වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ආදරයට මම හරිම ආදරෙයි

මගේ ආදරයට මම හරිම ආදරෙයි

පැතූ පෙම් පැතුම් මල් හිනහිලා
ගැලූ පෙම් ගගුල් දැන් ඉතිරිලා
අහන්නේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා . . .

රිදී තිරය මත පියාඹා ගිය වත්මන් සිනමාවේ සිහින කුමාරයා සැබෑ ජීවිතයේ තටු ලබා අනන්තය පුරා පියාඹා යන දවස වැඩි ඈතක නෑ කියලා වටින් පිටින් අපට දැනගන්න ලැබුණා. හිරි පොද වැස්සේ තෙමෙමින් තිරයට ආ ඔහු ඔහුටම ආවේණික වූ ආකර්ෂණීය රංගනයෙන් සෙලොලයිඩ් පටයට නව ගැම්මක් දුන්නාය. ආසයි මං පියාඹන්න කියමින් රිසි සේ තටු සලා ගිය ඔහු මොහොතක් නතර වී අපට කීවේ සුවඳ දැනුණා ජීවිතේ කියාය . . .

අද ඒ සුවඳ දැනුණ ජීවිතය රෝස වසන්තයක් වී තිබේ. වෙනදාටත් වඩා සතුටින් ඔහු මේ කියන්නේ ඒ ගැනයි. ‘ළඟදීම මම යුග දිවි ගමන් අරඹනවා’

තිරයේ දිදුලන තරු කැට හෝ ගාලා කැදලි තනාගෙන එක්තැන් වෙන මේ මංගල වසන්තේ රණවන නාමය තිරයේ රන් අකුරින් ලියූ රන් සමනළයාටත් ගේ මංගල සීනු හඬලලා . . . පැතූ පෙම් පැතුම් ඉටු වූදා ඔහු ඉන්නේ නම් පුදුමාකාර සතුටකින්. ඒ බව කතා කරද්දීම මට වැටහුණා.

‘හෙලෝ රොෂාන් මම සරසවිය පුවත්පතින් කතා කරන්නේ . . .’

‘ම් . . . මම දැනගෙන හිටියා කොයි මොහොතේ හරි සරසවිය මට කතා කරනවා කියලා’

‘ජීවිතයේ අලුත් වෙනසක් ඇති වෙන්න යනවා කියන්නේ ඇත්තද?’

‘ඔව්. මේ අවුරුද්දේ මම විවාහ වෙනවා’

‘හදිස්සියේ ප්‍රොපෝසල් එකක්ද?’

‘අපෝ නෑ’

‘එහෙනම්?’

‘දීර්ඝකාලීන ප්‍රේම සම්බන්ධයකින්’

‘ඒත් මේ මෑතක් වනතුරු ඔබ කීවේ පෙම්වතියක් නෑ කියලානේ’

‘ඔව්. මම එහෙම කිව්වා. ඒ තනි මතයට අදහස් ප්‍රකාශ කරන්න බැරි නිසා’

‘මට පැහැදිලි නෑ රොෂාන්?’

‘එයා කැමැති වුණේ නෑ මාධ්‍යයට කියන්න. හැම දේම හරියටම ස්ථිර වූ පසු කියමු කියලා කිවේ’

‘ඒ කියන්නේ ස්ථිර අදහසක් ඇතුව නෙමේද ආදරය කළේ?’

‘ මෙහෙමයි, අපි දෙන්නට අපි දෙන්නා තේරුම් ගන්න කාලයක් අවශ්‍ය වුණා. අපේ සිතුම් පැතුම් අවබෝධ කරගන්න කාලයට ඉඩ දුන්නා. ඒ කාලය තුළ මම පෙම්වතියක් ඉන්නවා කියලා මාධ්‍යයට කියලා බැරි වෙලා හරි සම්බන්ධය නැති වුණා නම් ඒක මට වාගේම ඇයටත් හරි නැහැ කියලා මම හිතුවා. විශේෂයෙන් ඇය බොහෝම පාඩුවේ නිශ්ශබ්දව ජීවත් වෙන කෙනෙක්. අනික මුලදී අපේ ගෙවල් මේ ගැන දැනගෙන හිටියෙත් නෑ. ඉතිං හැම දේම පිළිවෙළක් වනතුරු ඉන්න වුණා.

‘ඒත් ඔබ මුල ඉඳන්ම රසිකයින්ට පෙම්වතියක් නෑ කියලා ඒ අය මුලා කළා නොවේද?’

‘රසිකයින්ගෙන් මම සමාව ඉල්ලනවා. කවදාවත් මට ඒ අයව මුලා කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඇය දැන්ම මේ ගැන මාධ්‍යයට කියන්න එපා යැයි කියද්දී හිතුවක්කාරයකු වෙන්න මට බැරි වුණා. මොකද මම මගේ ආදරයට හරියට ආදරය කරනවා. සියල්ලට වඩා වටින්නේ කෙනෙකුට තමුන්ගේ ආදරය නේද?

‘දැන් ඇය කැමැති ද මාධ්‍යයට මේ ගැන කියන්න?’

