වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

ජනප්‍රිය ප්‍රවීණ නිළියන් දෙදෙනෙකු වන සෝනියා දිසා හා මාලිනී ෆොන්සේකා එකම චිත්‍රපටයේ රඟපා තිබේද? එසේ නම් එම චිත්‍රපට මොනවාද?

මිල්ටන් ප්‍රනාන්දු

උතුරු මූදුකටුව

ඇයි මිල්ටන් තුෂාරා, සදහටම ඔබ මගේ, එදත් සූරයා අදත් සූරයා, හොඳට හොඳයි, හිඟන කොල්ලා, සහනය වගේ චිත්‍රපට රාශියක් මතක නැද්ද.

එල්ෆින්ස්ටන් රඟහලට රුක්මණී දේවි රඟහල කියන නම මැනැවියි නේද? ඔබගේ මතය කුමක්ද?

චාමර හේමනාත් විජේසිංහ

පිළියන්දල – මිරිස්වත්ත

රුක්මණියගේ නමින් රඟහලක් ඇති කිරීම ප්‍රශ්නයක් නොවෙයි. එහෙත් රුක්මණිට කිසිම සම්බන්ධයක් නැති එල්ෆින්ස්ටන් ඇගේ නමින් නම් කිරීම අවශ්‍යතාවයක් නොවන බවයි මගේ හැඟීම. මෙරට සිනමාව ගොඩ නැඟීමේ පුරෝගාමීන් වන ඉන්දියාවේ මදාන් සමාගමෙන් අද එරටටත්, මෙරටටත් ඉතිරිව ඇති එකම ඓතිහාසික සාධකය එල්ෆින්ස්ටන් ශාලාවයි. එය ඒ ආකාරයෙන්ම පවතිනවා නම් හොඳයි. ඒ වගේම එය චිත්‍රපට සංස්ථාව හරහා චිත්‍රපට ප්‍රදර්ශනයට එක්වනවා නම් මා වඩාත් කැමැතියි.

හිටපු සරසවිය කර්තෘ අනුර බණ්ඩාර රාජගුරු මහතාගේ ලිපිනය සහ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද?

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

420 බී, පරණ කොට්ටාව පාර, උඩහමුල්ල, නුගේගොඩ.

0714090377.

‘මදර් ඉන්ඩියා’ චිත්‍රපටය නිර්මාණය කළ සිනමාකරුවා කවුද?

ශෂිණි අමරසේකර

වත්තල

මෙහෙබුබ් ඛාන්.

පසුගිය සරසවිය පුවත්පතක අර්ජුන් කමලනාත් පවසා සිටියා තමන් නිදා සිටින සිංහයෙක් බව. මෙය ඔබ අනුමත කරනවාද?

ආනන්ද වික්‍රමාරච්චි

ඉහළ තල්දූව

කොහොමටත් දහවල් කාලයේ නිදා ගැනීම මා අනුමත කරන්නේ නැහැ.

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ප්‍රථම වරට රූගත කළ ටෙලි නාට්‍ය කුමක්ද?

පී. එන්. එ. නිලූකා

අවිස්සාවේල්ල

අමුතු මිනිස්සු.

‘චිත්‍රපට පරීක්ෂක මණ්ඩලය’ ගැන ඔබ සිතන්නේ කුමන අන්දමේ මතයක්ද යන්න ගැන අපට කියා දෙන්නකෝ?

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල

කෑගල්ල

කලාවට නිදහසේ ගලා යෑමට ඉඩ දිය යුතු බව මගේ හැඟීම වුවත් යම් යම් ආරක්ෂක හා සමාජයීය කරුණු යටතේ යම් වාරණ මණ්ඩලයක් රටකට අවශ්‍ය වෙනවා සේම ලෝකයේ තරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා යැයි කියන රටවල පවා යම් ප්‍රමාණයක රැඟුම් පාලක මණඩල ක්‍රියාත්මක වෙනවා. නැතිනම් ඒ හා සම්බන්ධව පැන වූ නීති තියෙනවා. වර්තමානයේ මාධ්‍ය නිදහස සමඟ රැගුම් පාලක මණ්ඩලය යනු යල්පැන ගිය සංකල්පයක් යැයි හැඟුණ ද රටක සිවිල් පුරවැසියන් වෙනුවෙන් එවැනි මණ්ඩලයක අවශ්‍යතාව කිසිසේත් ලඝු කොට තකන්නට බැහැ.

