වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියානු දියණියට ඉන්දියාවෙන් තහනමක්

ඉන්දියානු දියණියට ඉන්දියාවෙන් තහනමක්

බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂිකා ලෙස්ලි උද්වින් අධ්‍යක්ෂණ කළ India’s Daughter  වාර්තා චිත්‍රපටය පසුගිය කාලයේ බොහො දෙනාගේ කතාබහට ලක් වුණා. පසුගිය 08 වැනිදාට යෙදුණු කාන්තා දිනයට තිරගත කිරීමට නියමිත වුණත් එය ඉන්දියාවේ තහනමට ලක් වූ චිත්‍රපට ගොන්නට ඇතුළත් වූ චිත්‍රපටයක් බවට පත් වුණා.

කෙසේ නමුත් බීබීසී වාර්තා ගෙන එන්නේ India’s Daughter  චිත්‍රපටය පසුගිය 04 වැනි බදාදා රාත්‍රියේදී විකාශනය කළ බවයි. ලක්ෂ 3ට අධික පිරිසක් එය නරඹා තිබූ අතර බ්‍රහස්පතින්දා වනවිට Youtube ඇතුළු වෙබ් අඩවි රැසකටද එය ඇතුළත් කර තිබුණා. අන්තර්ජාලයේ එම වීඩියෝ දර්ශන පවා ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන අවසන්.

2012 වසරේදී බස් රථයක් තුළ දූෂණයට ලක් වූ විසිතුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක වූ ජ්‍යෝති සිංග් පිළිබඳ කතා පුවත India’s Daughter හි ඇතුළත් වෙනවා. නමුත් මේ තහනම ගැන නම් බොහෝ පිරිස් සතුටු නොවන බවයි ආරංචි වෙන්නේ.

තරුණ ප්‍රජාව ඇතුළුව බොහෝ ආයතන සහ එරට ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකා පවා මෙම තහනමට විරුද්ධව හඬ නඟනවා. මෙම දූෂණයට සම්බන්ධ වූ මුඛේෂ් සිංග් සමග උද්වින් කළ සාකච්ඡාවක් මාධ්‍යයේ ප්‍රසිද්ධවීම එයට වැඩි බලපෑමක් එල්ල කරන්නට හේතු වෙලා.

ඡ්‍යොති සිංග් තම පෙම්වතා සමගින් සිනමාපටයක් නරඹා නිවෙස වෙත පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් අතර ඉන්දීයාවේදී සහ සිංගප්පූරුවේදි ශල්‍යකර්ම කිහිපයකට මුහුණදීමෙන් පසු ජීවිතයෙන් සමුගත්තාය.

මේ සම්බන්ධයෙන් 17 වියැති තරුණයෙක් ඇතුළුව හය දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. එයින් එක් අයෙක් සිර මැදිරිය තුළදී සියදිවි නසා ගත් අතර සිව්දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි. 17 හැවිරිදි තරුණයා හට තෙවසරක සිර දඬුවම් නියම වූ අතර මේ වසරේ දෙසැම්බර් ඔහු නිදහස ලැබීමට නිමිතය.

India’s Daughter  අධ්‍යක්ෂිකා ලෙස්ලි උද්වින් ඊශ්‍රායලයේ උපත ලබා වර්තමානයේ ලන්ඩනයේ ජීවත් වන්නීය. රංගන ශිල්පිනියක ලෙසින් ඇය The Merahant of Venice (1980) , Flucht Ohne Ende (1985) , Forgotten Prisoners : The Amnesty Files (1990) චිත්‍රපට සඳහා දායක වී ඇති අතර India’s Daughter  ඇතුළුව East is East, West is West සහ Mrs Ratcliffe’s Revolution චිත්‍රපට නිෂ්පාදනය කළාය.

ඉන්දියාවේ වාරණයට ලක් වූ පළමු චිත්‍රපටය වගේම දිල්ලි දූෂණ කණ්ඩායම් ගැන නිර්මාණය වූ ප්‍රථම චිත්‍රපටයත් India’s Daughter  නොවේ. මීට පෙරත් එවැනි සිදුවීම් ඇසුරින් නිමැවුණු Tara – The Journey of Love and Fassion, Damini – The Victim, Agki Freedom වැනි චිත්‍රපට තහනමට ලක් නොවී තිරගත කෙරුණා. කෙසේ හෝ India’s Daughter  වාර්තා චිත්‍රපටය ලද තහනම ගැන නම් බොහෝ දෙනා සිටින්නේ කනගාටුවෙන්.