වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිනක්‍ෂි සී. අයි. ඩී. එකට

ඩිනක්‍ෂි සී. අයි. ඩී. එකට

ඒක බොරුවක්, මම ගෙදර. මම බොරුනම් සී. අයි. ඩී. එකට කතාකරලා බලාගන්න මම කාටවත් වරදක් කරලා නැහැ

* ඩිනක්‍ෂි, ඔයා හොඳින්ද?

අනිවාර්යයෙන්ම හොඳින්. මේ දැනුත් මං මේ ෂූටිං ඇවිල්ලා ඉන්නේ.

* ගිය සතියෙ සඳුදා හරියටම කිව්වොත් ඔයාගේ උපන් දිනය දා කොහෙද හිටියේ?

ගෙදර, දවල් ටී.වී ප්‍රෝගෑම් එකකට ගියා.

* ඇත්තටම?

ඔව්, ඇයි?

* ඩිනක්‍ෂි ගැන අපිට ආරංචි කිහිපයක්ම ආවා?

ඒ මොනවද?

* ඔයාව සී. අයි. ඩී. එකට කැඳෙව්වා කියලා...?

තව..

* ඔයා උපන් දිනය දවසේ එහෙලු හිටියේ. හරියට උපන් දිනය සමරන්නත් බැරි වුණාලු?

මෙහෙමයි අයියේ, මටත් ඔය ආරංචි ටිකම ආවා. ගොසිප් වෙබ් සයිට් කිහිපයකම මේ දූෂමාන පුවත පළකරලා තිබුණා. මගේ යාළුවො මට කතා කරකර කිව්වා. එක එක වෙබ් සයිට්වල විවිධාකාර විදියටයි ඒක පළවෙලා තියෙන්නේ.

* මට දැනගන්න ලැබුණු විදයට මූල්‍යමය වංචාවක් සම්බන්ධයෙනුයි ඔබව සී. අයි. ඩී. එකට කැඳවලා තියෙන්නේ?

මොන බොරුද අයියේ. බලන්න කොච්චර වැරදිද කියලා. එහෙම දෙයක් සිද්ධ වුණෙත් නැහැ.

* ඒත් ඒවා පළවෙලා තිබුණේ ඔබගේ නම සහ රූපයද ඇතුළත් කරලා. ඒක කියවන අයට හිතන්නම බැහැ ඒ පුවත බොරුවක් කියලා?

අන්න එතන තමයි අයියේ ගැටලුව තියෙන්නේ. මං ගැන දන්න ගොඩක් දෙනෙක් ඒවා දැකලා බයවෙලා තිබුණෙ. මට හිතා ගන්න බැරි ඇයි එහෙම මට මඩ ගහන්නේ කියලා. මං කාටවත් වරදක් කරලා නැහැ. අනික සී. අයි. ඩී. එක කියන්නේ සෙල්ලම් ආයතනයක් නෙවෙයි. ඒ නම් පාවිච්චි කරලා පුවත් පළ කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා.

* මා දන්නා තරමින් ඔබ සම්බන්ධ වූ ‘ඩබල් ට්‍රබල්’ චිත්‍රපටය ගැන යම් අර්බුදයක් මේ වනවිට මතුව තිබෙනවා?

ඒ ගැන නම් මං කියන්න දන්නේ නැහැ. ඒක අධ්‍යක්‍ෂණය කළේ මගේ තාත්තනේ. එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒ අය විසඳ ගනීවි නේද? මෙතන තියන ප්‍රශ්නය ‘ඩබල් ට්‍රබල්’ හි එක් නිෂ්පාදකවරයකු වශයෙන් මගෙ නම යන එක. චිත්‍රපටය මොකක් හරි අවුලක නම් මගේ නමත් සඳහන් වෙනවනේ. අර පුවත ඒක හින්දද දන්නේ නැහැ.

* ඔබ මේ වනවිට නීතිමය ක්‍රියා මාර්ගයක් අරගෙන නැද්ද?

ඇත්තම කිව්වොත් මට ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ. හැබැයි මගේ අම්මයි තාත්තයි නම් නිකම් ඉන්න එකක් නැහැ. ඔවුන් මොනවා හරි කරාවි.

* ඩිනක්‍ෂිගේ නමට මෙමගින් හානියක් සිදුවුණාද?

මාව දන්න, මාව විශ්වාස කරන කිසිම කෙනෙක් මේ ආරංචිය තැකුවේ නැහැ. ඔවුන් දන්නවා මුදල් වංචාකරන්න තරම් මට අහේනියක් නැහැ කියලා.

* ඩිනක්‍ෂි උපන් දිනය කොහෙදිද සැමරුවේ?

මං සාමාන්‍යයෙන් උත්සව අරගෙන උපන් දිනය සමරන කෙනෙක් නෙවෙයි. ඒත් මෙදාපාර රෑ දොළහට මගේ යාළුවො මට නොකියම ගෙදරට ආවනේ. මාවත් ඇහැරවලා කේක් එකක් කපලා උපන් දිනය සැමරුවා. උදේ ටී. වී. ප්‍රොගෑම් එකකට ගිහිල්ලා හවස ගෙදර ආවා. ඔන්න ඔහොමයි එදා දවස ගෙවුණේ. මං කියන දේවල් බොරුනම් ඕන කෙනෙකුට පුළුවන් සී. අයි. ඩී. එකෙන් චෙක් කරලා බලන්න මම එදා එහෙ ආවද නැද්ද කියලා.