වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ගුවන් විදුලියෙන් ආරාධනා ලයිව් ස්ටේජ් අද

ගුවන් විදුලියෙන් ආරාධනා ලයිව් ස්ටේජ් අද

දිගු කලක් අසන්නන්ගේ හදවත් වැළඳ ගත් ගුවන් විදුලි වැඩසටහනක් ලෙස ප්‍රචලිත වූ ‘ආරාධනා ස්වර දැහැන’ නම් ගුවන් විදුලි වැඩසටහන නැවුම් පියවරක් ඉදිරියට තබමින් ‘ආරාධනා ලයිව් ස්ටේජ්’ නමින් අද දින පස්වරු 7.00 ට පේරාදෙණිය සරසවි ක්‍රීඩාගාරයේදී ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීමට නියමිතය.

සුනිල් එදිරිසිංහ සහ නිරෝෂා විරාජිනී යන ගායක ගායිකා දෙපළගේ සුසංයෝගයෙන් එදින රසවත් වන මේ ගී සැඳෑව සැකැසෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ සංකල්පයක් අනුවය.


සිනමාකරණ ඩිප්ලෝමාවේ සමාරම්භය

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය පොල්තෙල් පහන දල්වමින්. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ ද පසෙකින් වේ.

සිනමා සංස්කෘතිය පෝෂණය, නව සිනමා සාක්ෂරතාවය වර්ධනය කිරීම අරමුණුු කොට ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ආරම්භ කළ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙහි පාඨමාලා අධ්‍යක්ෂවරයා වශයෙන් ටියුඩර් වීරසිංහ කටයුතු කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී බී. කේ. එස්. රවීන්ද්‍ර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී වත්සලා වික්‍රමආරච්චි, තිස්ස ලියනසූරිය, සංජය නිර්මාල් ආදීහු සහභාගි වූහ.