වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




බර්ටි ඉටි රූපයක් වුණ හැටි

බර්ටි ඉටි රූපයක් වුණ හැටි

මාත් ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු අපේ තුන් කට්ටුව වගේම ගැමුණු විජේසූරිය, ධර්ම ශ්‍රී මුණසිංහ, මර්සි එදිරිසිංහ, සුනිල් හෙට්ටිආරච්චි, විජේරත්න වරකාගොඩ ඇතුළු පිරිසක් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීමකට අනුව ප්‍රසංග කීපයක් පැවැත්වීමට ලන්ඩනයට ගියා. ඒක හරිම සාර්ථක ප්‍රසංග මාලාවක්. අපි සති දෙකක් එහි ගත කළා. ලන්ඩන්වාසීන් බඩ අල්ලන් හිනා වුණා.

අපි ලන්ඩන් නුවර නැවතිලා හිටියේ ශ්‍රී ලාංකික හිතවතකුගේ නිවසක. රාත්‍රී කෑමට අපි සියලු දෙනා එකට එකතු වුණාම ඒ පුංචි නිවස රංග ශාලාවක් වෙනවා ඇඟපතටත් නොදැනීම. එකෙකුට එකෙක් නොදෙවෙනි ලෙස කරගන්නා කවටකම් නිසා කාලය ගත වෙනවාත් එළිවෙනවාත් අපට දැනෙන්නේ නැතිතරම්.

මේ සංචාරයේදීී අපට ලැබෙන විවේකයත් සමඟ අපිත් ගියා මේ නගරයේ තියෙන නොයෙක් ස්ථාන නරඹන්න. ඒ අතරින් එක් ස්ථානයක් වුණේ ලෝක ප්‍රකට ඉටි රූප කෞතුකාගාරයයි. ඒ කියන්නේ මැඩම් සුසාඩ්ගේ ඉටි රූප කෞතුකාගාරයයි. එය නැරැඹීමට දිනපතා දහස් ගණනින් විවිධ රටවලින් මෙහි පැමිණෙනවා.

අපි ඉතින් ඇහැට කනට පෙනෙන ගෑනු ළමයෙක් දැක්කමත් කියනවනේ ලස්සන ඉටි රූපයක් වගේ කියලා. ඉතිං අපේ කණ්ඩායමත් මේ කෞතුකාගාරයට ඇතුළු වුණේ එහි තියෙන අපූරු නිර්මාණ පිළිබඳ අසා තිබූ දේවල් සත්‍යදැයි සියැසින්ම දැක බලා ගන්න.

වැල නොකැඩී සෙනඟ ඇදෙන ඉටි රූප කෞතුකාගාරය ඇතුළට ගිය මගේ නෙත් අදහාගන්න බැරි තරමට මාව පුදුමයට පත් කළා.

කෞතුකාගාරය ඇතුළට ගියාම මට හිතුණේ එක්සත් ජාතීන්ගේ සමුළුවට ගියා වගේ. මොකද එහි ලෝකයේ සෑම රටකම පාහේ රාජ්‍ය නායකයන් ජීවත්වෙනවා වගේ හැඟීමක් මට ආවා.

මේ හැම රූපයක්ම නිර්මාණය කරලා තියෙන්නේ ජීවමාන ස්වරූපයෙන්. විවිධ සොයා ගැනීම් කළ විද්‍යාඥයන්, කලාකරුවන්, ක්‍රීඩකයන්, ආගමික හා දර්ශනවාදීන් ලෝක ප්‍රකට චරිත සිය ගණනක් මේ ඉටි රූප කෞතුකාගාරයේ ඉටි රූප ලෙස පවතිනවා.

ඒ ඒ පුද්ගලයාගේ සැබෑ රූපකායේ සියලු ලක්ෂණයන් සමඟ ඒ චරිතවල ජනප්‍රිය ඉරියවුවෙන් උසට මහතට, වර්ණයට ගැළපෙන ආකාරයට මේ නිර්මාණ කර තිබෙන නිසා ඒ නිර්මාණ ජීවමානභාවයෙන් කැපී පෙනෙනවා. කොටින්ම ඇත්ත කෙනයි ඉටි රූපයයි එකට තිබ්බොත් හරි මොකක්ද කියලා හිතාගන්න බෑ.

මෙහි එන හැම කෙනෙක්ම ඉටි රූපවලින් පෙන්වන චරිතවලට දක්වන ගෞරවය දැකලා මටත් අමුතුම අදහසක් පහළ වුණා. බැරි වෙලාවත් බර්ටි ගුණතිලකගේ රූපයකුත් මේ විදියට කෞතුකාගාරයේ නිර්මාණය කළොත් මෙහි පැමිණෙන අය මොනවා කියයි ද කරයි ද කියලා මට හිතුණා. ඒත් ඒක ඒ වෙලාවෙම බලා ගන්නේ කොහොමද කියලත් මට හිතුණා.

මගේ තිබුණ ආශාවට ක්ෂණිකව මම කළේ එම ඉටි රූප අතරට රිංගලා ඉටි රූපයක් වගේ නොසැලී ඇහිපිල්ලම් නොගසා සිටීමයි. ඉන්න එක කොහොම වුණත් ඇහිපිල්ලම් නොගහ ඉන්න එක තමයි අමාරුම කාර්ය වුණේ. ඇතැම් වෙලාවට එහි එන සුදු ජාතික රූමත් කාන්තාවන් දැක්කම ඇහිපිල්ලම් ගහන්නත් ඉබේම අමතක වෙනවා.

ඒත් ඉතිං ඒ අය මාව පාස් කරල යන කොට බෙල්ල හරවලා බලන්න බැරි වුණාම තමයි හිතට දුක. මේ විදියට ඉන්න කොට මට හිතට බයකුත් දැනුණා. ඒත් නරඹන්න ඇවිත් ඉන්න අයට මම ගැන අමුත්තක් දැනුණේම නෑ. ඇත්තම ඉටි රූප දිහා බලන ගමන්ම මගේ දිහාත් බලා ගෞරව කරලා යනවා. ඒ වෙලාවට මට හිත ඇතුළෙන් හිනාත් යනවා.

මගේ ළඟින් යන ඇතැම් අය අනෙක් චරිතවලට වගේම මගේ දිහාටත් ඇඟිල්ල දිගු කරලා මොනව දෝ කිය කියා යනවා. ඒත් ඒ කාටවත් හිතුණේ නැහැ මේ සැබෑ බර්ටිමයි කියලා. සිය ගාණක් පෝලිමට මාව බලාගෙන ඉදිරියට ගියේ කොහේ හෝ රටක ජීවත් වූ හෝ දැනට ජීවත් වන ජනප්‍රිය චරිතයක්, පුද්ගලයෙක් වෙන්න ඇති කියලා හිතාගෙන. ඒ බව මට ඒ අය දක්වපු ගෞරවයෙන් කතාබහෙන් වැටහුණා.

මේ ආකාරයට මම ටික වෙලාවක් ඉටි රූපයක් වෙලා ඉන්න කොට කොහේදෝ රටක පාසල් දරු දැරියන් පිරිසක් ඉටි රූප බලන්න ඇවිත් පෝලිමේ මගේ ඉදිරියෙන් ඇදෙන්න වුණා. ඒ ළමයි සමඟ ආපු ගුරුවරු, මාපියෝ මා දිහාත් බලා මටත් ගෞරව කරලා යන්න ගියා. ඒ අතරින් ආපු ටිකක් දඟකාර දැරියක් මගේ ඉදිරිපිටින් ගිහින් ආපහු හැරුණ. යළිත් වරක් මම ළඟට ආවා.