වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




එයා කොහේ හරි ඉඳන් අපි දිහා බලාගෙන ඇති

එයා කොහේ හරි ඉඳන් අපි දිහා බලාගෙන ඇති

සතිෂ් පෙරේරාගේ බිරිය කඳුලින් කියන අතීත මතක කතාව

කොවුලාගේ මිහිරි ගී නාදය දසත විහිදෙන වසත් සමය උදා වූවා පමණි. නැවුම්ව පිබිදුණු ගහ කොළ, නිලට නිලේ දළු ලා වැඩුණු අලුත් ගොයම් වසන්ත කාලයට ආසිරි පතනවා වැනිය. මුළු ලෝකයම වසත් සමයට ආසිරි පතද්දී දිනේෂාගේ වසත් කාලය ගෙවුණේ තම ආදරබර ස්වාමියාගේ සතුට සැනසුම වෙනුවෙනි.

සෑම වසරකම මෙන්ම මේ වසරේ ඇසුණ කොවුල් ගී නාදය වෙනදා මෙන් නොව ඕ හට දැනුණේ මහා අඳෙීනාවක් ලෙසය. සොබා දම් මාතාවගෙන් ලැබුණ සිසිලස ඕ විඳ ගත්තේ මහා කාෂ්ටක ග්‍රීස්මයක් පරිද්දෙනි. මේ 2012 වසරේ වසන්ත මාසයයි. සිංහල, හින්දු අලුත් අවුරුද්ද ලැබුව ද දිනේෂා අවුරුදු දා ගෙවුවේ ද රෝහල්ගතව සිටින තම සැමියාගේ කටයුතු වෙනුවෙනි.

අවුරුදු දින කිහිපයම ඕ තම පණ හා සරි සැමියාගේ රෝහල් සයනය අසල රැඳෙමින් ඔහු හට සියලු සත්කාර කළේ සංසාරගත පුරුද්දෙනි. ඒ බක් මස විසි දෙවැනි දිනයි. දිනේෂා සවස් යාමයේ තම සැමියාගේ ප්‍රියතම එළවලු සුප් කෝප්පයක් ද සාදා සැමියා වෙත පැමිණියාය. රාත්‍රී නවයේ කණිසම ආසන්න වන විට ඕ එය තම සැමියාට පෙව්වේ ආදර සෙනෙහස ද එක් කරමිනි. සැමියා රෝහල් ගත කළ දා සිට ඕ නිදිවර්ජිතව ගෙවනා හතලිස් දෙවැනි රාත්‍රිය ද මෙය විය.

ඒ රාත්‍රිය දිගු වැඩි යැයි ඈට සිතුණු වාර අනන්තය. මාස හතක් වයසැති සිඟිති දරුවා ඇගේ මවගේ තුරුලේ ඒ වන විටත් නිදි දෙව්දුව හා එක් වී ඇති බව ඇය අත්දැකීමෙන් දන්නීය. දරු සෙනෙහසත්, ස්වාමි භක්තියත් ඉහළින් සලකන දිනේෂාගේ ඇස් නින්දත් නොනින්දත් අතර තිබියදී පාන්දර හතරේ කනිසම ඔරලෝසුවේ සටහන් විය. වෙනදා නොදැනුණ පාළු මූසල බවක් මුළු රෝහල් භූමිය පුරාම දැනෙන බව ඇය හට සිතුණු වාර අනන්තය. පෞද්ගලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ සත්කාර ලබන තම සැමියාගේ උදෑසන කිරි කෝප්පය ද රැගෙන ඔහුගේ සයනය අද්දරට ගිය ඇයට වෙනදා නැති තැති ගැන්මක් හදෙහි දැනෙන්නට විය. පසෙකින් තම ඥාති සොහොයුරියක වූ අජන්තා අක්කා ද සිටි බව ඕ හට යාන්තම් මතකය. කිරි කෝප්පය පෙවීමට සැමියාගේ හිස අතගෑවා පමණි. මහා ඝන සීතලක් ඕ හට දැනුණි. වායුසමීකරණය නිසාවෙන් යැයි සිතූ ඕ ඔහු හිස රැඳි කොට්ටය ඉවත් කිරීමට සැරසුණා පමණි. ඔහුගේ දහදියෙන් එය තෙත් වී තිබිණි. ක්ෂණයකින් හෙදියක් ඇමතූ ඇය තම සැමියා පරීක්ෂා කරන ලෙස අයැද සිටියාය. ජීවිත කාලයක් පුරාවට ළඟින් ඉන්න පැතුම් පැතූ තම ආදරබර සැමියා ඇය හා එකම පුතු තනිකර ජීවිත ගඟුලෙන් එගොඩහට ගොස් සිටියේය.

