වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




පරාක්‍රම වෙනස්, මනෝරත්න එයට වෙනස්, හඳගම එයටත් වඩා වෙනස්

පරාක්‍රම වෙනස්, මනෝරත්න එයට වෙනස්, හඳගම එයටත් වඩා වෙනස්

අජිත් ලොකුගේ 'එකැස් වීරයා' සමඟ කරළියට

මෙතෙක් අජිත් ලොකුගේ ඔබ හමුවට පැමිණියේ රංගන ශිල්පියෙකු මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසිනි. කුමන හේතුවක් මත වුව ද වේදිකාව අතහැර නොගිය ඔහු මේ සැරැසෙන්නේ සිය කලා ජීවිතයේ අලුත් පියවරක් තබන්නටය. ඒ වේදිකාවේ නැවුම් භූමිකාවකට මුල පුරමිනි. මේ අලුත් පියවර පිළිබඳ ඔහු 'සරසවිය'ට මෙසේ සඳහනක යෙදුණේය.

ඔබ පා තබන්නට යන නැවුම්ම භූමිකාව කුමක්ද?

වේදිකාවෙන් ඇරැඹුණු මගේ කලා ක්ෂේත්‍රයේ ගමනට අවුරුදු තිස්තුනක්. මේ වන විට මා වේදිකා නාට්‍ය බොහෝ ගණනක රඟපාලා තිබෙනවා. ඒවා ඇගයීමට ලක්වුණු මෙරට පිළිගැනීමට ලක්වුණු ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ වේදිකා නාට්‍යය. මේ පැමිණි ගමනේ දී දීර්ඝකාලීනව මගේ සිතේ තිබුණු දෙයක් තමයි වේදිකා නාට්‍යයක් කරන්න ඕනෑය කියන උවමනාව. නමුත් ඒකට මට ඒතරම්ම හදිස්සියක් තිබුණෙත් නැහැ. ඒ වගේම ඒ නාට්‍යය මිනිස්සුන්ට විඳින්න පුළුවන් දැනෙන නාට්‍යයක් වගේම ස්වතන්ත්‍රයක් විය යුතුය කියන මතයේ මා ආරම්භයේ පටන්ම සිටියා. මේ සඳහා අවශ්‍ය පිටපත් සොය සොයා ඉන්න අතරේ මට කේ. බී. හේරත් මහත්තයාගෙන් පිටපතක් ලැබුණා. ඒ නාට්‍යයේ මංගල දර්ශනයයි මේ මාසයේ 18, 19 වැනි දිනවලදී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගත කරන්නේ. මේ වේදිකා නාට්‍යය නම් කරලා තිබෙන්නේ 'එකැස් වීරයා' නමින්.

පරිවර්තන නාට්‍ය වේදිකාවට නැඟෙන යුගයක ඔබ ස්වතන්ත්‍ර පිටපතක්ම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

ස්වතන්ත්‍ර පිටපත් රචනා නොකරන කාලයක එවැනි පිටපතකට මූලිකත්වය ලබා දෙන්නට මා සිතුවා. ඒ අපේම කියලා නාට්‍ය කලාවක් ගොඩ නැංවීම සඳහායි. ඉන් අදහස් කරන්නේ පරිවර්තන නාට්‍ය කරන එක වැරැදියි කියලා නොවෙයි. මගේ මතය වන්නේ ස්වතන්ත්‍ර නාට්‍ය කරන අය අඩු බවයි. ඒවා ලියන අයත් අඩුයි. අනෙක් කාරණය නම් ස්වතන්ත්‍ර නාට්‍යයක් නිෂ්පාදනය කරන්න පහසු නොවීමයි. ඒ අපහසු කාර්යයේ නිරතවීමට මම කැමැතියි. එවිටයි ඒ නිර්මාණය අපේ නාට්‍යයක් වන්නේ. විශේෂයෙන්ම මගේ ආත්ම තෘප්තිය, උවමනාව මගේ සතුට වෙනුවෙනුයි මේ නාට්‍ය වේදිකාවට නැගෙන්නේ.

කවුද මේ 'එකැස් වීරයා'?

