වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




නළු නිළියන් හැත්තෑවකට මම අම්මා වුණා

නළු නිළියන් හැත්තෑවකට මම අම්මා වුණා

කුසුම් පෙරේරා

කුසුම් සෙලානි පෙරේරාට හා හා පුරා කියා මවගේ චරිතයට කතා කරද්දී ඇය සිටියේ තුරුණු වියේ. කුසුම් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප නොකොට සතුටින් භාර ගත්තේ ඉන් අනතුරුව කෙදිනකවත් පුංචි තිරයේ මව වීමට තමාට හැකි වේ යැයි නොසිතමිනි. නමුත් දිගින් දිගටම ඇයට හිමි වූයේ මවගේ චරිතයමය. තම සමකාලීනයන් කැමරාව ඉදිරියේ පෙම්වතියන් වෙද්දී කුසුම් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ද අම්මා වූවාය. ඇය මේ කතාව ආරම්භ කළේ ද ඊට ඌණ පූර්ණයක් මෙසේ සපයමිනි.

අම්මා කියන්නේ මේ ලෝකේ ඉන්න උතුම්ම කාන්තාව. ඉතින් මට ලැබෙන සෑම මව් චරිතයක්ම මං රඟපෑවේ හරිම වගකීමකින්. අම්මා කියන නාමයට කැළලක් ඇතිවන මව් චරිත මට රඟපාන්න කතා කළා. ඒත් මම ගියේ නැහැ. මට ඕනෑ හොඳ අම්මාගේ චරිතය. මොකද මමත් එවන් වූ මව් කෙනෙක් නිසා. ඔබ සඳහන් කළා වගේ පළමු මව් චරිතය කළායින් පසුව කීයටවත් මං හිතුවේ නැහැ ආයෙත් මට නාට්‍යවල මවක් වෙන්න ලැබෙයි කියලා. මේ වන විට ක්ෂේත්‍රයේ නළු නිළියන් හැත්තෑවකට අධික ප්‍රමාණයකට මං කැමරාව ඉදිරියේ මව වෙලා තියනවා. මම හිතන පරිදි ඒක වාර්තාවක්. මා තරම් වෙන කිසිම නිළියක් ටෙලි නාට්‍යවල මව වෙලා නැතුව ඇති.

* ඔබට මව් චරිතය ලැබෙද්දි ඔබ පෙම්වතියගේ චරිතය කරමින් හිටියේ. දැන් හිතෙන්නේ නැද්ද ඒ චරිතය අතහැරපු එක මෝඩකමක් කියලා?

මම ලෙන්දොර, සත්සර රංගන ඇතුළු නාට්‍ය ගණනාවක පෙම්වතිය වුණා. ඔබ කියන හැටියට දිගින් දිගටම පෙම්වතිය වුණා නම් මට වෙනමම රසික පිරිසක් ඉන්න තිබුණා. අනික පෙම්වතියට රඟපාන්න ඕනෑ තරම් නිළියෝ හිටියා. ඒත් අම්මාගේ චරිතය කරන අය අඩුයි. සමහර අය කැමැති නැහැ වයසක චරිත කරන්න. මං ඒ අභියෝගය භාර ගත්තා. මට රසිකයෝ අඩු වේ යැයි කියලා බය වුණේ නැහැ. මට හිතාගන්න බැරි විදිහට රසිකයෝ මට ළං වුණා.

* ඔබට වඩාත් අභියෝගයක් වූ මව් චරිතයක් තිබුණාද ?

ඔව්. ඒ ජීවිතය ලස්සනයි ටෙලි නාට්‍යයේ මවගේ චරිතය. මං එහි ළමයි හත් දෙනෙකුගේ අම්මා කෙනෙක්. ඊට කලින් මව් චරිත කිහිපයක් කරලා තිබුණත් මේ චරිතයට එහි අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න කතා කරද්දී මං බොහොම බය වුණා. ඔහු මට සෑහෙන්න දේවල් කිව්වට පස්සෙයි ඊට කැමැත්ත ප්‍රකාශ කළේ. ඒ මව් චරිතය මං කොතරම් හොඳට කළාද කිව්වොත් ඒ දරුවො හත් දෙනාට රඟපාපු අය අදටත් මට දරුවෝ වගේ.

* කුසුම් ඉන්න චිත්‍රපටයක් මේ දවස්වල තිරගත වෙනවා. ඒ ප්‍රියංකර විතානාච්චිගේ සැමීගේ කතාව. පුංචි තිරයේ මව වුණත් ඔබ මෙහි නම් රඟපාන්නේ වෙනස්ම චරිතයක්?

සිනමාවේදී මට විවිධාකාර චරික රඟපාන්න ලැබුණා. මේක ඉන් එකක්. හැබැයි මට මෙම චරිතය ගැන කියද්දී මුලදී අකැමැත්ත ප්‍රකාශ කළා.

