වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




2013 ජනපි‍්‍රයම බොලිවුඩ් චිත්‍රපට

2013 ජනපි‍්‍රයම බොලිවුඩ් චිත්‍රපට

ෂාරුක් ඛාන් පරදා අමීර් ඛාන් නැගී සිටී ඩූම් 3 බොලිවුඩ් මුලට

ලොවපුරා සිනමා ලෝලීන් ගේ අවධානය දිනාගත් බොලිවුඩ් සිනමාවෙන් පසුගිය වසරේ ද චිත්‍රපට රැසක් ප්‍රේක්‍ෂකයන්ට තිළිණ කෙරිණි.

ඒ අතර හොලිවුඩ් නිර්මාණයන්ට පවා අභියෝගක් වෙමින් තිරයේ පෙරළිකාර චිත්‍රපටයක් බවට පත්වීමට ‘ඩූම් – 3’ චිත්‍රපටය සමත් වී තිබේ. ආදායම් වාර්තා අතර පෙරමුණේ සිටින විජේ ක්‍රිෂ්ණාචාර්ය අධ්‍යක්‍ෂණය කළ ඩූම් – 3 චිත්‍රපටය යෂ්රාජ් ෆිල්ම්ස් වෙනුවෙන් ආදිත්‍ය චොප්රා ගේ නිෂ්පාදනයකි.

එය ඉන්දියාව තුළ ප්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් කෝටි 360 ක් වාර්තා කළේය. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය ඩූම් චිත්‍රපට මාලාවේ තෙවැන්නයි.

පසුගිය දෙසැම්බර් 20 වැනි දා තිරගත වීම ආරම්භ කළ ඩූම් – 3 මේ වනවිටත් ඉතා සාර්ථක ලෙස ලොවපුරා ප්‍රදර්ශනය කෙරේ. අමීර් ඛාන්, අභිෂේක් බච්චන්, කත්‍රිනා කායිෆ්, උදය චොප්රා, ජැකී ශ්රොෆ් මෙහි රංගනයෙන් දායක වෙති.

බොලිවුඩයේ සුපිරි තරු යුගලක් වන ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් රංගනයෙන් දායකවන ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ චිත්‍රපටයද බොලිවුඩයේ ඉහළ ආදායම් චිත්‍රපට ගොන්නෙහි දෙවැනි ස්ථානයේ පසුවේ.

පසුගිය වසරේ අගෝස්තු සිට තිරගත වීම ආරම්භ කළ එය ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 301 ක් වේ. රෝහිත් ෂෙට්ටි අධ්‍යක්‍ෂණය කළ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉහළම ආදායම් ලද හින්දි චිත්‍රපට අතර දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත්ව ඇත.

කොයි මිල් ගයා, ක්‍රිෂ් චිත්‍රපට පෙළෙහි අලුත්ම චිත්‍රපටය ලෙසින් රිදී තිරයට පැමිණි ‘ක්‍රිෂ් -3’ ඉන්දීය රුපියල් කෝටි 300 ක ආදායම් වාර්තාකර තිබේ.

රාකේෂ් රෝෂන් අධ්‍යක්‍ෂණය කළ සුපිරි වීරයකුගේ කතාවක් රැගත් ක්‍රිෂ් -3 චිත්‍රපටයේ රිතික් රෝෂන්, විවේක් ඔබ්රෝයි, පි‍්‍රයංකා චොප්රා රංගනයෙන් දායකවේ. එමෙන්ම ලොව ඉහළම ආදායම් වාර්තා කළ හින්දි චිත්‍රපට ලැයිතුවේ ක්‍රිෂ් -3 චිත්‍රපටයට හිමි වන්නේ සිව්වැනි ස්ථානයියි.

