වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මම බීම නවත්තලා අවුරුදු විසි හතක්

මම බීම නවත්තලා අවුරුදු විසි හතක්

බයිලා රජා ඩෙස්මන්ඩ් ද සිල්වා සමඟ රසවත් කතාබහක්

බයිලා ලොවේ සැබෑම පෙරළිකාරයා ඔහුය. අද බිහිවන තරු හෙට කඩා වැටෙන යුගයක හේ තවමත් දිදුලන තරුවකි. පනස් වසක් මුළුල්ලේ බයිලාවෙන් මුළු ලොවක් නළවන බයිලා ලොව ඔටුනු පලන් රජු ඔහුය.

ඔබේත්, මගේත් ඒ ආදරණීය ගායන ශිල්පියා ඩෙස්මන්ඩ් ද සිල්වාය. ඒ හඬ මෙන්ම රුව ද තවමත් තරුණය. දැනට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ඔහු පසුගියදා මවුබිමට පා තැබුවේ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙනි. ඒ ඩෙස්මන්ඩ්  ‘The Journey’ නමින් ලොව වටා යන සුපිරි සංගීත චාරිකාවේ මෙරට පැවැත් වූ දෙවැනි ප්‍රසංගයේ ගී ගැයීම සඳහාය. ප්‍රසංගයෙන් දින කිහිපයකට පසු අප ඔහු හමු වූයේ නැවත ඕස්ට්‍රේලියාව බලා යෑමට හෝරා කිහිපයකට මත්තෙනි.

* ඔබ ලංකාවට ආවේ සුවිශේෂ කටයුත්තකට?

මේ අවුරුද්දේ තමයි මම සිංදු කියන්න පටන් අරන් අවුරුදු පනහක් ලැබුවේ. ඒක සමරන්න මම ලෝකෙ පුරා ගී ගයමින් යනවා. පසුගිය දෙසැම්බර් 28 වැනිදා කොළඹ මියුසියස් කොලේජ් ඔඩිටෝරියම් එකේ තිබුණේ එහි දෙවැනි ප්‍රසංගය. මගේ මිත්‍ර, ගායන ශිල්පී දමයන්ත කුරුප්පු තමයි එය සංවිධානය කළේ. ගිය අවරුද්දේ ජූලි මාසයේ මාතර දී මම එළිමහන් ගීත ප්‍රසංගයක් පැවැත්තුවා. ඒක සංගීතවත් කළේ ‘සන්ෆලවර්’ සංගීත කණ්ඩායම. ඒ මාතර ප්‍රසංගයෙන් තමයි මම අවුරුදු 50 සැමරීම ආරම්භ කළේ. මොකද මම උපන් ගමනේ.

* උපන් ගමෙන් ලෝක සවාරිය ආරම්භ කළා?

ඔව්. මුලින් පටන් ගන්න තැනෙන්ම ආයේ මේ ගමන පටන් ගන්න ඕනෑ කියලා මම හිතුවා. දැන් සිංදු කිව්වා ඇති කියලා මම තීරණය කරපු දාටත් ලංකාවේ දී තමයි අවසානයට ගීත ගයන්නේ. අපි පටන් ගත්තු තැනෙන්ම වැඩේ ඉවර කරන්න එපායැ. ඒක මගේ පෞද්ගලික තීරණයක්.

* දැන්ම එහෙම තීරණයක් ගන්නේ නෑනේ?

තාම නෑ. දෙයියන්ගේ පිහිටෙන් තාම මට බුකින්ස් තියෙනවා. තව සති එක හමාරකින් මට ඇමෙරිකවේ ලොස් ඇන්ජලීස්වල බ්‍රිජට් කොලේජ් එකේ ඩිනර් ඩාන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මාර්තු මාසේ පළමු වැනිදා එංගලන්තයේ SHOW එකක් තියෙනවා. ඉතිං ඔය වගේ තවම තියෙනවා ඉල්ලුම.

* එතකොට කොහොමද ඔබේ ‘The Journey’  විදෙස් ප්‍රසංග මාලාව සැලසුම් කර තිබෙන්නේ?

