වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝන්ට පුළුවන් නම් බිපාෂාට බැරි ද?

ජෝන්ට පුළුවන් නම් බිපාෂාට බැරි ද?

නව වසරක ප්‍රේමය අමතක කර, ජෝන් ඒබ්‍රහම් හොර රහසේම විවාහ වීම බිපාෂා බාසු දරා ගන්නේ කෙසේ ද? ඔහු කළ දෙයට විවාහයෙන්ම පිළිතුරු දීමට බිපාෂා සූදානමින්ය.

හර්මන් බවේජා ඇයගේ අත ගන්නා කඩවසම් පිරිමියායි. තිස් තුන් හැවිරිදි හර්මන් බවේජා ‘ලව් ස්ටෝරි 2050’ සිනමාපටයෙන් රංගන ජීවිතය ඇරැඹුවේ 2008 දීයි.

තිස් පස් හැවිරිදි බිපාෂා පවසන්නේ තමන් හර්මන් සමඟ විවාහ වීමේ තීරණය ගත්තේ ජෝන් ඒබ්‍රහම් විවාහය ගැන පුවත ට්ව්ටර් වෙබ් අඩවියෙන් දැනුම් දිමට පෙර කියායි.

විවාහ වීමට තීරණය කර ඇතත්, ඔවුන් විවාහයේ සැලසුම් ලොවට හෙළි කරනු ඇත්තේ හර්මන් රැඟූ ‘දිෂ්කියාන්’ අගෝස්තු මාසයේදී තිරගත වූවාට පසුවයි.

බිපාෂාගේ මාපියන් සහ හර්මන්ගේ මාපියන් දැනටමත් හමු වී මේ ගැන කතාබහ කර අවසන්ය.

හර්මන්ගේ පියා ද චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. බිපාෂාගේ සමීපතම මිතුරියක පැවසුවේ 2014 වසරේදී දෙදෙනා විවාහ වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මුලින්ම මාධ්‍යයේ උකුසු ඇසට බිපාෂා සහ හර්මන් ඇස ගැසී තිබෙන්නේ උපන් දින සාදයකදීයි.

ඒ 2012 වසරේ දෙසැම්බරයේදීයි. යළි බිපාෂාගේ උපන් දින සාදයේදී දෙදෙනා එක්ව සිටිනු දැක තිබේ. පසුගිය ඔක්තෝබරයේදීත් දෙදෙනා ලන්ඩනයේදී මුණ ගැසී ඇත.

මේ අතර දියා මිස්රාගේ සහ සහීල් සංගාගේ විවාහ උත්සවය දෙවැනි වරට ද කල් දමා තිබේ.

පසුගිය නොවැම්බරයේදී දියාගේ විවාහය කල් ගියේ මවගේ අසනීපය නිසයි. මෙවර හේතුව නම් අප්‍රකටයි.