වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

* සිනමාවේදී වීරයා පරාජය විය යුතු නම් එක් අයෙකු හෝ දෙදෙනකු සමඟ සටනකදී වුව ද ඇද වැටෙයි. එහෙත් දිනවිය යුතු විට ද දහ දෙනෙකු සමඟ සටන් කළත් ඇද නොවැටෙයි. මෙය සිංහල සිනමාවට පමණක් නොව විදෙස් සිනමාවට ද පොදු කරුණකි. මෙයට ඔබ දෙන පිළිතුර කුමක්ද?

ඈන් නිලන්ති වයික්කාල

සිනමාව කියන්නේ ඕක තමයි.

* ඇතැම් අය කියනවා දෙමළ විජේ සිංහල විජේට සමාන කරන්න පුළුවන්ලු. දෙදෙනාගේම හැකියාවන් සමානලු. අර්ජුන් ඔබගේ අදහස කුමක්ද?

පී. එන්. ඒ. නිලුකා - අවිස්සාවේල්ල

නිලුකා ඔයාට එහෙම කියාපු කෙනාගේ පින්තූරයක් එවන්නකෝ. මානසික රෝහලකින් පැනපු කෙනෙක් ද දන්නේ නැහැ.

* සිංහල සිනමාවේ අද්විතීය රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතාගේ ලිපිනය සඳහන් කරන්න.

කේ. ඒ. ඩී. නාමල් - අකුරැස්ස,

අංක 224/2, හයිලෙවල් පාර, නාවින්න,මහරගම

* හින්දි සිනමාවේ වැඩිහිටි චරිත රඟපෑ ප්‍රීතිවිරාජ් කපූර්ගෙන් පැවත එන කපූර් පරපුර නම් කරන්න.

එල්. එම්. ප්‍රේ්මසේන- ඥාණා කුමාරි පෙරේරා

කපූර් පවුල කියන්නේ ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා පවුලක්. පළමු හින්දි කතා නාද චිත්‍රපටය ‘අලම් අරා’ චිත්‍රපටයේ සිට කපූර් පවුල සිනමාවට සම්බන්ධ වෙනවා. ප්‍රීති විරාජ් කපූර්ගේ පුතුන් තිදෙනා රාජ්, ශම්මි සහ ශෂී. මේ අතරින් වැඩිමලා රාජ්ට ද පුතුන් තිදෙනෙකි. රන්දීර්, රිෂි, රජීව් යන මේ තිදෙනාත් ජනප්‍රිය නළුවන්. රාජ් කපූර් විවාහ වූයේ සුප්‍රකට සිනමා නළු ප්‍රේම්නාත් සහ රාජ්න්ද්‍රනාත්ගේ සහෝදරිය සමඟිනි. රාජ්ගේ පුතුන් අතරින් රන්දීර් විවාහ වූයේ බබීතා නම් ජනප්‍රිය නිළිය සමඟිනි. ඔවුන්ට ද දියණියන් දෙදෙනෙකි. කරිෂ්මා සහ කරීනා ඒ දියණියන් දෙදෙනායි. රිෂි කපූර් විවාහ වූයේ නිළි නිතු සිං සමඟිනි. ඒ දෙපොළගේ පුත්‍රයා ජනප්‍රිය නළු රන්බීර් කපූර්ය.

ශම්මි කපූර්ගේ මුල් විවාහය සිදු වූයේ සුප්‍රකට නිළි ගීතා බාලි සමඟයි. ප්‍රීතිවිරාජ් ගේ බාල පුත්‍රයා ශෂි කපූර් නිළි ජෙනිෆර් කැන්ඩෝල් සමඟ විවාහ වූ අතර කුනාල්, කරන් සහ සංජානා යන ඔවුන්ගේ දරුවන් ද සිනමාවට පිවිසි නළු නිළියන්. රාජ් කපූර්ගේ දියණිියගේ පුතු විවාහ වූයේ අමිතාබ් බච්චන්ගේ දියණිය වූ ස්වේතා සමඟිනි. කපූර් පවුල ගැන සවිස්තර විස්තරයක් ලියන්න සරසවිය පුවත්පත ඉඩ මදි.

* දැනට තිරගත වන ‘පරාවර්තන’ චිත්‍රපටය ගැන ඔබේ අදහස් කියන්න.

සුජාතා ගුණවර්ධන - කඩවත

මේ ගැන මට අදහසක් පළ කරන එක සදාචාරාත්මක නැහැ. මොකද මම චිත්‍රපටයේ විවේක වේලාවේදී නැගිටලා ගියා.