* හේතුව?

දන්නවනෙ චිත්‍රපටවල හැටි. රූගත කරපු එක නෙවෙයිනෙ එඩිට් කළාට පස්සේ තියෙන්නේ. සැමීගේ කතාවේ මම නිරූපණය කළේ මෙහෙකාරියකගේ චරිතයක්. පිටපතට අනුව එහි සැමී සමඟ ඇය නොමනා විදිහට හැසිරෙන දර්ශන කිහිපයක් තියෙනවා. මං ආස වුණේ නැහැ මම මෙතෙක් කල් ගොඩ නඟා ගත් ප්‍රතිරූපය වෙනස් කරන්න.

* ඒත් ඔබ චිත්‍රපටයේ රඟපෑවනේ?

මට ජගත් චමිල කතා කරලා චරිතය ගැන විග්‍රහ කළා. මට කිව්වා මේක හැමෝටම බලන්න පුළුවන් විදිහට හදන චිත්‍රපටයක් කියලා. අධ්‍යක්ෂවරයාත් එලෙස පොරොන්දු වුණා. ඔවුන්ව විශ්වාස කරලයි මෙයට දායක වුණේ. කියන්න සතුටුයි ඒ පොරොන්දුව කඩ වුණේ නැහැ.

* චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

විවිධාකාරයි. සමහරු කැමැති නැහැ මාව එවන් වූ චරිතවලින් දකින්න.

* කුසුම් දැන් රඟපාන්න ඇවිත් කොච්චර කල්ද?

අවුරුදු 40 ක්. 1974 චිත්‍රපටයක ළමා නිළියක් හැටියටයි මං මුලින්ම රඟපාන්න ආවේ. එතකොට මං පුංචියි.

* ඔබට ගෞරව නාමයක් ලැබුණා කියන්නේ ඇත්තද?

එකක් නෙවෙයි දෙකක්.

* ඇත්තද . . . එහෙනම් ඒවා ගැන විස්තර ටිකක් කියමු?

පළමුවැන්න ලැබුණේ 2011 දී ‘කීර්ති දේශ ශක්ති ශාසන සේවි’ යනුවෙන්. එය ප්‍රදානය කළේ අමරපුර සිරිධර්ම වංශ මහා නිකායෙන්. අනෙක් නාමය ගිය වසරෙයි ලැබුණේ. තෛ‍්‍රයිනිකායික සංඝ සභාව මඟින් තිළිණ කළ එය ‘මානව හිතවාදී සමාජ සුභසාධන ජනීජන ප්‍රසාදිනී වීර්ය මාතා දේශබන්ධු’ නම් වෙනවා.

* මෙතෙක් අප නොදැන හිටියට කුසුම් දැන් ගෞරවනීය කාන්තාවක්?

නැතුව, නැතුව.

* මොනවා කළාටද ඔබට මෙහෙම ගෞරව නාම ලැබුණේ?

සමාජ සේවයෙන්. මං අපි ඉන්න ප්‍රදේශය වන මාලිගාවත්ත පැත්තේ විවිධාකාර සුභසාධන කටයුතු කරනවා. ලේ දන්දීීම්, අසරණයින්ට උදව් කිරීම්, හමුදාවේ ආබාධිතයින්ට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන් ආදිය මං නිතරම සිද්ධ කරනවා. මේවා වෙනුවෙන් තමයි මට ගෞරව නාම ලැබුණේ.

* ඔබ කරන මේ කටයුතුවල යටි අරමුණ දේශපාලනයට පිවිසීමද?

කොහෙත්ම නැහැ. ඒත් මං දේශපාලනය කරන මගේ හිතවතුන්ට උදව් කරනවා. විශේෂයෙන් අපේ ජනාධිපතිතුමන්ගේ චින්තනය ඉදිරියට ගෙන යාමට මං ඕනෑම සහායක් දෙනවා.

* කලාකරුවා දේශපාලනය කරන එක හොඳයිද?

හරියට කරනවා නම් හොඳයි.

* ඒත් එහෙම වෙන්නේ නැහැනෙ?

අන්න ඒක තමයි ප්‍රශ්නේ.

* කුසුම් පසුගිය දිනෙක පුංචි ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කළා නේද?

මම මගේ දුවලා දෙන්නා වන නිලක්ෂි සහ හර්ෂිකා එක්ක එකතු වෙලා රාජගිරියේ බුත්ගමුව පාරේ වැලිකඩ සැලුන් එකක් පටන් ගත්තා. ඒකෙ වැඩ කටයුතුත් කරගෙන යනවා රඟපෑමත් සමඟ.

* ඉදිරියේදී කුසුම්ව මොන වගේ නිර්මාණවලින් ද දැකගන්න ලැබෙන්නේ?

හිතවත්තු සහ සඳඑළිය වැනි නාට්‍යවලින්.