වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

ඔබේ ප්‍රතිචාර අප වෙත එවද්දී නම, ගම සඳහන් කරන්න අමතක කරන්න එපා. එදිනෙදා දකින කලා නිර්මාණ ගැන ක්ෂණිකව කෙටියෙන් 0752805047

අංකයට අප වෙත එස්. එම්. එස්. එකක් මඟින් අප වෙත එවන්න. ප්‍රතිචාර, ‘සරසවිය’, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල් හෝ සටහන් පත් වෙනුවෙනි.
 

රුක්මණී දේවි සංගමය ගැන වැරැදි වැටහීම් එති

රුක්මණීී දේවි සංගමය ආරම්භ කළේ 1989 ඔක්තෝබර් මාසයේදීය. ඒ මම සහ චාන්දනී ජයසිංහ එකමුතුවෙනි. එදා සිට අද දක්වාම සෑම වසරකදීම අප උත්සව දෙකක් සංවිධානය කළෙමු.

එහෙත් සරසවිය ප්‍රතිචාර පිටුව 2014. 02. 06 දින කමලා සෙනෙවිරත්න විසින් පළ කර තිබූ ලිපියක් නිසා එය කිය වූ පාඨකයන් තුළ අප සංගමය පිළිබඳ වැරැදි වැටහීමක් ඇති විය හැක. එය අනුව 2012 දෙසැම්බර් – 2014 ජනවාරි දක්වා අයිරින් ලියනගේ මහත්මිය අප සභාපතිව සිටි බව සැබෑය. වත්මන් සභාපති වශයෙන් චාන්දනී ජයසිංහ ද සම සභාපති වශයෙන් සිරිමා අනෙස්ටා මර්සලින් ද පත්ව ඇත. ආරම්භක සාමාජිකාවන් වන ඔවුන් විසින් සෑම උත්සවයක්ම සංවිධානය කරන බවත් ඊට සියලුම සාමාජිකයින් සහයෝගයෙන් ක්‍රියා කරන බවත් මෙයින් දන්වා සිටිමි.
 

හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්

සභාපති

රුක්මණී දේවි සංගමය

සිරි දළදාගමනයට ආසිරි

සිරි දළදාගමනය නැරැඹූ පසු මීට කලින් මා නොදත් ඓතිහාසික පුරාවෘත කිහිපයක්ම දැන ගතිමි. පැරැණි දඹදිව එක් එක් දේශයන්හී රජවරුන් දන්ත ධාතුන් වහන්සේ ලබා ගැනීමට සටන් වැදුණ සැටිත්, නාග රජු දන්ත ධාතුව සොරා ගත් සැටි ඉන් කිහිපයකි.

බුද්ධාලම්භන ප්‍රීතිය, ශ්‍රද්ධාව ඇතිවන අයුරින් අසිරිමත් සිදුවීම් ගෙනහැර පායි. ශ්‍රී දන්ත ධාතුවේ ප්‍රෞඨ ඉතිහාසය වර්තමානයට රැගෙන ඒමකි. මෙම අසීරු කටයුත්ත සනත් අබේසේකර හොඳින් කර ඇත. ඉෂාක් බෙග් ගේ ගී හඬ මොහිදීන් බෙග්ට සමානය. තිරයට අලුතින් හඳුන්වා දුන් දන්ත කුමරු සහ හේමමාලි කුමරියට රඟන නළු නිළියන් ඉතා හොඳ යැයි මට සිතේ.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව

කටුබැද්ද

සෝමා එදිරිසිංහ ඔබට තුති

කලාකරුවකු වන මා හට පාපැදියක් ලබාදීම ගැන ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිනියට ‘සරසවිය’ හරහා මම තුති පුදමි.

දයානන්ද ද සිල්වා

හික්කඩුව

රවීට තුති

ප්‍රතිභාපූර්ණ රංගධරයකු වන රවීන්ද්‍ර රන්දෙණිය විසින් රූපාන්තරණ සිනමාපටයේ නවක නළු නිළියන් ඇගයූ බව ‘සරසවිය’ මඟින් දැනගන්නට ලැබුණා. එවන් වූ ප්‍රවීණයකුට මම ද ගරු කරමි. රවීන්ද්‍ර පිළිබඳ සතුට ද ප්‍රකාශ කරමි.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොළ

ස්වරංජලීට ආසිරි

ස්වරංජලී සංගීත කණ්ඩායමේ නියමු ශක්ති හිටපු නායක ආනන්ද පෙරේරා සංජීවනී නමින් ප්‍රසංගයකට සූදානම් වන බැව් මා හට දැනගන්නට ලැබුණි. මෙහි විශේෂත්වය වනුයේ ගායනය, නර්ථනනය මෙන්ම සංගීත කටයුතු ද ඔහු විසින් මෙහෙයවීමයි. ඇත්තටම එය මට අසන්නට ලැබුණු අහඹු සිදුවීමකි. එම සුන්දර ප්‍රසංගයට ආසිරි එක් කරමි.

