වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට පසුබිම් ගායනයට එන්න ලැබීම මගේ වාසනාවක්

චිත්‍රපට පසුබිම් ගායනයට එන්න ලැබීම මගේ වාසනාවක්

රිදී තිරයේ අලුත්ම ගී නද

මාධනී ජයසේන

බුදුන් වැඩියා සේ.....
දිවමන් බුදුන් වැඩියා සේ.....

සිත නිවා සනසන මේ ගී පද වැල ඇසෙන විට හිතට දැනෙන්නේ පහන් හැඟීමක්. මියුරු ලෙසින් එය අප සවනට ළං වන්නේ මේ දිනවල තිරගත වන ‘සිරි දළදා ගමනය’ සිනමා සිත්තමෙන්. ඒ හඬ ගුවනට මුසු කළ ඇය මාධනී ජයසේන. විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මහතාගේ පි‍්‍රයාදර භාර්යාව වන ඇය කලා ලොව සංගීත චාරිකාවේ යෙදෙන අතරතුර ‘සරසවිය’ මේ හමුවන්නේ සුවිශේෂී වූ මොහොතකය. මේ ඇය අමතන්න හොඳම වෙලාවයි. අපි ඇයත් සමඟ කතා කරමු.

රිදී තිරයෙන් ඔබේ හඬ ඇසෙන විට මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි. මේක මගේ සංගීත දිවියේ කඩඉමක්. සිනමා නිර්මාණයකට දායකවීම මගේ එක බලාපොරොත්තුවක් වෙලා තිබුණා. ඉස්සරත් මගේ හඬ අහපු ගොඩක් දෙනා මට කිව්වේ ඔයාගේ වොයිස් එක චිත්‍රපටවලට හොඳයි කියලා. ඒත් ඒ අවස්ථාව මට ලැබුණේ ඊට වසර ගණනාවකට පසුවයි. කොහොම වුණත් ලැබුණු මේ අවස්ථාව ගැන ගොඩක් සතුටුයි. ඒ පිළිබඳ චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ කුමාර් අබේසිංහ මහතාට ස්තුති කරන්න ඕනා. ඔහු තමයි මාව චිත්‍රපට අධ්‍යක්‍ෂ සනත් අබේසේකරට හඳුන්වා දුන්නේ. ඒ හඳුන්වා දුන්නාට පසුවයි දැනගත්තේ සනතුයි, මමයි දෙන්නම නුවර, එකම ගමේ කියලා. ඒ අනුව තමයි සනත් ඔහුගේ චිත්‍රපටයට ගී ගයන්න මට ආරාධනා කළේ. ඊට පසුව සනත්ගේ ‘අනගාරික ධර්මපාල’ චිත්‍රපටයටත් ගීත ගායනා කළා. තව කුසුම් චන්ද්‍ර ගමගේ ගේ ‘මායා දේවි’ චිත්‍රපටයටත් යුග ගායනයෙන් දායක වෙන්න ලැබුණා.

මේ ගමන එන්න පුංචි කාලේ පටන්ම සංගීතයට විශේෂ ලැදියාවක් දක්වන්න ඇති?

මම මහනුවර උසස් බාලිකාවේ අධ්‍යාපනය හැදෑරුවේ. පාසලේ දී විෂයක් විදියට නම් සංගීතය හැදෑරුවේ නැහැ. කුඩා කාලයේ පටන්ම මම ගොඩක් ආසා කළේ හින්දි ගීත වලට. තාත්තා මට ඒ නිසාම හින්දි භාෂාවත් ඉගැන්නුවා. හිතවත් අයගේ උත්සව අවස්ථාවල දී ගීත ගායනා කළා. විවාහය තමයි මගේ කලා ජීවිතයේ සුවිශේෂම කඩඉම වුණේ. ඒ වෙනකොට මම ඉංගී‍්‍රසි ගුරුවරියක්. විවාහයෙන් පසුව ගුරු සේවයට සමුදුන්නත් සංගීත ක්ෂේත්‍රයට මං විවර වුණා. මගේ මහත්තයා රනිල් මගේ ගායන හැකියාව හඳුනා ගත්තා. ඔහු තමයි මාව උනන්දු කළේ. මුලින්ම මිල්ටන් මල්ලවාරච්චිට හඳුන්වා දුන්නා. ඔහුගේ මඟ පෙන්වීම යටතේ ගුවන් විදුලියේ හඬ පරීක්‍ෂණයෙන් සමත් වෙලා සරල ගී ගායනයට එක් වුණා. සනත්, මල්කාන්ති යුවළත් දයාරත්න රණතුංග, අමරා රණතුංග යුවළත් අපට ගොඩක් උදවු කළා. අපේ දරුවෝ පොඩි කාලේ මම අමරා රණතුංග යටතේ සංගීතය හැදෑරුවා. මගේ මහත්තයා තමයි මේ ගමනට ශක්තිය වුණේ.

ඔබට තියෙන හැකියාව අනුව ක්ෂේත්‍රයට ලබාදෙන දායකත්වය අඩුයි කියලා හිතෙන්නේ නැද්ද?