බොහෝ දෙනා යමක් දෙස බලන්නේ ඔවුන්ට ආවේණික වූ කෝණයකින් විය හැකියි. උදාහරණයක් විදියට සෞන්දර්ය හා තාක්ෂණය ගන්න. සමහරු කියන්න පුළුවන් තාක්ෂණය තමයි ලෝකයේ නිවැරැදිම දේ කියලා. එහෙත් සමහරු කියාවි නැහැ සෞන්දර්යයි නිවැරැදිම දේ කියලා. තවත් කෙනෙකුට වෙනත් අදහසක් ප්‍රකාශ කරන්නත් හැකියි. මා පවසන්නේ මේ සියලු අදහස් එකතු විය යුතු බවයි. එවිටයි පරිපූර්ණ අදහසක් නිර්මාණය වන්නේ. එවිටයි පරිපූර්ණ මිනිසෙකු බිහි වන්නේ. ඕනෑම දෙයක් පිළිබඳ එක ඇහැකින් බලන්න එපා කියලයි අප මේ පවසන්නේ. එක අන්තයකට යන්න එපා කියලයි අප මේ පවසන්නේ. එහෙම නොකිරීමෙන් අප නොදකින තවත් බොහෝ දේ දැකිය හැකි වේවි. ඒ ඔස්සේ අප මේ නිර්මාණයෙන් කතා කරන්නේ මිනිස්සු පිළිබඳයි. මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ ඇයි? ඒ මිනිස්සුන්ට ඒකෙන් වෙන ප්‍රතිඵලය මේකයි කියලා අප 'එකැස් වීරයා' මඟින් කතා කරනවා.

'එකැස් වීරයා' වේදිකා නාට්‍යයේ පිටපත් රචකයා කේ. බී. හේරත් නාට්‍යකරුවායි. ඔහුව පිටපත් රචනය සඳහා තෝරා ගැනීමට තීරණය කළේ ඇයි?

කේ. බී. කියන්නේ අද ලංකාවේ ඉන්න විශිෂ්ටතම පිටපත් රචකයෙක්. නාට්‍ය නිෂ්පාදකයෙක්. මම ඔහුට කිව්වේ මට අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ට දැනෙන, විඳින්න පුළුවන් නාට්‍යයක් කරන්න උවමනා බවයි. එතුමා ඒ කාරණය ඒ ආකාරයෙන්ම තේරුම් අරගෙන මට නාට්‍යයක් ලියලා දුන්නා. ඊට පෙර ඔහු ඒ ලියූ නිර්මාණය පිළිබඳ මට පුංචි සඳහනක යෙදුණා. ඒ කොහොම වුණත් ඒ සඳහන් කළ දේ මට දැනුණේ කොතරම් ද ඊට වඩා බරසාර විදියට ඒ කටයුත්ත ඔහු අවසාන කරනවා කියන විශ්වාසයේ මා සිටියා. ඒ විශ්වාසය ඵල දැරුවා. බරසාර පිටපතක් මට ලැබුණා. ඊට හානියක් නොකර සාධාරණයක් ඉෂ්ට කිරීමයි මා මේ නිර්මාණය වේදිකා ගත කිරීමෙන් කරන්නේ.

පිටපතට සාධාරණය ඉටු කිරීමට ඔබ තෝරා ගත් පිරිස පිළිබඳත් කියමුද?

රත්නා ලාලනී ජයකොඩි, සම්පත් තෙන්නකෝන්, වසන්ත විට්ටච්චි, සුදර්ශන බණ්ඩාර, කැලුම් ගම්ලත් කියන ශිල්පීන් හා ශිල්පිනියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. සංගීතය නිර්මාණය මා බාර දුන්නේ රෝහණ වීරසිංහටයි. අංග රචනය කරන්නේ සමරසිරි කඳනගේ කියන අපේ සමකාලීන මිත්‍රයා. පසුතල නිර්මාණය කරන්නේ ජගත් පද්මසිරි. නිෂ්පාදනයෙන් මට සහාය වෙන්නේ ලක්මාල් ගුණවර්ධන. සංවිධාන කටයුතු කරන්නේ මංගල ප්‍රනාන්දු. මෙවැනි එකමුතුවකින් තමයි නාට්‍යය වේදිකා ගත වන්නේ.

වර්තමානයේ නිර්මාණවලට නිර්මාණකරුවන් තෝරා ගනු ලබන්නේ හිතවත්කම පදනම් කරගෙනයි. එමෙන්ම ඒ තෝරා ගැනීමේදී ජනප්‍රිය නළු නිළි පිරිසක් තෝරා ගැනීමට ද නිර්මාණකරු උත්සාහ ගැනීම රැල්ලක් ලෙස නිර්මාණය වෙමින් යනවා. ඔබත් ඒ පැවසූ කාරණාවලට එකඟ වෙමින් ද මේ නාට්‍යය නිර්මාණය කළේ?