ඔව්. සියල්ල ස්ථිර වෙනතුරු හිටියේ. දෙපැත්තේම ගෙවල්වලින් පවා ආශිර්වාදය ලැබුණා. ළඟදීම විවාහ වෙන්න ඉන්න නිසා තවත් හංගන්න අවශ්‍ය නෑනේ.’

‘හරි තීරණයකට එන්න මෙච්චර කල් ගියේ ඇයි?

ප්‍රේමය කියන්නේ ඕනෑම කෙනෙකුට පෞද්ගලික දෙයක්. ඇය අද ඉඳලා හෙට නැතුව ගියත් මොනවද වෙන්නේ. කාලයක් ඇසුරු කිරීමේදී මගේ ජීවිතයට සුදුසුම ඇය කියන එක මට වැටහුණා. ආදරයට අවදි වෙන්න කාලයක් අපි දෙන්න ඕනෑ. දැන් ඉතිං හැම දේම හරි.

‘තවත් ඉතිං ඇයි මේ හංගන්නේ රොෂාන්?’

හංගනවා නෙමේ. මම දැන් පෙම්වතකු කියන එක හැමෝම දන්නවානේ. මට තව ටික දවසක් දෙන්න. සරසවිය තුළින්ම ඒ ගැන කියනවා.

‘ඈ කලාවට සම්බන්ධයිද?’

නෑ. ඇය කලාව රස විඳිනවා මිස කලා කටයුතු තුළ නියැලෙන්නේ නෑ.

‘ඔව්. මේ සම්බන්ධයට කොච්චර කල්ද?’

අවුරුදු එකොළහක්.

‘හප්පේ හංගන් හිටියේ කොහොමද ඔච්චර කල්?

මම මුලිනුත් කීවේ වෙලාව එනතුරු නිශ්ශබ්දව උන්නා කියලා.

‘ඉතිං ඇය ඔබ බලාපොරොත්තු වූ කෙනාමද?

ඔව්. මම ඇයගේ ගතිගුණවලට කැමැතියි. ඇත්තටම මගේ හිතේ හිටපුම කෙනා තමා මේ.

‘රොෂාන් ඔබට චෝදනා ආවොත් ජනප්‍රියත්වය නැති වේ යැයි ඔයාට ආදරය හැංගුවා කියලා?’

රසිකයින් පටු විදිහට හිතන්නේ නෑ. ජනප්‍රියත්වය වෙනසක් නැතුව මට තියෙනවා. එහෙන නම් ඉතිං ෂාරුක් ඛාන් දිහා බලන්න. විවාහ වුණා. දරුවන් ලැබුණා කියලා ඔහුගේ ජනප්‍රියත්වය අඩු වුණා ද? නෑ . . . නේද?

‘ඔබේ මිතුරිය පූජා දැනගෙන හිටියේ නැද්ද ඔබේ ආදරය ගැන?

ඇය දැනගෙන උන්නා පමණක් නෙමේ පූජා ඇයව මුණ ගැසුණා. ඇත්තටම පූජා අපේම වෙලාවට මේ ගැන මාධ්‍යයට මුකුත්ම කීවේ නෑ. ඇය අවංක හොඳ හිතක් ඇත්තියක්.

‘ඉතිං දැන් තිරයේ පෙම් චරිත කරද්දී පෙම්වතියට ඊර්ෂ්‍යා හිතෙයිනේ?’

‘අනේ එයා පටු අදහස් ඇත්තියක් නෙමේ. පුළුවන් කාලයක් වෙනතුරු පෙම් චරිත කරනවා. පෙම් රැඟුම් කැමරාව ඉදිරියේ පමණයි කියලා ඈ දන්නවා.

‘ඉතිං කවදා වගේ ද මේ සුභ කටයුත්ත සිදු වෙන්නේ රොෂාන්?

ළඟ ළඟම ඒ දවස උදා වෙනවා. හිත ගිය තැන මාළිගාව මැවුණා. අපි හරිම ආදරයෙන් ඉන්නවා. වැනෙන හිතක් අපිට නෑ. හැබැයි මේ ජීවිතේ හෙට දවස ගැන කියන්න මට බෑ. දැනට මංජුල ඔය ටික ඇති කියලා මට හිතෙනවා. දින ළං වුණාම සියලුම විස්තර කියන්නම්.

ඔව් එහෙම නම් ඉතිං මේ ඔබේ හිත . . . මොනවා නමුත් අපි හදවතින්ම සතුටු වන අතර සුභ පතනවා. දැනුණ සුවඳ ජීවිතේ සදාකල් රැඳේවා කියා. රිදී තිරයේ කාගෙත් හිත දිනූ ඔබ කවදත් නිහතමානී මිතුරකු බව අපි දන්නවා. . . . එහෙම නම් ගැලූ පෙම් ගඟුල් ඉතිරී යන ඒ දවසට තවත් බොහෝ දේ ලියන්න ඉඩ තබා සමු ගමු. වාසනාවන් . . . වාසනාවන් ඔබේ දිවි මඟ වාසනාවන්. සුවහසක් මල් පිපේවා ! ! !