වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




මොරටුව කලා එකමුතුවේ වාර්ෂික මහා සභාව 30 වැනිදා

මොරටුව කලා එකමුතුවේ වාර්ෂික මහා සභාව 30 වැනිදා

මොරටුව කලා එකමුතුවේ 20 වැනි වාර්ෂික මහ සභා රැස්වීම මෙම මස 30 වැනිදා මොරටුව ශ්‍රීපාලි උත්සව ශාලාවේදී පැවැත්වේ. එහි සභාපති ගායිකා ලාංකිකා පෙරේරා මෙහිදී මුලසුන හොබවනු ලබයි.


පවර මෙනුවර එළි දකී

කලකට ඉහත දී රූපවාහිනියේ විකාශය වූ ජනප්‍රියම ටෙලි සිතුවමක් වන සංකල්ප ගුණවර්ධනගේ පවර මෙනුවර ඩී. වී. ඩී. තැටිය පසුගියදා එළිදැක්විණ. ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, දේවිකා මිහිරාණි, මීනා කුමාරි, සේමිණී ඉද්දමල්ගොඩ, එඩ්වඩ් ගුණවර්ධන, භද්‍රා නන්දනී, ධර්මප්‍රිය ඩයස්, සුසිල් ගුණරත්න, දයාදේව එදිරිසිංහ, සංදීපා සෙව්මිණි, සුරංගි රුවන්මලී, ෆීලික්ස් ප්‍රේමවර්ධන, රංජිත් සිල්වා, සමන්ති ලැනරෝල්, නීතා සමරනායක මෙහි චරිත මැවූහ. සංකල්පගේම නිෂ්පාදනයක් වන මෙහි කැමරාව කේ. ඒ. ධර්මසේන මෙහෙය විය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කේ. බී. හේරත් තිර රචනයෙන් ද, කුමාර ගල්මරුව සංස්කරණයෙන් ද, මංගල ප්‍රනාන්දු සංස්කරණයෙන්ද මෙයට දායක විය.


ශාන්ති ගීතදේවට – හේමපාලට විශාඛා සම්මාන

සිංහල සංගීත ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කළ පණ්ඩිත් ශාන්ති ගීතදේව සූරීන් සහ ප්‍රවීණ බටනළා ශිල්පී හේමපාල පෙරේරා පසුගියදා සපුගස්කන්ද විශාඛා බාලිකා සිසුවියන් අතින් සම්මානයට පාත්‍ර විය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති විද්‍යාලයීය සෞන්දර්ය අංශයේ රසෝඝා වාද්‍ය වෘන්දයේ එළිදැක්ම අතරතුර විදුහල්පතිනි ප්‍රියන්ති සමරවීර මහත්මිය අතින් මෙම සම්මාන පිරිනැමිණ.