තම ගායන පෞරුෂයෙන් ලොවක් වසඟ කළ ලයාන්විත ගායන ශිල්පියෙක් වූ සතිෂ් පෙරේරාගේ ජීවන ගමනේ අවසානය පසුදා සියලු මාධ්‍ය වාර්තා කළේ වසන්ත සමයේ මිලාන වූ ගී පුෂ්පය ලෙසයි.

සතිෂ් පෙරේරා ගේ සොඳුරු මතක අතරින් අද ‘පිය සටහන්’ හා එක් වන්නේ ඔහුගේ දයාබර බිරිඳ දිනේෂා ප්‍රසන්ති පෙරේරායි.

කාලයක් මමයි සතිසුයි යහළු යෙහෙළියෝ විදියට ආශ්‍රය කළා. ඒ 2006 අවුරුද්දේ විතර. ටික කාලයක් එහෙම ඉන්න කොට සතිෂ් අපේ ගෙදරට ඇවිත්, අපේ අම්මට කිව්වා මාව බඳින්න කැමැතියි කියලා. ඒත් කාලයක් යනකම් මම උත්තරයක් දුන්නේ නැහැ. එයා අවුරුදු තුනක් විතර යනකම් මගෙන් ඒ ගැන ඇහුවා. දිනේෂා එසේ පවසන විට ඇගේ නෙත් කෙවෙනි අගින් ගැලූ කඳුළු බිඳුවක් පුංචි පුතුගේ අත මතට වැටුණි.

කොහොම හරි දෙපැත්තේම ආශිර්වාද මැද 2010 වසරේදී අපි විවාහ වුණා. රටේ ප්‍රසිද්ධ කෙනෙක් වුණාට සතිස් හරිම නිරහංකාර කෙනෙක්. එයා නිතරම කිව්වේ ‘වෙන කෙල්ලකගෙන් මම ඇහුවා නම් එක පයින් කැමැතියි කියනවා. ඒත් ඔයා අකැමැතියි කියපු නිසාම මම ඔයාව කසාද බැන්දා’ කියලා. ඒ හඩ මට නිතරම ඇහෙනවා. ඕ හිස් අවකාශය දිහා බලමින් පවසන්නීය. අක්ෂිත් පුතුගේ හිස සිඹිමින් නැවතත් අතීත මතක අතර ඇය තනි වූවාය.

එයා රසට උයන්න ආසයි. ෆ‍්‍රයිඩ් රයිස්, චිකන් වගේම අලුත් තාලේ කෑම වර්ග මටත් වඩා හොඳට එයා හදනවා. එයාට සංගීත ප්‍ර‍්‍රසංග වැඩි හරියක්ම තියෙන්නේ රාත්‍රී කාලයට. ඒ නිසා සතිෂ් එයාගේ දින චර්යාව හරිම අපූරු විදියට සැලසුම් කරලා තිබ්බේ. නිතරම එයාගේ තාත්තගේ (ටී. ෂෙල්ටන් පෙරේරා) තබ්ලාව වයන්නත් ඇලුම් කළා. රාත්‍රියට ප්‍රසංගයක් තිබුණත් නැතත් පාන්දර තුන හතර වෙනකම් ඇහැරලා ඉන්නවා. උදේ හයට විතර තමයි නිදියන්නේ. ඒ වගේම හවසට කාටුන් බලන්නත් එයා හරිම ආසයි. ගිරිපුර ඇත්තෝ කාටුන් එකට ගොඩක් ආසයි. ඒ වගේම රට වටේ සංචාරය කරන්නත් ආසයි. බොහෝ තැන්වලට මාවත් එක්ක යනවා. ඒ වගේම සතිෂ් එයාගේ සහෝදර සහෝදරියන්ට, අම්මට දැක් වූයේ අප්‍රමාණ සෙනෙහසක්.

