වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ හුස්ම හිරවෙලා කියලා කවුරුත් බය වුණා

මගේ හුස්ම හිරවෙලා කියලා කවුරුත් බය වුණා

සෝමවීර ගමගේ

සෝමවීර ගමගේ කියන්නේ වැඩිපුර කතාබහට ලක්වුණු නළුවෙක් නොවුණත් ඔහු රඟපෑ ‘මායා’ ටෙලි නාට්‍යයේ කිවුලේ ගෙදර සාජන්ගේ චරිතය නම් බොහෝ දෙනකුගේ මතකයේ රැඳිලා තිබෙන වග විශ්වාසයි. තිස්ස අබේසේකරයන් ගේ සෙවණ ලබමින් කලාවට පිවිසෙන සිරිසෝම ගමගේ ‘පිටගම්කාරයෝ’ හි රඟපාන්නේ ජැක්සන් ඇන්තනිගේ පුත්‍රයකු ලෙසින්. ඊට පසුව මායා, වනසරණ, සසර මංකඩ ඇතුළු ටෙලි නාට්‍ය රාශියකට රංගනයෙන් දායකවන ඔහු මේ දිනවල තිරගතවන ‘වරිග පොජ්ජ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවනවා. මේ ඔහු සමඟ සරසවිය කළ සාකච්ඡාවක්.

* මේ දවස්වල ඔබ ටෙලි නාට්‍ය කිහිපයකම දකින්නට ලැබෙනවා?

සිරස රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍ය හතරකම මගේ රංගනය මේ දවස්වල දකින්නට පුළුවන්. ඉදිරියේ දී නිහාල් ප්‍රනාන්දු ගේ ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වීමට ආරාධනා ලැබුණා. ඒ වගේම ළමා චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වීමට ආරාධනාවක් තිබෙනවා.

* ඔබ මුලින්ම සිනමාවට සම්බන්ධ වෙන්නේ තිස්ස අබේසේකරයන්ගේ චිත්‍රපටයකින් නේද?

ඔව්, මම මුලින්ම තිස්ස අබේසේකරයන් ගේ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටයක් වුණු ‘තුන්කල් සිහිනය’ කියන චිත්‍රපටයට තමයි රංගනයෙන් සම්බන්ධ වුණේ. මගේ දෙවැනි චිත්‍රපටය වෙන්න තිබුණේ තිස්ස අබේසේකරයන්ගේම චිත්‍රපටයක් තමයි. ඔහු මිය යන්නට මාස කිහිපයකට පෙර මට කතා කළා. ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ මගේ චරිතය පිළිබඳව මට කිව්වා. ඒත් මගේ අවාසනාවකට වගේ තිස්ස මහත්තයා මිය ගියා.

* ‘වරිග පොජ්ජ’ චිත්‍රපටයට ඔබට කතා කරන්නේ ඊට පස්සෙද?

තිස්ස මහත්තයා නැතිවෙලා කාලයක් ගියාට පස්සෙයි මට චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට කතා කරන්නේ. ඒ මේ චිත්‍රපටයේ. මම හිතනවා ‘වරිග පොජ්ජ’ චිත්‍රපටය මිනිස්සු අතරට යාවි කියලා. මේක වැදි ගෝත්‍රයේ සිටින අය ගැන කතා කරන චිත්‍රපටයක්. ඒ නිසා ඒක ප්‍රේක්‍ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි.

* ‘වරිග පොජ්ජ’ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

දවසක් මම ටෙලි නාට්‍යයක ෂූට් එකේ ඉන්නකොට කෝල් එකක් ආවා. උදය කියලා කෙනෙක් තමයි කතා කළේ. කතා කරලා ෆිල්ම් එකක් තියෙනවා අයියේ අපි පොඩ්ඩක් කතා කරමුද කියලා ඇහුවා. මම කල්පනා කළේ මේක ලණුවක් ද දන්නේ නෑ කියලයි. ඒ වුණාට එයා ඊට පස්සේ දවසෙත් කතා කළා. අයියා ඇක්ට් කරපු ‘බොරදිය කඳුළු’ ටෙලි නාට්‍යය බලලා, තුෂාර හිතාගෙන ඉන්නේ මේ චිත්‍රපටයේ චරිතයකට අයියා තමයි නියමෙට ගැළපෙන්නේ කියලා කිව්වා. අපි ඊළඟට මුණ ගැසිලා මේ ගැන කතා කළා. මට පිටපත ලැබුණා. පිටපත කියෙව්වට පස්සේ මට හිතුණා හොඳ නිර්මාණයක් කියලා. මම ඒකට සම්බන්ධ වුණා.

* චිත්‍රපටය රූ ගත කෙරෙන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවල බවයි අපිට දැනගන්නට ලැබෙන්නේ. මේ ලැබුණු අත්දැකීම් එහෙම කොහොමද?

