වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




අබිරහස් මරණයක සැඟවුණු කතා පුවත රැගෙන ‘ස්පන්දන’ රිදී තිරයට

අබිරහස් මරණයක සැඟවුණු කතා පුවත රැගෙන ‘ස්පන්දන’ රිදී තිරයට

නිල්වන් අහස් වියන යට සීතලේ පිපුණු ආදරයේ රෝසමල් කතාව
අධ්‍යක්ෂණය සුනෙත් මාලිංග ලොකුහේවා

අක්කර ගණනක් විහිද ගිය වතුයාය ආසන්නයේ පෙනෙන තෙක් මානයක කිසිවෙක් හෝ නොවේ. කිසිදු නිවෙසක් හෝ නොවේ. එනමුදු මුළු පරිසරයේම ගැබ්ව පවතින සොඳුරු බව කාගේ වුව ද සිත පැහැර ගන්නේ එක්වරමය. එක් පැත්තකින් ඈතින් නැඟී විහිද යන්නේ නිල්වන් පැහැති කඳු පන්තියකි. එය වරෙක දිස් වන්නේ අහස් වියනේම කොටසක් ලෙසිනි.

තැනින් තැන රැඳී ඇති මිහිදුම් කුමරියගේ සළුව මවා පාන්නේ අපූරු රටාවකි. පාර දෙපස විහිද ඇති ලඳු කැලෑව මත්තෙන් එබී බලන නොයෙක් සුන්දර මල් කිනිති සියල්ල නෙළා ගන්නට ඇත්නම් යැයි මයුමිට සිතුණේ ඉබේමය.

කඳු පෙළ අතරෙන් එබී බලන හිරුගේ රශ්මිය ගතට රැගෙන එන්නේ අපූරු සිසිලකි.

පරිසරය වසාගත් සීතල හිරු රශ්මියට බියෙන් මෙන් පලා යමින් සිටියි. මේ සොඳුරු පරිසරයේ උන් මයුමිගේ සිතට පහළ වන්නට වූයේ අපූරු සිතුවිලි රැසකි.

ඒ සිතුවිලි අතර ගිලී උන් යුවතිය කහ පැහැති රෝස මලක් අසල නතර වූවාය. වියළී නොගිය පිණිබිඳු තැනින් තැන දරා සිටින මේ රෝස මල සුළඟට සෙල වෙන්නේ මයුමිට තමා ළඟට පැමිණෙන්න යැයි කරන ආරාධනයක් ලෙස ය.

ඒ ආරාධනාව පිළිගත් ලෙසින් ඕ තම සුන්දර උවන රෝස මල ළඟට කිට්ටු කළාය.

 සැනෙන් රෝස මල සිපගත් ඇය සිටියේ පරිසරයේ අවට වූ සුන්දරත්වයෙන් වශිකෘතවය.

'නැන්දා බණ්ඩරවෙල වත්තටම වෙලා ඉන්න ඇත්තේ මොකද කියලා මට දැන් තමයි තේරෙන්නේ?'

මයුමි පැවසුවේ තමාටමය.

'මේ වගේ සුන්දර පරිසරයක් දාලා යන්න කවුද අකැමැති?'

සිය නැන්දණියගේ මතකය හදවතට පිවිසෙත්ම සිහින් රිදුමකින් සිත සසල වූ බව සත්‍යයකි. නැන්දණියගේ සුන්දර උවන ඇගේ සිතේ ඇඳිණි. ඈ තමාට කොපමණ ආදරය කළාදැයි සිහිපත් වන විට හදවතේ කොණක ඉපැදුණු ශෝකීබව මුළු සිරුරේම විහිද ගියේ විගසිනි. ඇයට හිටි අඩියේම වූයේ කුමක්දැයි ඇය කල්පනා කළාය.

මයුමි සිය නැන්දා විසූ බණ්ඩාරවෙල වත්තට පැමිණියේ ද බලාපොරොත්තු රැසක් පෙරැළි කරද්දීය.

ඇය ජීවත්ව සිටින කාලයේ වූ මතක සටහන්වලට මේ පරිසරය අපූරු උදාහරණයක් නොවන්නේද? නැන්දණිය ජීවත්ව සිටි බංගලාව දෙස ඇය හැරී බැලුවාය.

