වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




කළුවරේ ජරමරේ වලක වැටිලා

කළුවරේ ජරමරේ වලක වැටිලා

දකුණු පළාතේ බෙලිඅත්ත ප්‍රදේශයේ විකට වැඩ සටහන් දෙකකට එක දවසක් මටත් ඇනස්ලිටත් සැමුවෙල්ටත් ආරාධනා ලැබුණා. අපේ කණ්ඩායම ඒ දවස්වල රටේ හිනි පෙත්තේම වැජඹෙන කාලයක්. රට වටේම ඉන්න සංවිධායකයෝ අපිව ගෙන්වා ගන්න පොරකන කාලයක්. රසිකයන්ගේ ඉල්ලුමත් අඩුවක් නැති කාලයක්. එදා බෙලිඅත්ත නගරයේ පැවති මේ විනෝද වැඩ සටහන බලන්න ප්‍රදේශයේ බොහෝ පිරිසක් ඇවිත් හිටියා.

එදා දවස මගේ ජීවිතයේ කිසිදා අමතක නොවන දිනයක්. ඉතිං ඔන්න අපි තුන් දෙනා පළමු වැඩ සටහන ඉතා හොඳට ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ සාර්ථකව නිමා කළා. සාමාන්‍යයෙන් සිරිතක් විදියට නාට්‍ය සංවිධායකයන් කරන්නේ පළමු වැඩ සටහන ඉවර වුණ පසු ඊට අදාල ගෙවීම් කිරීම. ඒත් එදා එහෙම වෙන පාටක් පෙනෙන්නට තිබුණේ නැහැ. සංවිධායකයන්ගේ ක්‍රියා කලාපය අපිට සැක සිතුණා. අපේ මුදල නොදී වංචා කිරීමට ඔවුන් සැරැසෙනවා කියලා අපට තේරුම් ගියා. ඒ හින්දම අපි ඔවුන්ගෙන් මුලින් ඉදිරිපත් කළ වැඩ සටහනට අපිට ගෙවිය යුතු මුදල් ඉල්ලා තර්ක කරන්න පටන් ගත්තා.

අපි දෙගොල්ල අතර දැන් කතාව දුරදිග යන කොට ඊළඟ වැඩ සටහනට නියමිත කාලයත් ළං වුණා. එත් මේ ප්‍රශ්නයට විසදුමක් නැති තරම්. වැඩ සටහනට නියමිත කාලය ඉක්මවලා යන කොට ප්‍රේක්ෂකයන්ගේ කුතුහලයත් එන්න එන්නම වැඩි වුණා. ඔවුන්ගේ සීමාව ඉක්මවලා ගිය ප්‍රේක්ෂකයෝ එක රොත්තට වේදිකාවට කඩාගෙන වැදුණා. දැන් එතන එකම ගාලගෝට්ටියක්. අපෙන් සල්ලි අරන් කෝ පෙන්වනවා කිව්ව නාට්‍යය කිය කිය එක එක අය සංවිධායකයන්ගෙන් ප්‍රශ්න කරනවා. ඔහොම ටිකෙන් ටික තත්ත්වය බරපතල වුණා. ඔන්න දැන් ඉතිං එකාට එකා ගහ ගන්නත් පටන් ගත්තා. නරඹන්නන් සී සී කඩ දුවන්න වුණා.

අපිත් ප්‍රදේශයට ආගන්තුක වුණ නිසාම ඇනස්ලිත් සැමුවෙලුත් මමත් මේ ජරමර අස්සේ ඔළුව හැරුණ අතේ දුවන්න පටන් ගත්තා. ඔය වෙන කොට බිම් කරුවලත් වැටිලා. මමත් ඉතිං දැන් මහ කළුවරේ ගල් මුල් උඩින් හිස හැරුණු අතේ දුවනවා. කොහෙද ඉතිං පාරක් තොටක් දන්න එකක්යැ. මෙහෙම ඉතිං දුවගෙන යන කොට මා පස්සේ බල්ලො රංචුවක් එලවන්නට වුණේ නැතෑ. දැන් මම උන්ගෙන් බේරෙන්න තවත් වේගය වැඩි කරලා දුවන්න වුණා. ඔහොම දුවගෙන යන කොට මාව ඇදගෙන වැටුණේ නැතෑ මහ කළුවරේ පාරක් අයිනේ තිබුණ ලොකු වලකට. දැන් ඉතිං මොනව කරන්නද, ගුටිකන එකෙන් බේරෙන්න පණ එපා කියලා දුවපු මම නන්නාඳුනන පළාතක කට්ට කළුවරේ මහ වලකට ඇද වැටුණාම හිතාගන්නකො තරම. අනේ ඉතිං මට දුවල මහන්සියයි වලට වැටුණ අමාරුවයි දෙකම අස්සේ මම ටික වෙලාවක් හති ඇරියා. වලෙන් ගොඩට එන්න ටික වෙලාවක ඉඳලා උත්සාහ කළත් මට තනිවම වලෙන් උඩට එන්න බැහැ. ආයේ ඉවුර කඩාගෙන ඇදගෙන වැටෙනවා.

බැරිම තැන මම මහ කළුවරේ වල ඇතුළේ ඉඳලා මහ හයිියෙන් කෑගැහුවා මාව බේර ගන්න කියලා. මගේ කෑගැහිල්ල ඇහිලා මම පස්සෙන් එලවන් ආ බල්ලොත් වල ඇතුළට හොම්බ දාගෙන මට බුරනවා. කොහොම හරි නාට්‍ය පෙන්වපු තැන ගාලගෝට්ටියක් කියලා ආරංචි වෙච්ච පොලීසිය එතනට ඇවිත් කොළඹින් ආපු කට්ටියට වුණේ මොකක්ද හොයන්න පටන් ගත්තා. ඒ අයට කළුවරේ දිව්ව ඇනස්ලියි, සැමුවෙලුයි හමු වෙලා. ඊළඟට මට මොකද වුණේ කියලා පොලීසියත් එක්ක හොයන්න පටන් අරන්. මොකද ඉතිං දැන් කාලේ වගේ ඒ කාලේ සෙල්ෆෝන් තිබුණැයැ. එහෙම වුණා නම් මචං ඇනස්ලි, මචං සැමුවෙල් මම වලක වැටිලා. ඇවිත් බේර ගනින් කියන්න තිබුණනේ. ඒ කාලේ මොන සෙල්ෆෝන් ද. ඔහොම කට්ටිය මාව හොයන කොට මම කෑගහන ශබ්දය ඇහිලා පොලීසිය සැමුවෙල්, ඇනස්ලි එක්ක වල ළඟට ආවා. ඒ කට්ටියම එකතු වෙලා මහ කරුවලේම මාව වලෙන් උඩට ගත්තේ ලොකු ජරමරයක් කරලා. මම වලෙන් ගොඩට එන්න හැම සෙල්ලමක්ම දැම්මා. ඒත් වැඩක් වුණේ නැති වෙලාවේ මම කල්පනා කළා අපි වේදිකාවට නැගලා කියන බොරුවලට පණ පිටින්ම මාව අපායට ගෙනි යන්න හදනවද කියලත්.