|
බී. එස්. පුත් සුනිල් ගී සිසිල ගෙනෙයි චිත්‍ර ප්‍රදර්ශනය සහ ගී තැටිය එළිදැක්වීම 31 දා සොයිසා පුරදී
‘මගේ පියා චිත්‍රපට නළුවෙකු වුණේ ධීවරයෝ චිත්‍රපටය හරහායි. ඒ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි රඟපෑවා. ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ ‘රෑ බෝවී බෝවී ඒවි’ යන ගීතයට ඇන්තනි සී. පෙරේරා සමඟ රංගනයේ යෙදුණා. එතනින් පස්සේ ලංකාවම බී. එස්. පෙරේරා කියන නළුවා හඳුනා ගත්තා. ඒ ජනප්‍රියත්වය උරුම කරගත් එතුමා චණ්ඩියා, සැනසුම කොතනද, රෑන ගිරව්, ඔහොම හොඳ ද, ඇමතිකම ඇතුළු චිත්‍රපට 350 ක රඟපෑවා. ඒ කෙසේද කියනවා නම් 80 දශකයේ චිත්‍රපට වැඩිම ප්‍රමාණයක රඟපෑ නළුවා වුණේ තාත්තා. රඟපෑමට දායක වූ එතුමා පසු කාලයේදී ගායකයෙක් ලෙසින් චිත්‍රපට කිහිපයක ගීත ගායනයට ද හවුල් වුණා. ‘මගේ අම්මා’ චිත්‍රපටයේ ‘ක්‍රිස්මස් පුස්පර’ විකට ගීතය ඒ කාලේ බොහොම ජනප්‍රිය වුණා. අපේ තාත්තා ජනප්‍රිය විකට නළුවෙක් ද වුණා. තුෂාරා, සුහද පැතුම, හොඳට හොඳයි, හරි පුදුමයි වැනි චිත්‍රපටවලට එතුමා දායක වුණේ පොඩි සීන් එකකට විතරයි. නමුත් ඒ පොඩි චරිතය චිත්‍රපටය පුරාවටම කතා කරන චරිතයක් බවට ඔහු පත් කළා. මේ වෙලාවේ විශේෂයෙන් කියන්න ඕනෑ දෙයක් තියෙනවා. ඉස්සර චිත්‍රපට අපි ළඟ දැන් නැහැ. ඒවා අලුත් පරම්පරාවට නරඹන්න අවස්ථාව ලැබෙනවා අඩුයි. ඒත් තිස්ස නාගොඩවිතාන මහතා මේ පැරැණි චිත්‍රපට සංරක්ෂණය කරලා අපේ සිනමාවට කරපු සේවාව මිල කරන්න බැහැ. මම එතුමාට ඒ පිළිබඳව විශේෂයෙන් ස්තුති කරනවා.
දැන් තාක්ෂණය දියුණු වෙලා හැම දේම පහසු යුගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා චිත්‍ර ශිල්පීන්ට අඳින්න තිබෙන අවස්ථාව අඩුයි. නමුත් වාසනාවට වගේ මට තාම චිත්‍ර අඳින්න අවස්ථාව ලැබෙනවා. දැනට මම පාසල් හතළිහක චිත්‍ර ඇඳලා තිබෙනවා. මම, තාත්තා ඉන්න කාලේ චිත්‍රපට දෙකක රඟපෑවා. ඉන් පස්සේ චිත්‍ර අඳින්නම මගේ කාලය වැය කළා. මගේ තිබුණු ගායන හැකියාවෙනුත් ප්‍රයෝජන ගත්තා. ඒ නිසා මම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් ලෙස නම් කෙරුණා. මේ සියල්ලටම උදව් කළේ මගේ සෙවනැල්ල වගේ ඉන්න බිරිඳ ඉන්ද්‍රා කුමාරි, සම්පත් සමීර පුතා සහ දුව කව්මදමාලි. ඒ වගේම මට චිත්‍ර අඳින්න අවස්ථාව ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන්වත් මතක් කරන්න ඕනෑ.
මෙම සංයුක්ත තැටියේ ගීත 16 ක් ඇතුළත්. නිෂ්පාදනය කළේ ඉන්ද්‍රා කුමාරි යාපා. තාත්තගේ ගීතත් ඇතුළත් වෙනවා. මගේ ගීතත් ඇතුළත් වෙනවා. ලංකාවේ ගීත රස විඳින රසික රසිකාවන්ට මේක වින්දනීය අත්දැකීමක් වේවි. මේ සී. ඩී. පටය නිර්මාණය කිරීමට උදව් දුන් හැම දෙනාම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. මාර්තු 31 දවස 3.00 ට සොයිසා පුර නුගාශ්‍රමයට පැමිණෙන්න ආරාධනා කරනවා. මගේ දුරකතන අංකය: 0721405871.
|