ලබන මාර්තු හෝ අප්‍රේල් වෙන කොට ලොස් ඇන්ජලීස් හා නිව්යෝක්වල ප්‍රසංග කිහිපයක් පැවැත්වීමට නියමිතයි. එයින් තමයි ‘The Journey’  විදෙස් ප්‍රසංග මාලාව ආරම්භ කරන්නේ. ඇට්ලන්ටාවලත් ප්‍රසංගයක් තියෙනවා. ඊට පස්සේ අපි යනවා කැනඩාවට. ඒක ඉවර කරලා ආපහු ගෙදර එනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට. ඊළඟට ඉතාලියේ, පැරිසියේ වගේම ස්විට්සර්ලන්යේත් අපි ප්‍රසංග කිහිපයක් ඉදිරිපත් කරනවා. එතනින් මැද පෙරදිග රටවල් කිහිපයකත් අපි‘The Journey’  ප්‍රසංගය පවත්වනවා.

* ජීවිතයේ වැඩි කාලයක් ඔබ හිටියේ විදෙස් ගතව. ඩෙස්මන්ඩ් ද සිල්වා අදටත් ලංකාවේ ජනප්‍රියයි කියලා හිතෙනවද? දැනෙනවාද?

රසිකයන්ගේ අත්පුඩි සද්දෙන් තමයි මට ඒක දැනෙන්නේ. මට කියන්න තියෙන්නේ ඉතාමත් හොඳයි කියලා ඒ අයගේ ප්‍රතිචාර.

* මේ සුවිශේෂී මොහොතේ ඔබේ ආරම්භය ගැනත් පොඩ්ඩක් සිහිපත් කරමු?

මම ආරම්භ කළේ ‘ෆයර් ෆ්ලයිස්’ කියලා සංගිත කණ්ඩායමකින්. එතනින් පස්සේ මම කාලයක් ‘ලංකා ටුබැකෝ’ කියලා කම්පැනියක වැඩ කළා. ඒ කාලයේ ගීත ගායනා කළේ නෑ. ආයේ රැකියාවෙන් ඉවත්වෙලා ‘ෆිත් ෆයර්ස්’ සංගීත කණ්ඩායමට බැඳුණා. ඊළඟට තමයි මම ‘ජෙට් ලයිනර්ස්’ සංගීත කණ්ඩායමත් එක්ක වැඩ කළේ. ‘ඩෙස්මන්ඩ් ඇන්ඩ් ද ක්ලෑන්’ කියන මගේම සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තට පස්සේ තමයි මාව රටේ ගොඩක් ජනප්‍රිය වුණේ.

* මුල් යුගයේ ඔබ ගායනා කළේ බටහිර ගීත?

ඔව්. වැඩිපුරම බටහිර ගීත. ඒත් මතක හැටියට ‘ෆිත් ෆයර්’ නතචර කරන කාලේ මම ‘චූඩා මාණික්‍යයේ බලාලා’ ගීතය ගායනා කළා. ඒක අහලා තමයි ඔය ‘නිව් සවුන්ඩ්’ කොම්පැණියේ අයිතිකාර පොඩි මහත්තයා ඒ ගීතයි රෙකෝඩ් කරමු කිව්වේ. එතනින් තමයි මේ ෆීල්ඩ් එකට හරියට සෙට් වුණේ.

* මුළු ලංකාවේම අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වුණ ගීතයක් ඒ?

ලංකාවේ කොයි කා අතරත් ඒ සිංදුව පොපියුලර් වුණා. ඊට පස්සේ ‘යන්න රට වටේ’ ගීතය. ඒකත් ගොඩක් ජනප්‍රිය වුණා. මගේ ලක් එකට ඒ කාලේ ගොඩක් මියුසික් ඩිරෙක්ටර්ස්ලා මගෙත් එක්ක සිංදු රෙකෝඩ් කරන්න ඕනෑයි කිව්වා. හෝ ගාලා ඉල්ලුම.

* ඉංග්‍රීසි, සිංහල මිශ්‍ර කරලා ඒ කියන්නේ ‘සිංග්ලිෂ්’ ගීත කලාවක් අපේ රටේ බිහි කෙරුවේ ඔබ?

ඔව්. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ ආනන්ද සෙනෙවිරත්න කියන මහත්මයාට. ඔහු තමයි ඒ ගීත ලිව්වේ. ආනන්දටම දෙන්න ඕනෑ ඒකේ කෙඩ්‍රිට් එක. මොකද ඒක මගේ ළඟ තිබුණ අයිඩියා එකක් නෙවෙයි.

