වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




හැරිසන් ෆෝඩ්ගේ දිවි අනූ නමයෙන් බේරෙයි

හැරිසන් ෆෝඩ්ගේ දිවි අනූ නමයෙන් බේරෙයි

අපේ රටේ, බස්, ත්‍රීවීල්, මෝටර් අනතුරු සාමාන්‍ය ගණයට වැටී ඇත්තේය. කුඩු පට්ටම්වන මෝටර් අනතුරු හිටි ගමන්  CCT කැමරාවලට හසුවී ටෙලිවිෂන් මඟින් පෙන්වනු ලබන විට ඒ අනතුර දැක පුංචි පහේ ජොලියක් විඳින්නට මෙන්ම, එක්සිඩන්ට් එකේ තොරතුරු කියන්නටත් ලැබීම දැන් කාලේ සාමාන්‍ය දෙයකි.

ඒ ආකාරයටම කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති සැන්ටා මොනිකා ගුවන් තොටුපලින් නිතර ගුවන් ගතවන කුඩා ගුවන් යානා උඩින් නොගොස් අසල වූ කඳු ගැටි හෝ ගරාජ හෝ, නිවහන් හෝ වතුපිටිවලට පාත්වීම සාමාන්‍ය කරුණක්ව ඇත්තේය.

සැන්ටා මොනිකා ගුවන් තොටුපළහි 1982 දී සිට මේ දක්වා කාලය ඇතුළත එසේ අසල තිබූ නිවාස හෝ වතුපිටි මතට පත බෑවුණ කුඩා ගුවන් යානා සංඛ්‍යාව 11 කි.

අමෙරිකාවේ ඇති සෙසු ගුවන් තොටුපලවල් හා සසඳද්දී මේ ගුවන් තොටුපලින් ඇත්තේ පැසිෆික් සාගරයේ අසබඩ සැන්ටා මොනිකා වෙරළට කිලෝමීටර් 10 ක් පමණ නුදුරිනි.

මේ ගුවන් තොටුපල උඩ ගිහින් බිම ඇනෙනා ගුවන් යානා සුලබ පුවතක් වුවද පසුගිය බ්‍රහස්පතින්දා එලෙස බිම ඇණගත් යානය පිළිබඳ පුවත ලොව පුරා සැනෙකින් පැතිර ගියේය.

ඒ ගුවන් යානය පැදවූයේ ලොව පුරා අතිශය ජනපි‍්‍රය නළු හැරිසන් ෆෝර්ඩ් වීම නිසාය.

ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ රඟපාමින් අතිශය ජනාදරයට පත් හැරිසන් ෆෝඩ් එම චිත්‍රපට මාලාවේදී නම් ගුවන් යානා හිතු හිතූ විදියට සෙල්ලම් දමා පෙන්වූයේය.

එයටත් වඩා ඔහු අමෙරිකානු ජනාධිපති ලෙස චරිත මැවූ එයාෆෝස් වන් චිත්‍රපටයේදී තවත් වික්‍රමයක් පෑවේය.

එහෙත් මෙදා සැන්ටා මොනිකා ගුවන් තොටුපලේදී හොම්බ බිම ඇණ ගැනීමේ දී ලැබූ අත්දැකීම, ඔහුගේ ජීවිත කාලයට අමතක නොවන්නක් වනු ඇත.

72 හැවිරිදි ෆෝඩ්, ගුවන් යානය අහසට නංවා ටික වේලාවකින්ම එම යානයේ එන්ජිමේ දෝෂයක් ඇති වග වටහා ගත්තේය. එහෙත් කලබල නොවූ ඔහු හෙමින් සීරුවේ අසල වූ පෙන්ටාර් ගොල්ෆ් පිට්ටනියට සිය යානය පාත් කරවා ගැනීමට සමත් විය.

මේ අවස්ථාවේ හැරිසන් ෆෝඩ් සිය කාර්යය ඉතා මැනවින් ඉෂ්ට කරන ලද්දේ පළපුරුදු ගුවන් නියමවෙකුටත් වඩා දක්ෂ අන්දමින් යැයි එය දුටු ගුවන් යානා උපදේශකවරියක් වූ ලීසා ඩෙස්මැකානි පවසයි.

කෙසේ වෙතත් යානයේ ඉදිරි කොටස තැලී විනාශ වී ගිය අතර, යානය බිම වැටීම සමඟ ඇතිවූ කම්පනය නිසා ෆෝඩ් ටික වේලාක් අන්දුන් කුන්දුන්ව ගියේය.