අයාන් මුඛර්ජි අධ්‍යක්‍ෂණය කළ ‘යේ ජවානි හේ දිවානි’ චිත්‍රපටය පසුගිය වසරේ ඉහළ ආදායම් වාර්තා කළ බොලිවුඩ් චිත්‍රපට අතර සිව්වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත. රන්බීර් කපූර්, දීපිකා පදුකෝන්, ආදිත්‍ය රෝයි කපූර් රංගනයෙන් දායකවන ආදරය සහ හාස්‍යය රැගත් අපූරු කතා පුවතක් රැගෙන එන යේ ජවානි හේ දිවානි ඉන්දීය රුපියල් කෝටි 253 ක ආදායමක් වාර්තා කළේය.

තවද ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉහළම ආදායම් වාර්තා කළ හින්දි චිත්‍රපට අතර හයවැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත් විය.

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්‍ෂණය කළ නවතම චිත්‍රපටය ‘රාම් ලීලා’ සිනමා සිත්තම ද ඉහළ ආදායම් වාර්තා කළ චිත්‍රපටයක්. රෝමියෝ- ජුලියට් පෙම් කතාව පාදකකර ගනිමින් නිර්මාණය වූ රාම් ලීලා හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රන්වීර් සිං සමඟින් දීපිකා පදුකෝන් විසිනි.

රාම් ලීලා ඉන්දීය රුපියල් කෝටි 110 ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. පසුගිය වසරේ ජූලි මස තිරගත වීම ආරම්භ කළ භාග් මිල්කා භාග් එම වසරේ ඉහළ ආදායම් වාර්තා අතර සිටින්නේ හයවැනි ස්ථානයේ ය.

සුප්‍රසිද්ධ ඉන්දීය ජාතික මලල ක්‍රීඩකයකු ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණු එය ඉන්දීය රුපියල් කෝටි 103 ක ආදායමක් වාර්තාකර තිබුණි. රාකේෂ් මෙහෙරාගේ අධ්‍යක්‍ෂණයක් වන මෙහි ෆර්හාන් අක්තාර්, සෝනම් කපූර්, දිව්‍යා දත්තා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

ඉන්ද්‍ර කුමාර් අධ්‍යක්‍ෂණය කළ ‘ග්‍රෑන්ඩ් මස්ති’ ඉන්දීය රුපියල් කෝටි 102 ක් වාර්තා කරමින් ඉහළම ආදායම් ලද බොලිවුඩ් සිනමාපට අතර හත්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත.

අනිල් කපූර්, සයිෆ් අලි ඛාන්, දීපිකා පදුකෝන්, ජෝන් ඒබ්‍රහම්, ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් රංගනයෙන් දායකවන ‘රේස් -2’ චිත්‍රපටය ට හිමි වන්නේ අටවැනි ස්ථානයයි.

ප්‍රේමණීය කතා පුවතක් ගෙනෙන ආශික් –2 චිත්‍රපටයට හිමි වී ඇත්තේ නම වැනි ස්ථානයයි.

එය ඉන්දීය රුපියල් කෝටි 85 ක ආදායම් වාර්තා කළේය. පසුගිය වසරේ ආදරවන්තයන් ගේ දිනය නිමිතිකර ගෙන තිරගත කිරීමට බලාපොරොත්තු වුවත් එය තිරගත කිරීම අප්‍රේල් මාසයේ දී සිදු කෙරිණි. මොහිට් සුරී අධ්‍යක්‍ෂණය කළ ආශිඛි –2 හි ආදිත්‍ය රෝයි කපූර් සමඟින් ශර්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරති.

ඉහළ ආදායම් ලද බොලිවුඩ් චිත්‍රපට පෙළෙහි දසවැනි ස්ථානය හිමිවන්නේ අක්ෂේ කුමාර් රංගනයෙන් දායකවන ‘ස්පෙෂල් චබ්බීස් (26)’ චිත්‍රපටයට යි. නීරජ් පාණ්ඩේ අධ්‍යක්‍ෂණය කළ එය ඉන්දීය රුපියල් කෝටි 70 ක ආදායමක් වාර්තා කළේය.