* ඉහළ පැළැන්තියේ ඒ කියන්නේ හයි ක්ලාස් ෆැමිලිවල කොල්ලො, කෙල්ලො තමයි ඔබේ ගීත රස විඳන්නේ කියලා ඒ කාලේ මතයක් තිබුණා. මොකක්ද ඒ ගැන දැන් ඔබට හිතෙන්නේ?

ඒ කට්ටිය ටාගට් කරලා නෙවෙයි මම එදා ගීත ගායනා කළේ. මම දන්නේ නැහැ කොහෙන් ඒ මතය ආවද කියලා. අපි නම් එහෙම කල්පනා කරලා කරපු දෙයක් නෙවෙයි. කැමැති ඕනෑම කෙනෙකුට අහන්නයි මම සිංදු කිව්වේ.

* සමහර විචරකයෝ කිව්වා ඩෙස්මන්ඩ් ද සිල්වාගේ ගීතවල කිසිම අරුතක් නැහැ. ඒවා විකාර ගීත කියලා. ඒ චෝදනාවට අද ඔබ දෙන පිළිතුර?

ඒක නම් හරිම ලේසියි මට උත්තර දෙන්න. ඔය චෝදනාව ලියපු අයටනේ. එයාලට කියන්න කියනවා. මම ගී ගයපු කෙනා විතරයි. නෑ . . . නෑ . . . මම එහෙම කිව්වට ඒකෙත් ඇත්තක් තියනවා.

* ඇත්තටම ඔබ ඒ කාලේ ‘කුකුල, කකුල, කකුල මගේ රෝස පාට කකුල’ වගේ ගීතත් ගැයුවනේ?

ඔව්. මතක් වෙන කොට මට හිනහත් යනවා.

* මේවා ඔබ තාරුණ්‍යයත් එකක් කරපු දේවල්?

ඒක ඇවිල්ලා මේ කැසට් ප්‍රොඩියුසර් තමා අයිඩියා එක දුන්නේ. දැන් කල්පනා කරලා බලන කොට කිසිම අර්ථයක් නැති සිංදුවක්නේ. එක වචනයයි තියෙන්නේ මුළු සිංදුවේම. කකුල, කකුල, කකුල, කකුල කියලා. මම හිතන්නේ හඩ්සන් සමරසිංහ තමයි ඕක ලිව්වේ. එයාගෙ වැඩේ ඒ කාලේ ආයම්මලා ගැන ලියපු එකනේ.

* හැබැයි ‘යන්න රට වටේ’ ගීතය ලිව්වේත් එතුමාමයි?

ඒක නම් මරු එකට ආවා. තවමත් ඒ ගීතය ජනප්‍රියයිනේ. අදටත් විනෝද ගමනක් යද්දී අනිවාර්යෙන්ම ගැයෙන ගීයක් තමයි ඒ.

* සමහරු ඔබව අනුකරණය කරන්නත් ඒ කාලේ පෙලඹුණා. ඔබේ විදියට කොණ්ඩෙ වැව්වා. විලාසිතා කළා?

ඒ කාලෙත් මම ගත කළේ බොහොම නැචුරල් ලයිෆ් එකක්. ඒක මවා ගත්ත එකක් නෙවේ. අර කිව්වා වගේ එහෙම පොඩි, පොඩි දේවල් තිබුණා. සමහර ගායකයෝ මාව අනුකරණය කරන්නත් පෙලඹුණා. ඒත් මම වැරැදි ඇහෙන් ඒ දිහා බැලුවේ නෑ. එක්තරා ගෞරවයක් විදිහටයි මම ඒවා සැලකුවේ.

* ‘කිරිල්ලී රන් කිරිල්ලී’, ‘නිල්වන් මුහුදු තීරේ’ වගේ ගීතවලට ඒ කාලේ තරුණියෝ පිස්සු වැටිලා හිටියේ. අනෙක ඩෙස්මන්ඩ් කියන්නේ ඉතා කඩවසම් පුද්ගලයෙක්නේ. කොහොමද ඒ තරුණියන්ගේ ප්‍රතිචාර ගැන තිබෙන මතකය?

ඒ ගැනත් මම එච්චර හිතුවේ නෑ. හැබැයි පොදුවේ මගේ රසික, රසිකාවන්ට මගේ හිතේ ලොකු ආදරයක්, ගෞරවයක් තිබුණා. මොකද ඒ අය නොසිටින්න මම අද මෙතැන නැහැනේ.