මයුමිට මිදුලේ සක්මන් කරන ඇගේ රුව නෙත ගැටුණේ එවිටය. පුදුමයට පත් වූ ඕ යළිත් දෙනෙත් පිසදා මිදුල දෙසට නෙත් හෙළුවේ තම දෙනෙත් බොරු කරන්නේදැයි සිතමිනි. එවිට ඇගේ නෙත ගැටුණේ සිතුම්ගේ රුවයි.

'මයුමි . . . මයුමි . . .'

කොර ගසමින් මිදුලේ එහා මෙහා යන සිතුම්ට පිළිතුරු බැඳීමට ඇය නොගියාය. එසැනින්ම හමා ආ මද සුළඟේ නැන්දණියගේ සුවඳ මුසු වී ඇතැයි මයුමිට දැනිණි. ඈ උන් තැනින් නැඟිට්ටේ ඇයව සොයන සිතුම්ව තවත් වෙහෙස නෙකරනු පිණිසය.

අචිනි සහ ශාක්‍යා යහන මත උන්නේ යෙහෙළියගේ නැන්දණිය පිළිබඳ කතාබහක ය. කොළොම්පුරවරයේ දී පටන් මෙහි පැමිණෙන තුරු විහඟ අතොරක් නැතිව කියැ වූ හොල්මන් කතා නිසා ඔවුන්ගේ සිත්වල ඇතිවුණු බිය තවමත් පහව ගොස් නොතිබුණි.

'ඔය ගෙයි නැන්දා හොල්මන් කරනවා'

විහඟගේ විහිළු ස්වරය ඔවුන්ට යළිත් ඇසෙන්නා සේය. ඒ සිතුවිල්ල හදවත පත්ලටම කිඳා බැස ඇති නිසා අවට පරිසරයෙන් ඇසෙන ශබ්ද ඔවුන් බියට පත් කළේ නොසිතුවිරූ ලෙසිනි. වත්ත බලා ගැනීමට සිටිය දර්ශන් ද මේ බංගලාවේ වසන භූතාත්මයක් බඳු යැයි අචිනිට සිතිණි.

අචිනි සිතේ පහළ වූ බිය දුරු කරනු වස් ගීතයක පද කිහිපයක් මිමිනුවාය. ඒ අතර ඔවුන්ට ඇසුණේ දොර අසල කුමක් දෝ වැටෙන ශබ්දයකි.

'දෙයියනේ, අරගොල්ලො කිව්වේ ඇත්ත තමයි'

අචිනි, ශාක්‍යාට ඇඟිල්ලෙන් ඇණ පෙන් වූයේ දොර දෙසට අත දිගු කරමිනි. දෙදෙනාම කොතරම් බියට පත් වූයේද යත් මද වේලාවක් කතා කර ගත නොහැකිව නිශ්ශබ්ද වූහ.

බුදු අම්මෝ . . .' දෙදෙනාම කෑගැසුවේ මුළු බංගලාවටම ඇසෙන තරමේ හඬෙනි. තම හදවත ගැහෙන වේගය අචිනිට ඇසෙන තරම්ය. දොර අබියසට ගිය දෙදෙනාට දැකීමට ලැබුණේ විහඟය.

'හොඳටම බය වුණා නේද?'

ඔවුන්ගේ අතටම අසු වූ බැවින් විහඟ තෙපලූයේ ගණනකට නොගෙනය. ඒ වන විටත් අනෙක් කිහිප දෙනාත්, මිතුරියන් දෙදෙනා සිටි කාමරයට පිවිසියේ කුමක් වී ඇත්දැයි සොයා බලන්නට ය. අචිනි සිටියේ විහඟට බණිමිනි. අනෙක් අය දුටු සැනෙන් ඇගේ බැණුම වැඩි වූවා මිස අඩු වූයේ නැත.

විහඟ ඔවුන්ගෙන් ඈත් වී යන්නේ මේ අතරය. අමනාපයක් පෙන් වූ ඔහු මේ සුන්දර පරිසරයේ සුන්දරත්වය නරඹනු පිණිස පිටත්ව ගියේ කිසිවෙකුටත් නොපවසමිනි.