මා පවසන්නේ නාට්‍යයක මතු විය යුත්තේ නාට්‍යය මිසක් නළු නිළියන් නොවෙන බවයි. නිර්මාණයකට ශිල්පීන්, ශිල්පිනියන් තෝරා ගැනීමේදී මා ඔබ ඔය කියන කාරණා නොවෙයි සැලකිල්ලට ගන්නේ. මුලින්ම මගේ නිර්මාණය අධ්‍යයනය කළාට පස්සේ ඒ චරිතයට සුදුසුයි කියලා දැනෙන අය ඉන්නවා. ඒ අයයි මගේ නිර්මාණයට තෝරා ගන්නේ. ඊට පස්සේ මා බලන්නේ ඒ සුදුසුකම් තිබෙන පුද්ගලයාට කණ්ඩායමක් සමඟ වැඩ කළ හැකි ද කියා. ඔහුට විනයක් තිබෙනවාද කියා. අපි නාට්‍යයක් අරගෙන දුර පළාත්වලටයි යන්නේ. එවිට නාට්‍යයේ ගෞරවය, නාට්‍ය ශිල්පීන්, ශිල්පිනියන්ගේ ගෞරවය, නාට්‍ය කලාවේ ගෞරවය ඒ පුද්ගලයාට ආරක්ෂා කරන්නට හැකි විය යුතුයි.

විශේෂයෙන්ම නාට්‍ය පුහුණුවීම්වලට නියමිත වෙලාට පැමිණිය හැකි විය යුතුයි. සමහර විට දක්ෂ නළුවෝ ඉන්න පුළුවන්. එහෙත් ඔවුන් සමඟ වැඩ කරන්න බැහැ. ඒ ඔවුන්ගේ දක්ෂතාව මා අගය කරනවා. නමුත් නිර්මාණයකට එවැනි අය තෝරා ගැනීමේදී කිහිප වරක්ම සිතා බලන්නට සිදු වෙනවා. 'එකැස් වීරයා' නාට්‍යයට තෝරා ගත් නළු නිළියන් වුණත් ඒ ඒ චරිතවලට සියයට හැත්තෑ පහකටත් වඩා සුදුසු නිසයි මා ඔවුන්ව තෝරා ගත්තේ. ඔවුන් සමඟ මගේ දීර්ඝකාලීන හිතවත්කමක් තිබෙන බව ඇත්තයි. නමුත් ඒ හිතවත්කම චරිතවලට තෝරා ගැනීමට බලපෑම් කළේ නැහැ කියලත් කියන්න ඕනෑ. තෝරා ගත් ඔවුන් කවුරු වුණත් මා කලින් සඳහන් කළ ගුණාංගවලින් සමන්විත වුණා. අනිත් කාරණය නාට්‍යයක් කියන්නේ සාමුහික ප්‍රයත්නයක්.

වසර තිස් තුනක් ඔස්සේ වේදිකාවට දායක වූ ඔබට 'එකැස් වීරයා' අධ්‍යක්ෂණය කිරීමේදී ප්‍රවීණ නාට්‍යකරුවන් ආශ්‍රයෙන් ලැබූ අත්දැකීම හේතු වුණාද?

වේදිකා නාට්‍ය ඔස්සේ මා ලැබූ අත්දැකීම් වේදිකා නාට්‍යයක් කරන්නට විතරක් නොවෙයි, මගේ ජීවිතයටත් බලපෑම් කළා. නාට්‍යය බස් එකේ ලබන අත්දැකීමම අපූරුයි. ඒ නිසා මට ලංකාවේ ප්‍රවීණ නාට්‍යකරුවන් වුණු පරාක්‍රම නිරිඇල්ල, කේ. බී. හේරත්, ජයලත් මනෝරත්න, ඩග්ලස් සිරිවර්ධන, බන්දුල විතානගේ, ජනක් ප්‍රේමලාල්, කපිල කුමාර කාලිංග වගේ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට දායකවීමට තරම් පිනක් තිබුණා. ඒ වගේම සමකාලීනයන් විදියට රංගන ගමන ආරම්භ කළ උදේනි අල්විස්, ප්‍රසාද් සූරියආරච්චි, ජයලාල් රෝහණ, රොජර් සෙනවිරත්න වැනි අයගේ නිර්මාණවලටත් දායක වන්නට මට හැකි වුණා.

ඔවුන් කොහොමද නාට්‍යයක් කරන්නේ, නළු නිළියන් හසුරුවන්නේ කියලා අපි දැක්කා. ඒ දේවල් වින්ඳා. එතැනදි පරාක්‍රමට වඩා හාත්පසින්ම වෙනස් මනෝරත්න ඒ කාර්යය කරන හැටි. ඔවුන්ට හාත්පසින්ම වෙනස් හඳගම ඒ කාර්යය කරන හැටි. ඊටත් වඩා හාත්පසින්ම වෙනස් ඩග්ලස් සිරිවර්ධන ඒ කාර්යය කරන හැටි. ඒ ඔස්සේ යම් යම් දේවල් මම ඉගෙන ගත්තා. ඒ මඟින් මටම ආවේණික ශෛලියක් ගොඩනඟා ගත්තා. පිටපත ඉල්ලන දේ සමඟ මා ගොඩනඟා ගත් ශෛලිය ඔස්සේයි 'එකැස් වීරයා' නිර්මාණය වුණේ.