* ඒ යුගයේ ‘ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි’ කියලා සමහරු ඔබව හැඳින්වූවා මට මතකයි?

මම එල්විස් ගේ ගීත තමයි ඒ කාලේ වැඩිපුරම ගැයුවේ. එල්විස් මම හුඟක් කැමැති ගායකයෙක්. ඒ වගේමයි ටොම් ජෝන්ස්. එංගල්බඩ්ගේ ගීත කිහිපයකුත් මම ගායනා කළා. එතකොට ස්ටීව් වොන්ඩර්, රී චාල්ස් වගේ කළු ජාතික ගායක ගායිකාවන්ගේ ‘ර්ධබධඹදඵ’ ගීතවලටත් මම කැමැතියි. අමෙරිකාවේ චිකාගෝවල තමයි ඉස්සර වැඩිපුරම කාර් හදලා තියෙන්නේ. ඒක ‘ර්ධබධප ඊධඹද’වුණා. පස්සේ තමයි කෙටි වෙලා ‘ර්ධබධඹද’ වුණේ. ඒ ‘ර්ධබධඹද’ ලේබලය යටතේ ආපු ගීත ලෝකෙ පුරා ගොඩක් ජනප්‍රිය වුණා.

* ඔබ බොහොම සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න පුද්ගලයෙක්. මම හිතන්නේ මේ තරුණකමේ රහස ඒකයි?

මම ඕනෑම දෙයක් එච්චර, දුර දිග කල්පනා කරන්නේ නෑ. එහෙම වුණාම තමයි මානසිකත්වය එහාට මෙහාට වෙන්නේ. මම දන්නේ නෑ, කොහොමටත් ඔයා කිව්ව වගේ මම පොසිටිව්. නෙගටිව් තෝට්ස් මගේ මනසට එන්නෙත් නෑ. මම හැමෝමත් එක්කම සුහදව ඉන්න කෙනෙක්. පිටරටක හිටියත් මෙහෙ හිටියත් මම කා එක්කවත් ඝට්ටනයක් වෙලා නෑ.

* දැන් ඔබට වයස කීයද?

මේ අවුරුද්දේ ජූලිවලට අවුරුදු හැත්තෑවක් පිරෙනවා මට. 1944 දී මම ඉපදුණේ.

* උප්පැන්න සහතිකේ කොහොමද ඔබේ නම තියෙන්නේ?

නාපෙ රංගෙ ගොඩගේ ඩෙස්මන්ඩ් ඇනක්ලීටස් රාජිව ද සිල්වා. හැබැයි එක දිග වැඩියි. පාස්පෝට් එකේ දාන්න බෑ. D. A. R. De Silva කියලා තමයි ඒකේ නම තියෙන්නේ.

* ඩෙස්මන්ඩ් අයියා කොහොමටත් විනෝදකාමියෙක්නේ. පොඩි ඩ්‍රින්ක් එකක් දාගෙන ජොලියේ ඉන්නව ඇති?

මම බීම නවත්වල අවුරුදු විසි හතක්. හැබැයි ඊට ඉස්සෙල්ලා මම තවත් ජීවිතයකට ඇති වෙන්න බිව්වා. ඒ දවස්වල සිගරට් පැකැට් එකයි ලයිටරයයි මගේ අතේමයි. ඒක ඒ කාලේ තිබුණ පැෂන් එකක්. ඒත් දැන් මම ඒ පුරුදු සේරම අතහැරලා. හැබැයි හැමදාම හැන්දෑවට වයින් වීදුරුවක් දෙකක් බොනවා. ඊට පස්සේ කෑම ටික කනවා. එච්චරයි.

* කොහොමද ඕස්ට්‍රේලියා ජීවිතේ. . .?

හොඳයි. මම එංගලන්තයේත් අවුරුදු ගණනාවක් ජීවත් වුණා. ඒත් මෙහේ ජීවිතේ හොඳයි. වැඩිය සීතල නෑ. මගේ බිරිය ෆිලික්ස්. එයාගෙම කම්පැනියක එයා සීනියර් මාර්කටිං ඩිරෙක්ටර් කෙනෙක්. මමත් ඇයගේ ආයතනයේ පාලනයට හවුල් වෙනවා. ඒ ජීවිතේ කාර්යබහුල වුණත් හරිම සුන්දරයි.