වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




කුඩාපොල හාමුදුරුවො වාහනයක් පදවලා

කුඩාපොල හාමුදුරුවො වාහනයක් පදවලා

මෙය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කළ ටිරෝන් ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ‘වීර පුරන් අප්පු’ චිත්‍රපටය රූගත කිරීමේදී සිදුවූවකි.

ලොකේෂන් තිබුණේ මහනුවරය.

මෙහි පුරන් අප්පු චරිතය රඟපෑවේ රවීන්ද්‍ර රන්දෙණිය විසිනි. කුඩාපොල හිමියන්ගේ චරිතයට පණ දුන්නේ තිස්ස අබේසේකරයන්ය. එම දර්ශනයේ ගැමියන් ලෙස ජයසේකර අපොන්සු, උදේනි චන්ද්‍රසිරි සහ ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු නළුවෝ පෙනී සිටියහ. ක්ලීටස් මෙන්ඩිස් ගේ ප්‍රථම චිත්‍රපටය එය විය.

එම දර්ශනය මුළුල්ලේම රඟපෑම් කළේ තිස්ස අබේසේකරයන්ය. පරදේසක්කාරයින්ට විරුද්ධව නැඟී සිටිය යුතු උපායන් පිළිබඳ කුඩාපොල හාමුදුරුවො උපදෙස් දීම මෙම දර්ශනයේ දී සිදුවිය.

උදේ සිට රඟපෑමේ යෙදී සිටි තිස්ස අබේසේකරයන් වෙහෙසට පත්වී සිටියේය. රූ ගත කිරීම් අවසන්වන විට පස්වරු හය පමණ විය. ඒ වනවිට තිස්සගේ කාරයේ රියැදුරා පැමිණ නොසිටියේය.

මඳ වේලාවකට පසුව ලෙස්ටර් මහතා ලොකේෂන් එකට පැමිණ තිස්ස ගැන විපරම් කළේය.

“තිස්ස මහත්තයා කාර් එක එලවාගෙන ගෙදර ගියා. ඩ්‍රයිවර් කොහෙද ගිහිල්ලා’ යි කිසිවෙක් කීය.

‘සිවුර පිටින්ම කාර් එක එලවාගෙන ගියා......?’ ලෙස්ටර් මහතා ඇසීය.

‘ඔව්, සර්...’ කවුදෝ කීය.

‘දෙයියෝ සාක්කි... සිවුර පිටින්ම කාර් එක එලවාගෙන ගියා...’ යි ලෙසිටර් මහතා යළිත් ඇසුවේ සියල්ලන්ටම සිනා නැඟෙන පරිදිය.