සෝමා එච්. පතිරණ

කහවත්ත

රොබින් තම්පෝ සමුගෙන වසර දාහතරයි

රවීන්ද්‍ර කුමාරස්වාමි තම්පෝ නම් වූ ඔහු සිංහල සිනමාව ආරම්භ වී වසර එකොළහකට පසුව සිරිමලී සිනමාපටය අධ්‍යක්ෂණය කොට සිංහල සිනමාවට අවතීර්ණ විය. එතැන් සිට පොදු ජන රුචිකත්වය හැඳීනගෙන ඔවුන්ගේ රස වින්දනය වෙනුවෙන්ම සිංහල චිත්‍රපට 25 ක් පමණ බිහි කළ ඔහු රොබින් තම්පෝ යනුවෙන් ක්ෂේත්‍රය තුළ ප්‍රකට විය. එකම වසරක් තුළ සිංහල චිත්‍රපට 5 ක්ම නිපද වූ ඔහු ඒවා සාර්ථක අන්දමින් තිරගත කොට වාර්තාවක් පවා තබා ඇත. එසේම සිංහල චිත්‍රපට තැනීම සඳහාම ආර්. ටී. නමින් චිත්‍රගාරයක් ද ඉදි කළ හෙතෙම යාපනය ප්‍රදේශය ඇතුළුව දිවයිනේ ස්ථාන කිහිපයකම සිනමා ශාලා ස්ථාපනය කොට සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කරවීය.

ජාති බේද නොසලකා සැමට එකාවන්ව සැලකූ තම්පෝ නවකයින් රැසක් ද සිනමාවට හඳුන්වා දුනි. සිංහල සිනමාව වෙනුවෙන් ඇප කැප වූ එවන් සුවිශාල මෙහෙවරක් කොට තම්පෝ අපෙන් සමුගෙන මේ වන විට වසර දහ හතරක් සපිරේ.

විමල් රණසිංහ

ග්‍රෑන්ඩ්පාස්

කොළඹ 14

සුනිල් ටී. ප්‍රනාන්දුට,

ඔබ සිනමාවට සම්බන්ධ වූ දා සිට ඉතා විශාල නළු නිළියන් පිරිසක් වගේම විවිධ අංශවලින් දස්කම් දැක් වූ පිරිස් සිනමාවට සම්බන්ධ කරවමින් ඔබ විසින් කර ඇති සේවාව ඔබ පසු කර යෑමට අද සිටින කිසිවෙකුත් සමත් නොවේ. ඒ වාගේම චිත්‍රපට ඒ ඒ යුගවලට අවශ්‍ය පරිදි නිපදවමින් සිංහල සිනමාව ඉදිරියට ගෙන යාමට ඔබ උර දුන් අයුරු අනර්ඝයි.

මිල්ටන් ප්‍රනාන්දු

උතුරු මූදුකටුව

කාවිංග පෙරේරාට,

කාවිංග ඔයා ටෙලි නාට්‍යවල හොඳට රඟපානවා. නමුත් තරුමලී එකේ රඟපාන නපුරු චරිතයට නම් මම ආස නැහැ.

නන්දා ලියනගේ

දුලානි අබේකෝන්

මහවැව

අතුල හැඟීම් විහිෂ්ඨයි

ජාතික නාලිකාවේ දිග හැරෙන උඩු සුළඟ කතා මාලාවෙ රඟන අතුල පතිරණගේ හැඟීම් ප්‍රකාශනය ඉතාමත් විශිෂ්ඨ බව මට පෙනේ. අවස්ථාවට උචිත අයුරින් ඔහු තම දෑසින් දෙන හැගුමන් මනාව ප්‍රේක්ෂකයන්ගේ ග්‍රහණයට නතු වෙයි.

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

ජගත් ඔබ දක්ෂයි

ජගත් මනුවරණ දක්ෂයෙක්. ඔහුට කලා ලොවේ දිගු ගමනක් යා හැකියි. මා ප්‍රාර්ථනා කරන්නෙත් එයමයි.

නිමල් ඒකනායක

වෑඋඩ

පබසරා එකට නැරැඹිය හැකියි

පබසරා ටෙලි සිතුවම පවුලේ සැමට එකට සිට නැරැඹිය හැකි ටෙලි සිතුවමකි. එය මම අගයමි.

වියානි ගුණවර්ධන

නිලන්ති ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව


S.M.S

අපේ ජනප්‍රිය ගායක නෙල්සන් වාස්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. එමෙන්ම නැවතත් ප්‍රසංග වේදිකාවෙන් දකින්නට ප්‍රිය කරමි.