එහෙත් ප්‍රශ්නයක් තිබෙන්නේ සාමාන්‍යයෙන් රැඟුම් පාලක මණ්ඩලය පත් කරන්නේ රජයකින් වුවත් අපේ රටේ සමහර කලාකරුවන් එසේ මණ්ඩල ඉල්ලා සිටීමයි.

හින්දි සිනමාවේ දුෂ්ඨයා ලෙස විරුදාවලිය ලත් ප්‍රාන් ගැන විස්තරයක් දැන ගත හැකිද?

අයිලින් සෝවිස්

රාගම

1920 පෙබරවාරි 12 වැනිදා ප්‍රාන් ක්‍රිෂන් සිකන්ද් නමින් උපත ලද ඔහු පසුගිය වසරේ ජූලි 12 වැනිදා අභාවයට පත් වන විට දී සිනමාවේ ජනප්‍රියම දුෂ්ඨ නළුවා මෙන්ම පද්ම භූෂන්, දාදා සහබ්, පාල්කේ වැනි ඉන්දීය කලාකරුවෙකුට ලැබිය හැකි ඉහළම සම්මාන ලැබූ නළුවෙකි. සිනමාවේ ඔහුගේ රඟපෑම දැක ඇතැම් ප්‍රේ්ක්ෂකයන් ඔහුගේ මුහුණට කෙළ ගැසුවත් 1945 දී ශුක්ලා අහුවාලියා සමඟ විවාහ වූ ඔහු දරුවන් තිදෙනකුගේ සහ මුණුපුරු මිණිපිරියන් රැසක් සමඟින් ඉතාමත් ආදර්ශමත් අයුරින් පවුල් ජීවිතය ගත කළ අයෙක්. ඉතා ප්‍රසිද්ධ කරුණ වන්නේ 2010 දී සී. එන්. එන්. රූපවාහිනි නාලිකාව මඟින් ආසියාවේ සර්වකාලීන හොඳම නළුවන් 25 දෙනා අතරට ප්‍රාන්ගේ නමත් ඇතුළත් කිරීමයි.

වාලම්පූරි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද? එහි රඟපෑ ප්‍රධාන නළු නිළි යුවළ කවුරුන්ද?

ජයලත්

ගම්පහ

අධ්‍යක්ෂණය බර්මින් ලයිලි ප්‍රනාන්දු.

විජය කුමාරණතුංග සහ ගීතා කුමාරසිංහ එහි ප්‍රධාන චරිත නිරූපණය කළා.

භාරතයේ මෙතෙක් පවත්වා ඇති ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී එකම චිත්‍රපටයක් සඳහා වැඩිම සම්මාන ගණනක් දිනාගත් චිත්‍රපටයේ නම කුමක්ද?

එම සම්මාන ගණන කීයද?

රංජිත් ජයසූරිය

වැලිපැන්නගහමුල්ල

වැඩිම සම්මාන ගණනක් දිනා ගත්තේ 2005 වසරේ ‘බ්ලැක්’ චිත්‍රපටයයි. එය සම්මාන 11 ක් සඳහා නිර්දේශ වී ඒ සම්මාන 11 ම දිනා ගත්තා. 1995 වසරේදී ‘දිල්වාලේ දුල්හානියා ලේ ජායේන්ගේ’ චිත්‍රපටය සම්මාන නාම 14 ක් සඳහා නිර්දේශ වී සම්මාන 10 ක් දිනා ගත්තා.

විජය කුමාරණතුංගයන්ගේ විශිෂ්ඨ චරිත නිරූපණයක් ඇතුළත් ‘මං මුලා වැල්’ සිතුවම්පටය හිටපු ජනාධිපතිනිය භාරයේ තිබෙනවා යයි කියන්නේ ඇත්තක්ද? ඇත්තටම එය නිෂ්පාදනය කළේ කවුද? අර්ජුන් එය තිරගත නොකරන්නේ ඇයි?

කරු මන්දාවල

නාත්තණ්ඩිය

එහෙම ආරංචියක් තියෙනවා. එය අධ්‍යක්ෂණය කළ ආචාර්ය තිස්ස අබේසේකර මහතා ඒ බව පවසා තිබුණා. මං මුලා වැල් චිත්‍රපටය මුලින් නිපද වූයේ චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස පතලව සිටි බී. මුණිදාස ද සිල්වායි. එහෙත් ඔහුගේ මරණයෙන් පසු එය විජය කුමාරණතුංගයන් මිළයට ගත්තා. කොහොම වුණත් එයට දායක වූ බහුතරය අද ජීවතුන් අතර නැහැ.