ෆිල්ම් එක දවස් තිස්පහක් පමණ ෂූට් කළා. ලංකාවේ ලස්සනම ප්‍රදේශවලටත් අපි ගියා. බෙලිහුල් ඔය, සිංහරාජ වනාන්තරය, හන්තාන කඳු මුඳුන, තන්තිරිමලේ ඇතුළු බොහෝ ප්‍රදේශවල දී චිත්‍රපටය ෂූට් කළා. ඒ සෑම තැනකම පෙනී සිටීමට මට වාසනාව ලැබුණා.

* චිත්‍රපටය නරඹන අයට පෙනෙන දෙයක් වන්නේ මේ චිත්‍රපටය රූගත කරන්න තරමක් මහන්සි වීමට සිදු වූ බවයි. ඔබට ඒ බව දැනුණේ කොහොමද?

මුල් දර්ශන පේළියේ එන ගල් ගුහාව තිබුණේ සැලකිය යුතු කන්දක් උඩයි. ඒ කන්ද උඩට නගින්නත් මට බොහොම අපහසු වුණා. අවසානයේ කඹවල ආධාරයෙන් තමයි මම කන්දට නැග්ගේ. ගල් ගුහාවෙන් බහින දර්ශනයේදීත් මාව ලිස්සුවා. ඒ සීන් එක දාසයපාරක් ෂූට් කළා. හරිගියේ දාහත් වැනි පාර ෂූට් කළ එකයි. උදේ ආරම්භ කළ ඒ ෂූට් එක අවසාන වුණේ හවස පහමාර විතර වෙලා. ඒ රූපරාමුව නියම ආකාරයෙන්ම එනකම් ෂූට් කළා. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

සමහර අවස්ථාවලදි හැතැම්ම හතර පහ පයින්මයි ෂූට් කරන තැන්වලට යන්න සිද්ධ වුණේ. වාහනවලින් යන්න බැහැ. ඒ නිසා ඒ කැලේ දුෂ්කර ගමනට බොහොම මහන්සි වෙන්න සිද්ධ වුණා. මේ චිත්‍රපටයේම තවදර්ශනයක් තිබෙනවා හොල්මනක් විදියට වතුර යට පෙනී සිටින දර්ශනයක්. ජගත් පීනන විට තමයි වතුර යටදී මාව දර්ශනය වන්නේ. ඒ අපි බැහැපු වළ අඩි හතළිහක්, පනහක් තරම් ගැඹුරුයි. මම එතැනදි රඟපෑවේ හොල්මනක් හැටියට. හොල්මනක් වතුරේ ඉඳිද්දී බුබුළු පිට වෙන්නත් බැහැ. ඒ වගේම පතුලට ගිය සැනෙන් ආයෙත් උඩට එන්නත් ඕනෑ. එක අවස්ථාවකදී මම බුබුළු පිට කරන්නේ නැතුව නිසොල්මන්වම වතුරේ සිටියා. එතනදි ඔවුන් මාව එකපාරටම ගොඩට ගත්තේ මගේ හුස්ම හිරවෙලා කියලා හිතලා. කොහොම නමුත් ඒ දර්ශනය රූගත කරන්න අපට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා.

තවත් අවස්ථාවක දී නිතරම ගල් උඩ ඇවිදින්නට අපට සිදුවෙන නිසා අපි යටි පතුලේ ෆ්ලාස්ටර් ගහගෙන තමයි ඇවිද්දේ. නවාතැනට ඇවිත් මමත් ජගතුත් ෆ්ලාස්ටර් ගැලෙව්වා. මම තෙමන්නැතුව එකපාරටම ෆ්ලාස්ටර් ගලවන්න ගිහින් මගේ යටිපතුලේ ප්‍රදේශයකම හම ගැලවිලා ගියා. ඊට පස්සේ ගල් උඩ ඇවිද්දේ බොහොම අමාරුවෙන්. මේ වගේ දුෂ්කරතා රාශියකට අපට මුහුණ දෙන්නට වුණත් ඇත්තටම චිත්‍රපටයේ රූගත කිරීම් කාලය බොහෝම සුන්දරයි.

* තුෂාර කියන අධ්‍යක්‍ෂවරයා මේ ක්ෂේත්‍රයට නවකයෙක්. ඒ වගේ කිසිම හැඳුනුම්කමක් නැති නවකයකුගේ නිර්මාණයකට දායක වෙන්න ඔබට තරමක් චකිතයක් දැනුණේ නැද්ද?