යානය අනතුරට ලක්වන වග වටහා ගත් සැනින් අසල වූ ගෙවල් දොරවල් ද, ගස්වැල් ද මඟ හරිමින් අසල වූ පිට්ටනියට දමා ගත් ෆෝඩ් දුටු, වහා එතැනට දුව ගෙන ආ වෛද්‍යවරයෙකු වන සන්ජේ කුරානා ගෙන් ඔහු විමසා තිබුණේ මං මේ කොහේද යනුවෙනි.

අමෙරිකාවේ ගුවන් යානා පුහුණුවන්නන් අතර අතිශය ජනපි‍්‍රය සැන්ටා මොනිකා ගුවන් තොටුපලේදී සෙස්නා රයන් වැනි කුඩා ගුවන් යානා නිතර අහසට නගින්නකි.

ෆෝඩ් අතින් අනතුරට පත් යානය රිදී හා කහ පැහැ ගත් රයන් – ජී.ටී 22 වර්ගයේ යානයකි.

කෙසේ වෙතත් මේ සිදුවීමත් සමඟ සැන්ටා මොනිකා ගුවන් තොටුපලට අසල්වාසීන්ගේ විරෝධතාවය ගොඩ නැගෙමින් පවතී. ජනාකීර්ණ පෙදෙසක පිහිටි මේ ගුවන් තොටුපලින් නිතර සිදුවන අනතුරු නිසා අසල්වාසීන්ට නිරන්තර මර බියෙන් ජීවත්වන්නට සිදුවීම මේ විරෝධතාවයට හේතුවෙයි.

හැරිසන් ෆෝඩ් මෙයට වසර විස්සකට පමණ පෙරාතුව ලංකාවට පැමිණියේ ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටයේ රූගැන්වීම සඳහාය. ඉන්ඩියානා ජෝන්ස් පුරා විද්‍යාඥයෙකි. ෆෝඩ් එම චරිතයට මුලින් පණ පෙවූයේ 1981 වසරේදීය.

ඒ රේඩර්ස් ඔෆ් ලොස්ට් ආක් චිත්‍රපටයෙනි. ජෝන්ස් ගේ ප්‍රධාන ආයුධය කසයයි. බැරිම තැනකදී ඉණ බැඳි පිස්තෝලය ද ඔහු අතට ගනී.

කව්බෝයිලාගේ සිට එම්.ජී.ආර්. ලා දක්වා සිනමා වීරයන්ගේ සටන් කෑලි ඉන්ඩියානා ජෝන්ස් නිර්මාණයේ දී එහි අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් මෙන්ම, නිෂ්පාදක ජෝර්ජ් ලූකස් විසින් උපයෝගී කොටගත් වග ප්‍රසිද්ධ කරුණකි.

ස්පිල්බර්ග් ලෝක සිනමාවේ ඇවිදින රන් ආකාරය ලෙස විරුදාවලී ලද්දේද, රේඩර්ස් ඔෆ් ලොස්ට් ආක් අතිශය ජනපි‍්‍රය වනවිටය. ෆෝඩ් ඒ චරිතය සඳහා හොඳම නළුවාට හිමි සැටර්න් සම්මානයෙන් පිදුම් ලද්දේය.

එහි දෙවැන්න ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටය පළමුවැන්නටත් වඩා සාර්ථක වූයේය. එහි බහුතරය රූ ගැන්වූයේ ශ්‍රී ලංකාවේය. ඩී.ආර්. නානායක්කාර, දෙනවක හාමිනේ, රූබි ද මැල් ඇතුළු අපේ නළු නිළියන් රාශියක් එයට දායක විණි.

ඉන්දියාවේ ගම්මානයක නැතිවූ පූජනීය ශිව ලිංගයක් සොයා ගිය පුවතක් එයට අඩංගුය. ජෝන්ස් හෙවත් ෆෝර්ඩ්ට, එම නැතිවූ ශිවලිංගය පිළිබඳ විස්තර කරන්නේ ඉන්දියානුවෙකු ලෙස රඟ පෑ ඩී. ආර්. නානායක්කාරය.

2008 වසරේ එළි දුටු එම චිත්‍රපටයේ විසිපස් වැනි සංවත්සර ඩී.වී.ඩී. පිටපතෙහි ස්පිල්බර්ග් ඩී.ආර්. නානායක්කාරගේ විශිෂ්ට රඟපෑම පිළිබඳ ලොකු හැඳින්වීමක් කරනු ලබයි.

ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවට ද ලාස්ට් කෲසේඩ් හා කිංග්ඩම් ඔෆ් ද ක්‍රිස්ටල් ස්කල් නමින් තවත් චිත්‍රපට දෙකක් ද අයත්ය.

හැරිසන් ෆෝර්ඩ් නමින් නිහඬ සිනමා යුගයේද අමෙරිකානු නළුවකු වුයේය. ඔහු මිය යන විට වයස අවුරුදු 73 කි. අපේ කතානායක ෆෝර්ඩ් උපන්නේ 1942 ජූලි 13 දාය. ඔහුගේ පියා ජෝන් විලියම් ෆෝඩ් ද නළුවකු මෙන්ම වෙළෙඳ දැන්වීම් විධායකයෙකි. අම්මා ඩොරති ගුවන්විදුලි ශිල්පිනියක වූවාය. හැරිසන් ෆෝඩ් ද පාසලේ දී ගුවන්විදුලි නිවේදකයකු විය.

එහෙත් ප්‍රධාන ගුවන්විදුලි සේවයකට ඉල්ලුම් පත්‍ර යවද්දී හැරිසන් ගේ හඬ නුසුදුසු යැයි තීරණය කෙරිණි. කෙසේ හෝ කොලොම්බියා පික්චර්ස් සමාගමේ චිත්‍රපටවල සුළු චරිත රඟපෑමෙන් චාන්ස් එකක් ලබා ගන්නට ඔහු 1966 දී සමත් විය.

ඒ සතියකට ඩොලර් 150 ක ගිවිසුමකටය. මුල් කාලයේදී ඔහු රඟපෑ චිත්‍රපට නාමාවලියේ ඔහුගේ නම හෝ සඳහන් නොවීය. දෙවැනුව ඔහුගේ නම යොදා ගන්නේ හැරිසන් ජේ. ෆෝඩ් යනුවෙනි. ජේ අකුරෙන් හැඳින්වෙන කිසිවක් නැතත් නිහඬ යුගයේ සිටි හැරිසන් ෆෝඩ් නිසාවෙන් අපේ හැරිසන්ට ෆෝඩ්ට කලින් ජේ අකුරක් දාගන්නට සිදුවිය.

චිත්‍රපට රඟපෑමට අමතරව දක්ෂ වඩු කාර්මිකයකුවූ ඔහු හොලිවුඩයේ කිහිප දෙනෙකුටම ගෘහ උපකරණ සාදාදීමෙන් නමන් දිනා ගත්තේය.

සුප්‍රකට සිනමාකරු ජෝර්ජ් ලූකස්ට ඇණවුමක් අනුව කැබිනට්ටුවක් සාදාදීම කෙළවර වූයේ ලූකස්ගේ අමෙරිකන් ග්‍රැෆිට් චිත්‍රපයේ රඟපෑමට වරම් ලබා ගැනීමය. ඊළඟට ෆෝඩ් අමුතුවෙන් දාගත් ජේ. අකුරද හලා ගත්තේය.

ලූකස්, ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව තනද්දී එහි හෑන්ස් සෝලෝගේ චරිතය රඟපෑමට වරම් ලැබීම සමඟ හැරිසන් ෆෝර්ඩ් සුපිරි නළුවන් ගොන්නට එක්විය.

කලක් දේශපාලන වශයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයකු ලෙස බිල් ක්ලින්ටන්ට කඩේ ගිය හැරිසන් ෆෝර්ඩ්, දළයි ලාමා අනුගාමිකයකු ද විය.

දෙවරක් විවාහ වී දරුවන් සිව් දෙනකුගේ තාත්තාවූ හැරිසන් ෆෝඩ් බ්‍රහස්පතින්දා මරණයෙන් ගැලවුණේ තුන්වන වතාවටය.

එයට පෙර ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් තනද්දී පිට කොන්දට ද, ස්ටාර් වෝර්ස් අලුත්ම චිත්‍රපටය තනද්දී කකුලට ද තුවාල කරගත් හැරිසන් ෆෝඩ් තුන්වන වරට ගුවන් යානයෙන් කරණම් ගසා හිස පමණක් තුවාල කරගෙන ජීවත් වන්නට වරම් ලබා ගත්තේය.