මහත්තයාත් කලාවට තියෙන්නේ පුදුමාකාර ලැදියාවක්. ඔහු ගායනයට වගේම ගීත රචනයටත් උනන්දුයි. අපි දෙන්නා 96 වසරෙදි ‘සඳ කිරණ ගලා’ නමින් ප්‍රසංගයක් සමඟින් කැසට් පටයක් නිකුත් කළා. ඊට පසුව ප්‍රසංග කිහිපයක්ම කළා. මෑතකදී මමයි, රනිලුයි අපේ දුවයි එක්ව ප්‍රසංගයක් කළා. රනිල්ගේ රැකියාවත් සමඟ අපට කලාවේ වේගවත් ගමනක් යන්න බැහැ. අනික අපි කලා කටයුතු කරන්නේ මුදල් උපයන පරමාර්ථයෙන් නෙමෙයි. ඒ නිසා අපි පුළුවන් වෙලාවට දායකත්වය ලබාදෙනවා. ඒ වුණත් අපේ මුළු පවුලම කලාවට තියෙන ලැදියාව ගැන නම් තියෙන්නේ ලොකු සතුටක්.

මුළු පවුලම එකතු වුණු වෙලාවට සංගීත රසය උපරිමයෙන් විඳිනවා ඇති?

පුතාලා දෙදෙනාම වාදනයට දක්‍ෂයි. ඒ දෙදෙනාටම ගිටාරය සහ ඕගනය වාදනය කරන්න පුළුවන්. දුව ගායනයට වගේම වයලීන් වාදනයටත් දක්‍ෂයි. පවුලේ හැමෝම එකතු වුණාම පැදුරු සාජ්ජ තමයි දාන්නේ.

මේ තරම් ලස්සනට ගීත ගයන ඔබ ගීත රචනයට උනන්දුවක් නැද්ද?

ලස්සනට ගීත රචනා කරන්නේ රනිල් තමයි. මමත් සමහර වෙලාවට ඔහුට මගේ අදහස් කියනවා. අපේ දුවටත් ලස්සනට ලියන්න පුළුවන්. මම නම් ඒ ගැන උනන්දුවක් නැහැ. රනිල් ලියූ ගීත අතරේ සුවිශේෂී ගීතයකුත් තිබුණා.

‘මිණි මිණි කිකිණි සලඹ හඬවන
සිත යට රඟන පියඹ සුරඟ
දිනිදා ආදරයේ පායා එනසේ
ඔබ නිතර නිතර මගේ දිවිය
අලුත් කරනවා’....

රනිල් මේ ගීතය ලිව්වේ මටමයි. ඔහු ඒක මටත් හොරෙන් කරලා අපේ ඇනවසරි එකට තෑග්ගක් විදියට දුන්නා. ඒ ගීතය මගේ ජීවිතයේ ලැබූ සුන්දරම තෑග්ගක්.

ඔබ හින්දි ගීතවලට විශාල කැමැත්තක් තියෙනවා කියා මුලින් පැවසුවා. එතකොට සැමියා රනිල් ගේ ගීත පි‍්‍රයකරන්නේ නැද්ද?

මහත්තයාගේ ගීතවලටත් ගොඩක් කැමැතියි. ඒ වගේම හින්දි ගීතවලට තමයි වැඩියම ආසා. පැරැණි සිංහල ගීතවලටත් මම ගොඩක් පි‍්‍රය කරනවා. ලතා වල්පොල, ඇන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක, චන්ද්‍රලේඛා පෙරේරා ගේ ගීතවලට ගොඩක් මම කැමැතියි. මගේ කැමැතිම ගීතය තමයි සුනිල් එදිරිසිංහ ගයන ‘හදේ කොතැනක හෝ හිඳීවී’ කියන ගීතය.

ඔබ කලක් ගුරුවරියක් ලෙස සේවය කළා. දැන් ඔබ වෛද්‍යවරයකුගේ බිරිඳක්. ආදරණීය මවක්. ඒ වගේම ගෘහිණියක්. මේ භූමිකා තුළ සංගීතය ඔබේ දිවියට දැනෙන්නේ කොහොමද?

කලාව, සංගීතය ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයට අවශ්‍ය දෙයක් කියලා මම හිතනවා. සංගීතය මනුෂ්‍ය ජීවිතයට තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ඉස්සර මම බැඳපු අලුත මහත්තයා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී විදියට සේවය කළේ. ඔහු වැඩට ගියාම මම ගෙදර තනියම. ඒ වෙලාවට මම පාළුව නොදැනෙන්න සිංදු අහන එක තමයි කරන්නේ. ඒ වගේම තියෙන ඕනම ප්‍රශ්නයක් අමතක කරන්න වුණත් ගීතයකට තියෙන්නේ පුදුම බලයක්. හැමදේම අතරේ ජීවිතය සමබර කරන්න සංගීතය උදව් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ජීවිතයට කලාවත්, කලාවට ජීවිතයත් ලැදි වුණාම ජීවිතය ලසස්නට ගෙන යන්න පුළුවන්. ඒක හරිම මිහිරි දෙයක්.

අපට නැවතත් ඔබේ අලුත්ම ගීතයක රසය විඳින්න ලැබෙන්නේ කවදාද?

‘මායා දේවි’ සහ ‘අනගාරික ධර්මපාල’ චිත්‍රපට තිරගත වීමත් සමඟ එහි ගීතත් අසන්නට ලැබේවි. ඒ හැරුණාම තව නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඊට අමතරව ලබන අවුරුද්දේ ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.