ඔහු ගැන මම හොයලා බැලුවා. ඒ වෙනකොට ඔහු චිත්‍රපට පිළිබඳ විදේශගත වී හදාරලා තිබුණා. ඊට පස්සෙයි මේ වැඩේට අතගහලා තිබුණේ. මම හිතාගත්තා ඒ වගේ කෙනෙක් සමඟ වැඩ කරනවා කියලා. අනිත් එක තමයි වැද්දන් පිළිබඳ කරන චිත්‍රපටයකදී අපට බොහොමයක් දකින්නට ලැබෙන්නේ අමුඩ ගහන, ලී කෑල්ලක් අතේ අරගෙන ඉන්න, සටන් කරනා පිරිසක්නේ. නමුත් එතැනින් එහා ගිය දෙයක් මේ චිත්‍රපටයේ දී සිදුවුණා. මේකේ වැඩිපුර මුල්තැන දුන්නේ රූපයට. හොඳ සිනමාපටයක තිබිය යුතු බොහෝ ලක්‍ෂණවලින් චිත්‍රපටය සමන්විත වුණා. ඒ නිසා මේ වගේ නිර්මාණයකට දායක වීමට ලැබීම මම සලකනනේ මගේ ජීවිතයේ දී මට ලැබුණු භාග්‍යයක් විදියටයි. අනෙක් කරණය වෙන්නේ මේ චිත්‍රපටයේ කිසිම තරුවක් රඟපාන්නේ නැති වීමයි. මේකෙ ඉන්න හැමෝම යමක් කරන්න හදන අය මිසක් තරු නොවෙයි. මම හිතන්නේ තරුවක් නැතිව රඟපාන ලංකාවේ එකම චිත්‍රපටය මේ නිර්මාණය වෙන්න ඇති. කවදාහරි තුෂාර කියන අධ්‍යක්‍වරයා ලංකාවේ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක් වේවි කියන පූර්ව නිගමනයක් මට ඔහු පිළිබඳ තිබෙනවා. ඒ ලකුණු ඔහු කෙරෙහි තිබෙනවා.

* ‘කව්වා’ ගේ චරිතය ප්‍රති නිර්මාණය කරගන්නට ඔබට ‘වනසරණ’ ටෙලි නාට්‍යයෙන් ලැබුණු අත්දැකීම් හේතු වුණාද?

‘වනසරණ’ ටෙලි නාට්‍යය රූගත කරන්නට පෙර දිගුකාල පරාසයක් අපට වැද්දෝ ඇසුරු කරන්න ලැබුණා. ඒ කාලයේ ලැබුව අත්දැකීම් මේ චරිතයට එකතු කරගන්නට ඇති කියලා මට හිතෙනවා. ඒ වගේම මාව හංවඩු ගැහිලා තියෙන්නේ බොහොම නරක චරිත කරන කෙනෙක් විදියටනේ. කොහොම නමුත් මේ චිත්‍රපටයේ ‘කිව්වා’ ගේ චරිතයට මම බොහොම ආදරෙයි.

* ජගත් මනුවර්ණ කියන දක්‍ෂ රංගන ශිල්පියාගෙන් ඔබට ලැබුණු සහයෝගය එහෙම කොහොමද?

ජගත් මනුවර්ණ කියන්නේ මම දකින නවපරපුරේ නළුවන් අතර සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු මේ විෂය පථය හොඳට හඳුනනවා. සමහර වෙලාවට මාත් සමඟ ඔහු පිටපත ගැන නිතරම කතා කරනවා. එකට වැඩකරන අය අතර ඒ වගේ ළෙන්ගතු කමක් බැඳීමක් තියෙන්න ඕනෑ. එතකොට තමයි වැඩේ පහසු වෙන්නේ. වර්තමානයේ ඉන්න පෙළක් නළු නිලියෝ අපිත් එක්ක කතා කරන්නෙවත් නෑ. ඒ අය හිතනවා ඇති අපිත් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා. එහෙම වුණාම එයා එකක් කරනවා. අපි තව එකක් කරනවා. රංගනය සාර්ථක වෙන්නෙ නෑ. නමුත් ජගත් එක්ක වැඩ කරද්දී එහෙම වුණේ නෑ. ඒ කාලසීමාවෙදි අපි බොහොම සහෝදර ප්‍රේමයෙන්, සහයෝගයෙන් වැඩ කළා.

* සිනමා කර්මාන්තයේ ඉදිරිය ගැන ඔබ මොකද හිතන්නේ?

සිනමාව කියලා ටීටර් හදන යුගයක චිත්‍රපට හදන්න කියලා මම ආරාධනා කරනවා. මේ චිත්‍රපටය බලනකොට ඒ වෙනස ඔබට දැනේවි.

* ඔබේ ඉදිරි කටයුතු පෙළ ගැසිලා තියෙන්නේ කුමන අයුරින්ද?

ළමයින් වෙනුවෙන් චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා. ඒ සඳහා පිටපත ලියමින් යනවා. ඒක කවදා වේවිද කියලා කියන්න නම් බෑ. මේ වනවිට ටෙලි නාට්‍ය පිටපතක් මම ලියලා තිබෙනවා. ඒ බිම්බානාගම නමින්. ඒකෙන් ටෙලි නාට්‍යයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. වේදිකා නාට්‍යයක් කිරීමේ පුංචි බලාපොරොත්තුවකුත් ඒ අතරම තිබෙනවා.