වත්තේ එක් තැනක ඇති දිය ඇල්ලක සිරිගත් දිය පහර මේ පරිසරයට අපූරු සුන්දරත්වයක් රැගෙන එන බව නොරහසකි. විහඟ බලා සිටියේ දිය පහර ගලන ලතාව දෙසය. වරෙක පෙණ පිඩු නංවමින් ගලන දිය පහරට නුවන් යොමු කළ කල ඇසෙන්නේ ගීතයක මුනුමුනුවයි.

අවට වූ කළුවර එන්න එන්නම දැඩි වන බවක් පෙනෙයි. විහඟ එතැනින් නැඟිට්ටේ බංගලාවට යෑම සඳහාය. ඔහු එහි තිබූ අඩි පාර දිගේ මද දුරක් පැමිණියා පමණි. තමුන් පසුපසින් කවරකු හෝ පැමිණිය වගක් විහඟට හැඟිණි. ඔහු පිටුපස හැරී බැලුව ද කිසිවෙකුත් එහි නොවිණි.

එහෙත් නොපෙනෙන කිසිවකු හෝ තමා පසුපස ගමන් ගන්නා බව දැනුණු බැවින් ඔහු දුවන්නට විය. පසු පසෙන් පැමිණි ඒ නොපෙනෙන කවුරු හෝ ඔහුව පන්නන්නට වූයේය. කිසිවක් සිතා ගත නොහැකි වූ විහඟ එක්වරම ඇදගෙන වැටුණේ දිය වළකට ය.

නාන කාමරයේ උන් මයුමි එහි වූ දර්පණය අසලට ළං වූයේ සිය උවන පැහැදිලි ලෙසම දැකගනු රිසියෙනි. එක් වරම ඇයට පිටුපසෙන් පෙනුණු ප්‍රතිබිම්බය නිසා ඇති වූයේ බියකි.

'නැන්දා'

ඇගේ මුවඟෙන් පිට වූයේ ඒ වචනය පමණි. නැන්දණියගේ යක්ෂාවේෂ වූ රුව දෙසම මයුමි බලා සිටියාය.

'මම මැරුණේ නෑ. මාව මැරුවා'

යක්ෂාවේෂ වූ රුව තවත් මොනවාදෝ කියා නොපෙනී ගියාය. පියවි සිහියට පත් මයුමිගේ දෙසවනේ රැව් දුන්නේ නැන්දණියගේ ස්වරයයි. ඇය නාන කාමරයෙන් එළියට පිවිසියේ ඉක්මන් ගමනෙනි.

බංගලාවෙන් පිටව යා යුතු යැයි ඇය තීරණයකට එළැඹියාය. එහෙත් ඇගේ දර්ශනයට වරින් වර ලක්වන ගෙල වැළලා මිය ගිය නැන්දණියගේ රුව එක්වරම කතා කරන්නේ මයුමි බියට පත් කරමිනි. විහඟ ද අතුරුදන් ය.

ඔවුන් පැමිණි රථය හා කැලුම් අතුරුදන් වූයේ නොසිතූ ලෙසය. මයුමි පත් වූයේ දැඩි ආරවුලකටය. කුමක් කළ යුතු ද යන්නට ඇය විසඳුම් සෙව්වාය. අතරමඟ දුටු දේවාලයේ මහේන්ද්‍ර සාමි මුණ ගැසීමට යන මයුමි සහ යෙහෙළියන්ට අසන්නට ලැබෙන්නේ භයානක පුවතකි.

'පියුමිගේ ආත්මය ඊළඟට තවත් කෙනෙක් බිල්ලට ගන්නවා'

මයුමිගේ නැන්දණිය වූ පියුමිගේ ආත්මයට ඊළඟට බිලි වන්නේ කවුද? විහඟ, කැලුම්ට සිදු වූයේ ආත්මයේ ගොදුරක් වීද? පියුමිගේ අබිරහස කෙසේ කෙළවර වෙයිද?

පැන නඟින ගැටලු රැසකට පිළිතුරු ලබා ගැනීමට මේ මස 18 වැනිදා තිරගතවීමට නියමිත සුනෙත් මාලිංග ලොකුහේවාගේ 'ස්පන්දන' චිත්‍රපටය නරඹන්න.