* එදා පැරණි සිංහල චිත්‍රපට හරිම ලස්සනයි. තේරුම් ගන්නත් පහසුයි. ඒත් අද හැදෙන අලුත් චිත්‍රපට එහෙම නැහැ. අන්තිමයි. ඔබගේ අදහස කුමක් ද?

පී. වයි. අනුලාවතී - අවිස්සාවේල්ල

එදා චිත්‍රපටවලත් මං රසයක් වින්ඳා. හැබැයි මට අතීතයේ ජීවත් වන්නට බැහැ.

* උතුම් ස්ත්‍රිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කේ. වෙන්ගඩසාලම් සහ චිත්‍රපට අධ්‍යක්ෂ කේ. වෙන්කට් සොහොයුරන්ද?

සරත් රණසිංහ - කපුගොඩ, මාළිඳ

මේ නම් දෙකෙන්ම හැඳින් වූයේ එක් අයෙක්. ඔහු ‘මහ රෑ හමුවූ ස්ත්‍රිය’ හා ‘උතුම් ස්ත්‍රිය’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්ගඩසාලම් නමින්. ඔහුගේ සෙසු චිත්‍රපට ‘අද මෙහෙමයි’, ‘ගොපළු හඬ’, ‘දමයන්ති’, ‘නිලූකා’, ‘සිරිපතුල’ හා ‘මගේඅම්මා’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්කට් නමින්.

* ‘මහවැලි නදියේ අසබඩ සැදියේ’ ගීතයේ ප්‍රබන්ධකයා හඳුන්වා දෙන්න.

සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ

මර්වින් සේනාරත්න.

* ප්‍රවීණ සිනමා නළු ටෝනි රණසිංහයන් වරෙක සරසවියට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා ‘දිලිප් කුමාර් ශ්‍රේෂ්ඨයි, නමුත් විශිෂ්ඨයෙක් නොවෙයි’ කියා. එය එසේ නම් ඔහු ඇයි ‘දිලිප් කුමාර් චරිතාපදානය’ ලිව්වේ?

ජානක ඉලුක්කුඹුර - කඩවත

එය රචනා කළේ ශ්‍රේෂ්ඨ නිසා.

* ‘සඳ තනි වෙලා අහසේ හිරු තනි වෙලා’ ගීතය කුමන චිත්‍රපටයේ ගීතයක්ද?

සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ

එම ගීතය අපේක්ෂා චිත්‍රපටයේ ගීතයක්.

* හින්දි සිනමාව ගැන විස්තර පළ වන ෆිල්ම් ෆෙයාර් සඟරාව ලංකාවට ගෙන එනවාද? එය ලබා ගන්නා හැටි කියන්න.

එල්. එල්. තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ

මේ සඟරාව තවමත් ලංකාවට එනවා. එදා වගේම අදත් ඇතැම් පුවත්පත් විකුණන ස්ථානවල තිබෙනවා මා දැක තිබෙනවා.

* එදා චිත්‍රපටයක් නරඹන විට සිතුවමේ එන සටන් ජවනිකාවකදී ගැලරියෙන් එන විසිල් හඬට සිනමා ශාලාව දෙදරුම් කනවා. නමුත් දැන් නිර්මාණය කරන චිත්‍රපට එතරම් තාත්වික නැහැ. ඒ ඇයි?

දයානන්ද සිල්වා - හික්කඩුව

චිත්‍රපට තාත්වික වුණොත් නම් විසිල් ගහන්නෙම නැහැ. මගේ කල්පනාව අද ප්‍රේක්ෂකයන් බුද්ධිමත් නිසා විසිල් ගහන්නේ නැහැ. ඒ වෙනුවට ගොරවනවා.

* වැඩිම ගීත සංඛ්‍යාවක් ගායනා කර තිබෙන්නේ එස්. පී. බාලසුබ්‍රමනියම් ද, ලතා මංගේෂ්කාර් ද?

ආර්. එස්. වික්‍රමආරච්චි - මීගොඩ

ලතා මංගේෂ්කාර්.

* ජබීර් ඒ. කාදර් විසින් නිපදවන ලද චිත්‍රපට මොනවාද?

ආර්. ඒ. අමරසිංහ - කැලණිය

සුරංගනී, සුරතලී, සුන්දර බිරිඳ, සුනීතා, සුජාගේ රහස. ඔහු නිපද වූ හැම චිත්‍රපටයක්ම අධ්‍යක්ෂණය කළේ ඉන්දියානුවන්. ඒ වගේම ඒ හැම චිත්‍රපටයකම නම ‘සු’ අකුරෙන් ඇරැඹීමත් විශේෂයි.