‘දවසක් තලවතුගොඩ අපේ ගේ ළඟට එයා ඉන්න වෙලාවක ලොතරැයි විකුණන අහිංසක මනුස්සයෙක් ආවා. සතිෂ් එයා ළඟ තිබුණ ඔක්කොම ලොතරැයි ටික ගත්තා. මම ඇහුවා ඇයි කියලා. ‘පව් ඒ මනුස්සයා මේ අව්වේ ඇවිදින්න යනවනේ. ඒ නිසයි ගත්තේ කිව්වා. එයා පිටට හැම වෙලේම නොපෙන්නුවට හරිම උණු වෙන හදවතක් තියෙන සංවේදී මනුස්සයෙක්. දිනේෂා ඔහුගේ සේයාරුවක් දෙස බලමින් පවසන්නීය.

‘මිල්ටන් සහ ෂෙල්ටන්’ ප්‍රසංගයට මම හරිම ආසයි කියලා සතිෂ් දන්නවා. එයා ඒ ප්‍රසංගයේ සිංග් කරන කොට මගේ දිහා බලාගෙන තමයි සිංග් කරන්නේ.

එයා හැම වෙලේම කිව්වේ මට අද සිංදු කියන්න බැරිව ගියොත් මාව දාල නොයන ගෑණියෙක් මට ඕනෑ වුණේ. එහෙම එක්කෙනයි හිටියේ. ඒ ඔයා කියලා හැමදාම වගේ මට කියනවා. එයා සරලකමට හරිම කැමැතියි.

එයා හැම වෙලේම කිව්වේ පිරිමි ළමයි කනට දාන කරාබු තුනේ ස්ටයිල් එක එයා නිසා ප්‍රසිද්ධ වුණා කියලා. මම බොරුවට රණ්ඩු කරන කොට සතිෂ් කවදාවත් මට බැනලා නැහැ.

‘එයා ගෙඩාක් ආසාවෙන් හිටියේ පුතෙක්ට. එයා ප්‍රාර්ථනා කරපු විදියටම සතිෂ් වගේම සුදුම සුදු පුතෙක් ලැබුණා. එයාට අපි අක්ෂිත් කියලා නම දැම්මා. එසේ කියන විට ඇගේ නිවහනේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණේ ෂෙල්ටන් පෙරේරා සූරීන් ගායනා කළ ‘බුදුනේ’ ගීතයයි. දිනේෂාගේ ඔඩොක්කුවේ සිට ගුවන් විදුලිය දෙසට ගිය කුඩා අක්ෂිත් ඒ ගීතයට හොඳින් සවන් යොමා සිටිනු දුටු මටත් අමිත්ටත් සිතුණේ උරුමයක සංගීත ලැදියාව ඇති අක්ෂිත්ගේ සංගීත ඥානය පිළිබඳයි.

‘අපි හරිම සතුටින් කාලය ගත කළා. පුතා ඉපදුණ අලුත තිබුණ සතිෂ්ගේ හැඟීම් විස්තර කරන්න බැහැ මට. එයාගේ මට තිබුණ ආදරේ තව තවත් වැඩි වුණා.