ගීත්ප්‍රිය සම්පත්

කටුනායක

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

සම්මානනීය නිළි මාලිනී ෆොන්සේකාව ටෙලි නාට්‍යයකින් යළිත් වරක් දකින්න ආසයි. ඇය දූවරු නාට්‍යයේ කදිම චරිතයක් කළා. ඔබ සිනමාවේ විතරක් නෙවෙයි. පුංචි තිරයෙත් අපේ නිළි රැජනයි.

විරාජ්

මාකඳුර

ස්ලීම් නීල්සන් සම්මාන උළෙල (2014) වසරේ ජනප්‍රියතම ගුවන් නාලිකාව ලෙස නැවතත් අභිසෙස් ලැබුවේ හිරු ගුවන් විදුලියයි. ඔවුන් තමයි ලංකාවේ අංක එක. සැමදාම රසිකයකු විදිහට මට ඔවුන් සුහදශීලීව ගනුදෙනු කළා. හිරු දිනන්නේ ඒ හින්දයි.

ලක්මාලි

වරකපොළ

සාරංග දිසාසේකරගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් දකින්න ආසයි. එහිදී ඔබ පියාණන්ගේ ගීත මෙන්ම ඔයාගෙම ගීතයන් අසා රසික රසිකාවන් උන්මාදයට පත්වේවි.

හර්ෂ විරාජ්

මාකඳුර

ටී. එන්. එල්. නාලිකාවේ විකාශය වන එකම ජනප්‍රිය වැඩසටහන වූ කිට් රිද්ම රාත්‍රිය ඉස්සර තරම් ජොලියක් නැහැ කියලා මට දැනෙනවා. දැන් ඒ ප්‍රෝගෑම් එක හරිම බෝරිං. සමහර වෙලාවන්වලට මට බලන්න හිතෙන්නෙත් නැහැ.

ෆාතිමා

වැලිගම

සිරස සුපර් ස්ටාර් වැඩසටහනෙන් ඉවත් වූ රජිත භානුක අයියව වයිල්ඩ් කාඩ් වටයෙන් හෝ නැවතත් තරඟයට ගන්න කියලා මා ඉල්ලීමක් කරනවා. එයා පව් නැත්නම්. අපේ සුපිරි තරුව රජිත තමයි.

ශේෂද්‍රි

කළුතර

අප ආසාවෙන් සවන් දුන් කඳුරට සේවය දැන් ඇසෙන්නේ නැත. හරවත් වැඩසටහන් ප්‍රචාරය වූ එය නැවතත් ගුවනට එක් කරන්නේ නම් ඉතාම අගනා කටයුත්තකි.

රත්න කහඳව

අලව්ව

ළමා ගායක ලහිරු නෙළුම්දෙණියට,

චූටි මල්ලියෝ, ඔයා ඉතාමත් ලස්සනට ගීත ගයනවා. ඔයාට හොඳ පැහැදිලි අනාගතයක් තියෙනවා යැයි අනිවාර්යයෙන්ම අප කියනවා. මේ වගේම වැඩි කලබලයක් නැතුව සංගීත ගමන යන්න.

සුනිල් බී. වේහැල්ල

සමන් ගාල්ලගේ

කැටපළ

චාන්දනී සෙනෙවිරත්න,

නිකිණි වරුසාවෙන් තෙමී විස්මිත රංගනයෙන් සම්මානිත චාන්දනියේ, ඔබට මෙසේ මම හදපත්ලෙන්ම සුබ පතමි.

ජයනාත් ඉන්ද්‍රජිත්

කළුබෝවිල

ශෂිකා නිසංසලා සොයුරිය ගයන අප හමුවුණු තැන ගීතය මට ගොඩක් දැනෙණවා. ඒක අපේ ජීවිතයට හුඟක් සමීපයි. ඉදිරියටත් එවන් වූ ගීත කියන්න.

සමිත් නිශාන්

බුත්තල

සිරීගේ ඉරණම අගය කළ යුතු නාට්‍යයකි. රන්තරු සරල මුත් අපට ගෙනෙන රස වින්දනය නිමක් නැත.එවන් වූ පවුලේ සැමට රස විඳීය හැකි නාට්‍ය අපට දායාද කරන ස්වාධීන රූපවාහිනියට අපගේ ප්‍රණාමය.

ඉනේකා ගුණවර්ධන

සුජාතා විද්‍යාලය

නුගේගොඩ

ඉසිවර වෙදදුරු ඇත්තටම නියමයි. මා හරිම ආසාවෙන් එය නරඹනවා. කාලයක් මෙගා නාට්‍ය බැලූ මා ඉසිවර වෙදදුරු නැරැඹීමෙන් අනතුරුව ඊට යොමු වුණා. දැනුයි තේරෙන්නේ මෙගා කොතරම් හරසුන්ද කියලා.

මධු

නාත්තණ්ඩිය

දයාබර රොෂාන් රණවන අයියේ ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තාම මට ගොඩක් දුක හිතුණා. ඔයාට ඉක්මනටම මංගල සීනු හැඬවෙන්න කියලා පතනවා.

දිල්

කඩුවෙල