|
ශ්‍රී මහා බෝධිය ළඟදි ඩග්ලස් රණසිංහ ලැබූ විශ්මය ජනක අත්දැකීමක්
වසර දොළහකට පමණ පසු යළිත් මම ඔහුගේ කැදැල්ල සොයා ගියෙමි. ඒ වන වටත් සුපුරුදු ලෙසම අප පිළිගන්නට පැමිණියේ ඔහුය. 'ඩගී' යන ආදරණීය නාමයෙන් කලා ක්ෂේත්රයේ බොහෝ දෙනා හඳුන්වන ඩග්ලස් රණසිංහ අසලම උන්නේ උස් මහත් වූ දරුවෙකි. මම ඔහු දෙස විමසුම් සහගත බැල්මක් හෙළීමි. මගේ සිත වටහා ගත් බැවින්දෝ ඩගී අයියා ඔහු අසලම උන් පුතුව හඳුන්වා දුන්නේ මා පුදුමයට පත් කරමිනි. 'හරියටම ශ්‍රී බෝධි පුතා මං පුංචි කාලයේ වගේමයි' ඩග්ලස් රණසිංහගේ ඒ වචන පෙළ සමඟ පුතුගේ උවනට නැඟුණේ සිනහවකි. ඒ සිනහව අතරෙන් මගේ සිතට පිවිසියේ ඔහු දුටු පළමු දිනයයි. මුහුණට වැටුණු කැරැළි කොණ්ඩය උස්ව බැඳ තිබිණි. පියවර එක, දෙක තබමින් ඇවිද ගිය මේ කුඩා ළදරුවා එක්වරම බිම ඇද වැටෙන්නේ තවමත් ඔහුට හරිහැටි පා නඟා ඇවිද යන්නට නොහැකි නිසාය. එහෙත් එහි වගේ වගක් ඔහුට නොවේ. වීරිය ගෙන නැඟිටින ශ්‍රී බෝධි ටික දුරක් ගොස් ඇද වැටෙයි. එදා වැටි වැටී නැඟිට්ට කුඩා ළදරුවා අද උස් මහත් වූ දඟකාරයෙකි. 'පුංචි කාලේ වැටි වැටි ඇවිද්ද පුතා ද කියලා හොයා ගන්නවත් බැහැ' ඒ අතීතය සිහිපත් කිරීම නිසාදෝ ශ්‍රී බෝධි පුතුගේ සිතේ ඇති වූයේ කෝල බවකි. එය නොහඟවන්නට මෙන් පුතු තමා අසල උන් අම්මාගේ උරහිස මත හිස හංගා ගත්තේය. ඩග්ලස් රණසිංහගේ දයාබර බිරිය කුමාරි සිය පුතු තුරුළු කර ගත්තේ සොම්නසෙනි. 'මෙයා මෙහෙම හිටියට තාත්තා වගේ රඟපානවා' ඈ පැවසුවේ ශ්‍රී බෝධි පුතුගේ දස්කම් පිළිබඳය. 8 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්න ඔහු පාසල් යන්නේ ඩී. එස්. සේනානායක විද්‍යාලයට ය. 'තාත්තාගෙන් පසුව පුතාත් රංගන ක්ෂේත්රයම තෝරා ගනීවිද?' ඔවුන්ගේ කතාබහ අතරතුර මම විමසීමි. 'ඒක ගැන තවම මට වචනයක් කියන්න බැහැ. ඒ වගේම ඒ සඳහා බල කිරීමක් මම පුතාට කරන්නෙත් නැහැ. නමුත් යමක් තෝරා බේරා ගැනීමට හැකි වයස පැමිණි විටෙක රංගනය පිළිබඳ මම පුතුට කියලා දෙනවා. ඔහුට ගැළපෙන චරිතය තෝරා ගන්න මා උදව් කරනවා. ඒ වනතුරු ඔහු අධ්‍යාපන කටයුතුවල නියැළේවි.' පුතාගේ දක්ෂතා පිළිබඳ හඳුනන ඩග්ලස් රණසිංහගේ අදහස් අසා සිටින ශ්රීබෝධි පුතු පවසන්නේ අපූරු කතාවකි. 'අම්මා නම් කියන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලයි. ඒත් පන්තියේ යහළුවෝ කියන්නේ නළුවෙක් වෙන්න කියලයි' පුතුගේ සිනහ හඬ මුළු නිවෙසෙහිම ලැගුම් ගනියි. 'තාත්තා නම් කියන්නේ දෙන්නම වෙන්න කියලයි' වෛද්‍ය වෘත්තියේ නියැළෙමින් රංගන කටයුතුවල නියැළීමට අද කිසිදු අපහසුවක් නොවේ. එය අපූරු ආදර්ශයක් ද වන්නේය. මේ අතර තිදෙනාටම ලැබෙන විවේකයේ කාලය ඔවුන් යොදවන්නේ ව්‍යායාම කිරීමටය. 'ඉඳලා හිටලා ලැබෙන විවේකය ඇතුළේ නිතරම අපි නුගේගොඩ වැලි පාර්ක් එකේ ව්‍යායාම කරන්නට යන්නේ බොහොම කැමැත්තෙන්.' කුමාරි, තාත්තාටත් පුතාටත් අමතක වූ යමක් මතක් කර දෙන්නීය. සති අන්තයේ නම් එතැන සංගීත කණ්ඩායමක් ඇවිත් ගීත කියනවා. ආපසු නිවෙසට පැමිණෙන්නට පිටත් වෙන්නේ අපි ඒ ගීතවලටත් සවන් දෙමින් මඳ වේලාවක් එතැන රැඳිලයි. ' ඒ කතාබහ අතරතුර ඇගේ ආදර සංග්‍රහ විඳින්නට ද අපට හැකි වෙයි. 