පතකට හෙළි කරයි

එදා රන්මුතු දූව චිත්‍රපටය තනා ලාංකික සිනමාවේ නව නැම්මක් ඇති කරන ලද්දේ මයික් විල්සන්ය. ඔහු අපේ සිනමාවේ පුරාවෘතයක් විය. මයික් විල්සන්ට දූ දරුවන් සිටි වගක් අසන්නට ලැබුණත් ඔවුන් කොතැනක සිටීදැයි අප කිසිවකු හෝ දැන සිටියේ නැත. එහෙත් මේ සොයා බැලීමේදී මයික් විල්සන්ගේ වැඩිමහලු දියණිය පිළිබඳ ඔත්තුව අපට දුන්නේ පෙරළිකාර සිනමාකරු දිනේෂ් ප්‍රියසාද් ය. එපමණකින් සෑහීමකට පත් නොවූ සරසවියට කවදත් හිතවත් දිනේෂ්, මයික්ගේ දියණිය හා අප අතර සම්බන්ධීකරණය කරමින් ඇය හමුවට යන්නට ද අප හා එක් වූ බව කෘතවේදීව සඳහන් කරමි.

ඒ අනුව දිනේෂ් අප කැඳවාගෙන ගියේ මවුන්ට් ගින්ස් ඇවනිව්, 204/1, ගාලු පාර, ගල්කිස්ස ලිපිනය සඳහන් නිවහන වෙතය.

මයිකල් ජෝන්. විල්සන් (මයික් විල්සන්)

කුඩා නිවහනක කල් ගෙවන මයික් විල්සන්ගේ දියණිය වූ දාමිණී විල්සන් මහත්මිය අපට හමු වූයේ එහිදීය. අතීත මතකයන් සමඟ තම පියා පිළිබඳ ඇයට කිව යුතු දෑ බොහෝ විය.

* විල්සන් පවුලේ තොරතුරු කොහොමද?

තාත්තා මයිකල් ජෝන් විල්සන්. අම්මා ලීස් විල්සන්. අයියා ටෝනි විල්සන්. මම දාමිණි විල්සන්. නංගි යස්මින් විල්සන්, මල්ලි රවී විල්සන්. අපි ඔක්කොම පවුලේ හය දෙනයි.

* අද ඔබේ සහෝදර සහෝදරියන් සියලු දෙනා එකට ද ජීවත් වෙන්නේ?

නෑ. අයියා ටෝනි අම්මාගේ මරණයෙන් පසු එංගලන්තයට ගියා. අද වෙනකන් කිසිදු තොරතුරක් නෑ එයා ගැන. නංගි යස්මින් විවාහ වෙලා ඇඹුල්දෙණියේ පදිංචිව සිටිනවා. මල්ලි රවී විවාහ වෙලා අත්තිඩියේ පැරකුම් මාවතේ පදිංචි වෙලා ඉන්නවා.

* ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මම විවාහකයි. මගේ සැමියා වෝක් අද ජීවතුන් අතර නෑ. මගේ එකම පුතා අම්රික් මයිකල් විල්සන්. එයාට දැන් අවුරුදු තිස් දෙකක්. පුතා ඉපදුණේ 1983 දී.

* අම්රික් පුතා තාත්තාගේ අඩි පාරේම ගියාද?

කොහෙත්ම නෑ. එයා මගේ මස්සිනාගේ මල්ලි සමඟ බිස්නස් කරනවා. ඔහුත් දැන් මගෙන් වෙන් වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නේ.

* තාත්තා චිත්‍රපට තනනවා ඔබට මතකද?

1963 ගැටවරයෝ චිත්‍රපටය කරන කාලේ තමයි මම ඉපදුණේ. අයියා නම් 61 දී ඉපදිලා තියෙන්නේ. නංගි 64 දී. මල්ලි 69 දී. තාත්තා හොරුන්ගෙත් හොරු චිත්‍රපටය කරන කාළේ නම් මට හොඳට මතකයි.