‘දවසක් හදිසියේම එයා අසනීප වුණා. නමුත් රෝහලට ගිහිල්ලත් එයා හරිම සැහැල්ලුවෙන් ඉන්න තමයි උත්සාහ කළේ. මුලින් කරපු පරීක්ෂණ වැරැදියි කියලා හිතලා එයා ආයෙත් ඒ පර්යේෂණම කළා. නමුත් වෛද්‍යවරු තහවුරු කළා එයාට පිළිකාවක් කියලා. එය දැනගත්ත වෙලේ ඉඳන් එයා ළඟ මම ඉන්නවට තමයි කැමැති වුණේ. කෑම කෑවත්, මොන දේ කළත් එයා ළඟ මම ඉන්න ඕනෑ. පුතා අම්මා ළඟ තියලා මම සතිෂ්ගේ හැම ඕනෑ එපාකමක්ම හොස්පිටල් එකේදී ඉටු කළා. එයාට හැම තැනම යහලුවෝ හිටියා. ඒ හැමෝම එයාව බලන්න ආවා.

‘හරියටම ඒ අවුරුද්දේ මාර්තු මාසේ 19 වැනිදා ඇන්ටන් ජූඩ් අයියා නැති වුණා. ඒ වෙලාවේ අපි එයාට ඒක කිව්වේ නැහැ. නමුත් එයා ඒක එතන තිබුණ පත්තරේකින් දැකලා මට කිව්වා ‘ඒ අහිංසකයත් නැති වුණා නේද’ කියලා එයා හරියට දුක් වුණා.

‘අවුරුදු දවස් ළං වෙන කොටත් එයා හොස්පිටල් එකේ. එයා නිතරම කතා කළේ පුතා ගැන. මම ගැන.

කොහොම හරි අප්‍රේල් විසි දෙවැනිදා රෑ 9 ට විතර එයාට එළවලු සුප් එකක් පෙව්වා. එයා ඒ වෙලාවෙ මා දිහා බලාගෙනම හිටියා. විසිතුන් වැනිදාට එළිය වැටෙන වෙලාවේ පාන්දර හතරට විතර මම එයා හිටිය අයි. සී. යූ. එකට කිරි එක හදාගෙන ගියා. අපේ ඥාති සොහොයුරියක් වන අජන්තා අක්කත් හිටියා. ඒ වෙලාවේ එ. සී. එකේ වුණත් සතිෂ්ගේ හිස පැත්තට දාඩිය දාලා තිබුණා. ඒ වෙලාවේ තමයි සතිෂ් එයා පිනවපු රසික ජනතාව වගේම, එයාගේ එකම පැතුම වුණ අක්ෂිත් පුතාවයි, මාවයි දාලා යන්න ගියේ. එයා මටයි පුතාටයි අවසන් ලියුමක් නොලියාම යන්න ගියා.

එයා නිතරම මම ඉස්සරහා කිව්වේ සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම කියලා. හැබැයි එදා එයාගේ සුන්දර මුහුණෙන්, නිහඬ නෙත් දෙකෙන් මා දෙස බලාගෙනම නොඑන්නම යන්න ගියා. මම කෑ ගහලා ඇඬුවේ නැතත්, මගේ හිත හැමදාම අඬනවා. බලන හැම තැනම මට සතිෂ්ව පේනවා. මම දන්නවා එයා එයාගේ ලෝකේ ඉඳන් මා දිහා, පුතා දිහා බලාන ඉන්නවා කියලා.

ටි. ෂෙල්ටන් පෙරේරාගේ කලා ඥානය සතිෂ්ට හිමි වුණා. ඒ ඥානය, ඒ සංගීත දැනුම අක්ෂිත් පුතා ඉදිරියට ගෙනි යයි. සතිෂ්ගේ හැම දායාදයක්ම අයිති අක්ෂිත්ට. සතිෂ් නැති මේ ජීවන ගමන ගෙනි යන්න මට ශක්තියක් වෙන්නේ අක්ෂිත් පුතා. එයාට දැන් අවුරුදු තුනයි. එයාගේ තාත්තා බලාපොරොත්තු වුණ තැනට අක්ෂිත්ව ගෙනි යන එක සතිෂ් වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකුම දේ.

එයා කොහේ හරි ඉඳන් මමයි පුතයි දිහා බලාගෙන ඇති. ලබන ආත්මෙත් සතිෂ් මගේම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.