'ආහාරපාන සැකසෙන්නේ හැමෝගෙම කැමැත්තටද?' 'ඩග්ලස් කැමැති ගමේ කෑමවලට. විශේෂයෙන්ම පලතුරුවලට, කොළවලට, එළවළුවලට එයා වඩාත් ප්‍රියයි. පුතා කැමැති විවිධ කෑම වර්ග ආහාරයට ගන්නටයි. ඒ අතරින් ක්ෂණික කෑම වර්ගවලට පුතා වඩාත් ප්‍රියයි. ඒත් දැන් අපි ඒ තෙල් සහිත ක්ෂණික කෑම වර්ග පාලනයෙන් යුතුව ගන්නට ඔහුට නීති පනවලයි තියෙන්නේ. ඒ ඔහු තවත් මහත් වුණොත් ඒක හොඳ නැති නිසා' පුතුගේ මෙන්ම සැමියාගේ සෞඛ්‍ය පිළිබඳ වදවන ඇය දවස ආරම්භ කරන්නේ අලුයම පහට පමණය. බොහෝ වෙලාවට උදෑසන රූගත කිරීම්වලට සහභාගි වන සැමියාට ටී එක සාදා දීමෙන් ඇගේ දවස ආරම්භ වෙයි. 'ඩග්ලස් රූගත කිරීම්වලට සහභාගි වුණාට පස්සේ පුතාව පාසලට යවන්න ඕන නිසා උදෙන්ම මම උයනවා. එයා පාසලට ගියාට පස්සෙයි නිවසේ සියලුම අස්පස් කරන කටයුතු ආරම්භ වෙන්නේ. නිවසේ සියලුම කටයුතු කෙරෙන්නේ මගේ අත් දෙකෙන්ම තමයි' 'ශ්රීබෝධිගේ පාසල් වැඩ කටයුතු සොයා බලන්නේ කවුද?' 'වැඩිපුරම ඒකට මහන්සි වෙන්නේ කුමාරියි. ඊට අමතරව මමත් එයාට පාඩම් කියා දෙනවා. පන්තියකට එයාව පිටට යවන්නේ නැතිව ගුරුවරයකු ගෙදරටම එන නිසා කුමාරිට පැවරෙන පුතාගේ වගකීම තරමක් පහසු වෙලා' ඩග්ලස් රණසිංහ සිය බිරියට පැවරුණු වගකීම්වලින් ඇය නිදහස් කරන්නේ එලෙසය. ශ්රීබෝධි පුතු උපදින්නට පෙර ඇය රැකියාවක් කළ ද ඉන් ඈත් වන්නේ පුතු ගැනම සිතාය. ශ්‍රී බෝධි පුතු මේ දෙපළ අතරට පැමිණෙන්නේ අපූරු අයුරෙනි. එමෙන්ම ඔහුට තැබූ නම පිටුපස ද ඇත්තේ අපූරු කතාවකි. 'මොකක් ද ඒ කතාව?' 'මමයි කුමාරි'යි නිතරම වගේ ශ්‍රී මහා බෝධිය වඳින්න කැමැතියි. දවසක් එහෙම වඳින්න ගිය වෙලාවක එතැන සිටිය කපු මහත්තයෙක් අපට විශේෂයෙන් කතා කළා. මොනර පිලකින් හැදුව අවානක් වනමින් ඔහු ලැබෙන්න ඉන්න දරුවාට කියමින් සෙත් පැතුවා. ඒත් සමඟම තවත් මොනවද තිබෙන ප්‍රාර්ථනා කියලා ඔහු ඇසුවා. එතකොට ගෙදර කටයුතු අවසාන කර ගන්නත් අවශ්‍ය යැයි අප කිව්වා. ඒ සියල්ලටම සෙත් පතලා නුල් බැන්දා. එතැනින් ආවට පස්සේ දරුවෙක් ලැබෙන්න ඉන්න එකට බොරුවට සෙත් පතා ගත්තේ ඇයි කියලත් කුමාරි මගෙන් විමසුවා. මොකද ඒ වන විට එහෙම දෙයක් ගැන අපි දැනගෙන සිටියේ නැහැ. ඒත් කොළඹ ඇවිත් අපි වෛද්‍යවරයා හමුවුණාට පස්සෙයි කුමාරිට දරුවෙක් ලැබෙන්න ඉන්න වග දැන ගත්තේ. මේ නිසා ශ්‍රී මහා බෝධිය ළඟදී ඒ ගැන මුලින්ම දැනගත්ත නිසා ශ්රීබෝධි කියලා නම තිබ්බා. ඒ නමට පස්සේ තිබෙන 'ඉන්ද්රඛීල' කියන නම තිබ්බේ ඒ වනතුරුත් සිදුවුණු කිසිම දෙයකට ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී සිටිය නිසාත.් ' 'ශ්රීබෝධි ඉන්ද්රඛීල රණසිංහ' කියන නම පුතාට ලැබුණේ එලෙසිනි. ඩග්ලස් - කුමාරිගේ ජීවිතවල එකම අරමුණ ශ්රීබෝධි පුතුය. ශ්රීබෝධිට සොඳුරු අනාගතයකට පාර කපන්නට ඔවුහු වෙහෙසෙති. ඒ සොඳුරු සෙනෙහසට මැදි වී ශ්රීබෝධි පුතු කල දවස ගෙවන අයුරු අමිත් අයියාගේ කැමරා කාචයට හසු වූයේ සැණෙනි. ඒ සෙනෙහසට සමු දුන් අපි ඔවුන්ගෙන් සමුගතිමු.
|