දාමිණී විල්සන් තම සහෝදරයා වූ රවී විල්සන් සමඟ

* ඒ කාලේ තාත්තා සමඟ ෂූටින් කරනවා බලන්න එහෙම ගියාද?

ස්ටුඩියෝවල රූපගත කිරීම් බලන්න, ඩබින් කරනවා බලන්න මම ගිහින් තියෙනවා. එවක වත්තල විජය ස්ටුඩියෝවේ තමයි හොරුන්ගෙත් හොරු චිත්‍රපටයේ ලොකේෂන් හැදුවේ. මමත් යස්මින් නංගිත් හරිම ආසයි විජය චිත්‍රාගාරයට යන්න.

* ඔච්චරට ආස කළේ?

විජය චිත්‍රාගාරය ළඟ ලොකු ජම්බෝල ගහක් තිබුණා. අපි දෙන්නම ජම්බෝල කන්න හරිම කෑදරයි. නංගියි මමයි තරගෙට ජම්බෝල කඩන්න ගහට බඩ ගානවා. තාත්තා ස්ටුඩියෝව ඇතුළේ චිත්‍රපටය හදනවා. ගස් බඩගාලා අහුවුණු දාට ටොකුත් අනිනවා, සැරත් කරනවා.

* කුඩා කළ පදිංචි වෙලා හිටියේ කොහේද?

කොළඹ හතේ බාන්ස් පෙදෙසේ. අපේ ගෙදරට පල්ලෙහායින් තමයි ආතර් සී. ක්ලාක්ගේ ගෙදර තිබුණේ. කාලෙකට පස්සේ අපි හෝටන් ප්ලේස්වල ගෙදරකට පදිංචියට ආවා. මේ ගෙවල් දෙකම විශාල ප්‍රමාණයේ ගෙවල්. එක ගෙදරක කාමර නමයක්. අනිත් ගෙදර කාමර එකොළහක් තිබුණා.

* ඔබේ අම්මාත් රූප සුන්දරියක් නේද?

අම්මා ලීස් පෙරේරා. තාත්තා සමග විවාහ වුණාට පස්සේ ලීස් විල්සන් වුණා. ඇය හොරුන්ගෙත් හොරු චිත්‍රපටයේ රඟපෑවා. ඇය රූප සුන්දරියක් ලෙස තේරී පත් වූ තැනැත්තියක්.

* එවක ඔබ ඇතුළු සහෝදර සහෝදරියන් අධ්‍යාපනය ලැබුවේ?

ලීස් විල්සන්

අයියා ශාන්ත පීටර් විද්‍යාලයේ ඉගෙන ගත්තා. මල්ලි ඇලෙක්සැන්ඩ්‍රා කොලේජ් එකේ ඉගෙන ගත්තා. මමත් නංගිත් ශාන්ත බ්‍රිජට් විද්‍යාලයේ ඉගෙන ගත්තා.

* ආතර් සී. ක්ලාක් ඔබේ පියාට මුණ ගැහෙන්නේ කොහොමද?

ආතර් අංකලුත් තාත්තාත් එංගලන්තයේ එක ගමේ යාළුවෝ. තාත්තාට ඒ කාලේ වයස අවුරුදු දහසයයිලු. අංකල් ආතර් වගේම තාත්තාත් පුදුම ආශාවක් දැක් වූවලු මුහුදේ කිමිදෙන්න. කිමිදුම්කරුවෝ විධියට මේ දෙන්නා පුංචි කාලේ පටන් ලොකු අත්දැකීම් රාශියක් ලබල තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ.

* තාත්තා ඉපදෙන්නේ?

ඩැඩී 1934 පෙබරවාරි 18 වැනිදා ඉපදෙනවා.

* මිය ගියේ?

1995 පෙබරවාරි මාසේ 27 වැනිදා මිය යනවා.

* ඔහු කලින් පැරෂුට් භටයෙක්ලු?

ලෝක යුද සමයේ එයා එංගලන්ත ගුවන් හමුදාවේ පැරෂුට් භටයෙක් විදියට කටයුතු කරලා තියෙනවා. 1947 දී තමයි ලංකාවට එන්නේ.