මේ නාට්‍යය ප්‍රේක්ෂකයා අතරට රැගෙන යන ගමනේදී සංවිධායකවරුන් සොයා ගැනීමේ ගැටලුවක් ඔබට පැන නැඟුණාද?

අද මතු වී තිබෙන බරපතළම කාරණය වන්නේ නාට්‍යයක් කොහොමද ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන්නේ කියන ගැටලුවයි. මම විශ්වාස කරනවා පේ‍්‍රක්ෂකයා බුද්ධිමත් කියලා. හැබැයි අර්බුදය වන්නේ හොඳ නාට්‍යයක් හොඳ විදියට පෙන්වන්න පුළුවන් වපසරියක්, පරිසරයක් නොතිබීමයි. රටේ තිබෙන තත්ත්වය ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. උදාහරණයක් විදියට අපි බදුල්ලට යනවා කියලා හිතන්න නාට්‍යයක් පෙන්වන්න. බස් ගාස්තු අධිකයි. සංවිධායක කියන විදියට ගියාය කියමුකෝ. අර පරණ රඟහලමයි ඒකේ තිබෙන කබල් පුටු ටිකමයි තවමත් තියෙන්නේ. වැසිකිලියේ දුර්ගන්ධය ප්‍රේක්ෂකාගාරයට තවමත් එනවා. අද මිනිස්සු කැමැති නැහැ ඒ විදියට නාට්‍යයක් නරඹන්න. මේ යටිතල පහසුකම් වෙනස් වෙන්න ඕනෑ.

හැබැයි ඔය කාරණා දිගු කාලයක ඉඳලා කතා කරන ප්‍රශ්න පමණක් බවට පත් වෙලා?

ඊට හේතුව වන්නේ වේදිකා නාට්‍ය කියන කලාව උසස් තලයකට ගේන්න කිසිම රාජ්‍ය තන්ත්‍රයකට උවමනාවක් නොමැතිවීමයි. මේතාක් දුරට වේදිකා නාට්‍ය කරගෙන ගියේ වේදිකා නාට්‍යකරුවන්ගේ තිබෙන දුක් මහන්සියෙන් හා උනන්දුවෙන්. කැපවීමෙන්. ඒ වගේම මේ කලාව ඔස්සේ සමාජයක් ඉහළම තලයට රැගෙන ආ හැකියි. එහෙම කළ හැකි වුණත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් තිබුණු කිසිම රජයන්වලින් ලැබිලා නැහැ. යම් යම් අවස්ථාවලදී මමත් ඔය රජයන්ට සම්බන්ධ වෙලා ඉඳලා තිබෙනවා. එතැනදි මමත් ඕනෑතරම් ඉල්ලීම් කළා. එහෙත් අපි කරන ඉල්ලීම් ඔවුන් පිළිගන්නේ නැහැ. ඒ ඉල්ලීම්වල වැදගත්කමක් ඔවුන්ට ඇත්තෙත් නැහැ. ඒ ස්ථානවල ඉන්න නිලධාරීන්ට ඒවා ක්‍රියාත්මක කරන්නවත් ඕනෑකමක් නැහැ.

අඩුම ගණනේ සංස්කෘතික අමාත්‍යාංශයට ඒ ගැන ක්‍රියා කරන්න ඕනෑකමකුත් නැහැ. මේ නිසා සුපුරුදු විදියටම වේදිකා නාට්‍ය කලාව ගලාගෙන යනවා. නමුත් ඒ ආයතනවල ඉහළ පුටුවල ඉන්නවා නම් වැඩ කරන, යමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඔය ප්‍රශ්න අද වන විට ඉතිරි වෙන්නේ නැහැ. ඒවා විසඳේවි. නමුත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ.ඒ ගැන සිතන විට සිතට දැනෙන්නේ කණගාටුවක්. තව කතා කරන්න බොහෝ දේ තිබුණත් අවසාන වශයෙන් මම ප්‍රේක්ෂකයන්ට 'එකැස් වීරයා' නරඹන්න ලයනල් වෙන්ඩ්ට් රඟහලට එන්න කියලා ආරාධනා කරනවා. ඒ අතරම විවිධ පළාත්වල තිබෙන නාට්‍ය සංවිධානය කරන ආයතනවලට මා ආරාධනා කරන්නේ මේ නාට්‍ය ඒ ඒ තැන්වල වේදිකාගත කරන්න කියලයි.