* මයිකල් ජෝන් විල්සන් ඔබේ මව වූ ලීස් පෙරේරාට හමු වන්නේ?

මගේ අම්මා එංගලන්තයට ගිහින් ආපසු ලංකාවට එනකොට එයා ආපු නැවේ තමයි ඩැඩීත්, ආතර් අංකලුත් ඇවිත් තියෙන්නේ. ඒ එන අතරේ චිත්‍රපට කැමරා එහෙමත් එයාල ළඟ තිබිලා තියෙනවා. ඒ එන අතරේ හඳුනා ගත් ඇයි හොඳයිකම තමයි ආදරයකට පෙරළිලා තියෙන්නේ.

* තාත්තා වඩාත් ආදරය කළ ළෙන්ගතු මිතුරෙක් හිටියලු නේද?

ඔව්. තාත්තාගේ හොඳම යාළුවා රිචඩ් බොයිල්. රිචඩ් අංකල් හා තාත්තා අතර තිබුණේ පුදුම මිත්‍රකමක්.

* ඔබට දාමිණි යන නම ලැබුණේ කොහොමද?

ටෝනි විල්සන්, දාමිණි විල්සන්, යස්මින් විල්සන් කුඩා කල
තම මිත්තණිය සමඟ

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධනගේ බිරිය වූ ෂාමෙන් මෙන්ඩිස් මහත්මිය තමයි එදා මම ඉපදුණාට පස්සේ මේ නම දාන්න කියලා යෝජනා කරලා තියෙන්නෙ.

* ඒ කාලේ අම්මාගේ වයස?

අවුරුදු විසි හතයි.

* ගෙදර ඉවුම් පිහුම් කළේ?

ඒ කාලේ ගෙදර හිටියා චීන ජාතික චෙෆ් කෙනෙක්. එයාගේ නම ජෝන් චෑන්. ජෝන්ට හරි රහට උයන්න පුළුවන්. ජෝන් හදන කෑම කන්න ඒ කාලේ මම හරිම කැමැතියි. ජෝන් ගැටවරයෝ චිත්‍රපටයෙත් රඟපෑවා කුක් විදියට.

* ඔබ ඉපදෙන විට පියා සිටියේ කොහේදැයි අසා තිබුණාද?

මම ඉපදුණේ මැකාති රෝහලේ. එදා තාත්තා බොල්ගොඩ ගඟේ තිබුණු බෝට්ටු රේස් වගයකට තරඟ කරමින් ඉඳලා තියෙන්නේ. කොහොම හරි ඩැඩීට මයික් විල්සන්ට දුවෙක් කියලා ආරංචිය ලැබිලා තියෙනවා. තාත්තා ඉහ වහා ගිය සතුටට මුළු තරඟ සියල්ලෙන්ම දිනල මෙඩ්ල් ටිකත් අරන් කෙළින්ම දුවගෙන ඇවිත් තියෙන්නේ මැකාති හොස්පිටල් එකට. ඒ වෙලාවේ අම්මා ඉඳලා තියෙන්නේ නිළි රාජිනියක් වගේ කියලා තාත්තා අම්මාට විහිලු කරපු අවස්ථාත් තිබුණා.

* ඒ කාලේ ඩැඩීගේ ජීවිතය ගෙවුණේ කොහොමද?

මගේ ඩැඩීට සමාජයේ උස් මිටිකම් තිබුණේ නැහැ. ලොකු මිනිහාගේ ඉඳලා පුංචි හිඟන්නා දක්වා අපේ ගෙදර සැලකුවේ සම මට්ටමින්. ගෙදර දිග ලොකු මේසයක් තිබුණා. එන ඕනෑම කෙනෙකුට මේ මේසය ළඟ වාඩි කරලා නිතර සංග්‍රහ කළා. ඒ ප්‍රතිපත්තිය තාත්තා දිගටම රැකගෙන ආවා.

ඉතිරි කොටස ලබන සතියේ...