වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මට කරදර වෙන වෙලාවල් ප්‍රසිද්ධියේ කියන්න බැහැ

මට කරදර වෙන වෙලාවල් ප්‍රසිද්ධියේ කියන්න බැහැ

කෝරළේ මහත්තයාගේ සෙලෙස්තිනා ස්වර්ණලතා රණසිංහ

කටකාර සෙලෙස්තිනා ගම් මැද්දෙන් එද්දී කෝරළේ මහත්තයා ඉන්න මුවන් පැලැස්සේ හැමෝම බලාගෙන ඉන්නේ අලුත් කතාවක් අහන්න. මුළු ගමේම ජනප්‍රිය චරිතයක් වූ සෙලෙස්තිනා මේ වන විට ඔබටත් ආගන්තුක නැහැ. මේ සෙලෙස්තිනා අද සරසවියට ඇවිත්. හැබැයි ඇගේ සැබෑ ස්වරූපයට ගැමි බවක් නම් ගෑවිලාවත් නැහැ. කවුද මේ සෙලෙස්තිනා?

ස්වර්ණලතා රණසිංහ තමයි ඇගේ ඇත්ත නම.

මාත් සෙලෙස්තිනා කියලා කතා කරන්නද?

ඒක හොඳයි. කවුරුත්ම මගේ ඇත්ත නම දන්නේ නැහැ. සෙලෙස්තිනා කිව්වොත් තමයි දන්නේ. රසික රසිකාවන් නම් කමක් නැහැ කියමුකො. ෆීල්ඩ් එකේ අයත් මාව දන්නේ එනමින්.

* කෝරළේ මහත්තයා තෙවැන්න පටන් ගන්නවලු නේද? සෙලෙස්තිනා ඒකෙත් ඉන්නවද?

මොකද නැත්තේ. සෙලෙස්තිනා කෝරළේ මහත්තයට ඕනේ.

කටකාර සෙලෙස්තිනා මුවන් පැලැස්සට ආඩම්බරයක්.

* මොකද ගැමි චරිතවලට මෑතකාලීනව කොටු වෙලා?

මක් කරන්නද, මාව ගොඩක් දෙනා හඳුනා ගත්තේ වසූදා නාට්‍යයේ නැන්දාගේ චරිතයෙන්. ඒක ගොඩක් නපුරු කැරැක්ටර් එකක්. ඉන් පසුව ලැබුණෙම නපුරු චරිත. ඔන්න ඒකෙන් මිදිලා ගැමි චරිතයක් කළා. එතැන ඉඳලා ලැබුණෙම ගැමි චරිත. ඕක මට තියෙන ලෙඩක්. එකක් ලැබුණොත් දිගටම ඒවම ලැබෙනවා. මං ඉතින් වෘත්තීයමය රංගන ශිල්පිනියක් නිසා ලැබෙන චරිත ප්‍රතික්ෂේප කරන්නත් බැහැනෙ.

* රඟපාන්න ආස චරිතයක් තියෙනවාද?

මං ආසයි බටහිර චරිතයක් කරන්න.

* රඟපාලා ලැබෙන මුදල් ප්‍රමාණවත්ද?

කොහෙත්ම නැහැ. රඟපාන්න එනවා නම් අනිවාර්යයෙන්ම අමතර ආදායමක් තියෙන්න ඕනේ. මේ වෘත්තිය ස්ථිර නැහැ. එක නාට්‍යයක් ඉවර වෙලා තවත් නාට්‍යයකට කතා කරනකම් කාලයක් නිකම් ඉන්න වෙන්නේ. ඒ අතරතුරදී කිසිම ආදායමක් නැහැ. ලැබෙන බොහෝ නාට්‍යවලිනුත් හොඳ ගණන් ලැබෙන්නෙත් නැහැ. හැබැයි අපට හොඳට සලකන නාට්‍ය නිෂ්පාදකවරුනුත් නැත්තේම නොවේ.

* ඔබ රංගනයට යොමු වුණේ මැදි වියත් ඉක්ම වූවායින් පසුව නේද? ඇයි තරුණ කාලයේදීම කලාවට ආවෙ නැත්තේ?

ඒක දිග කතාවක්. මං ඒ අතීතයට යන්න කැමැති නැහැ. මං පුදුමාකාර ආසාවකින් හිටියේ නිළියක් වෙන්න. ඒත් ගෙදර කවුරුවත් මං රඟපානවට කැමැති වුණේ නැහැ. ඉතින් මගේ තරුණ කාලෙම පෞද්ගලික ජීවිතයේ කටයුතුවලට වැය වුණා. ඊට පස්සේ බලෙන් වගෙයි මං රඟපාන්න ආවේ

* ඒ කාලයේදීම රඟපාන්න ආවා නම් අද හොඳ තැනක?

ඔව්. අද එහෙම නම් මං ගොඩක් ජනප්‍රිය වෙලා.

* ක්ෂේත්‍රය සුන්දරද?

හොඳයි. ඒත් කරදර වෙන වෙලාවලුත් තියෙනවා.

* ඒ මොනවද?

ඒවා ඉතින් ප්‍රසිද්ධියේ කියන්න බැහැ.

* ස්වර්ණාගේ ගම් පළාත එහෙම කොහෙද?

හංවැල්ලේ. බාල මහලු කොයි කවුරුත් ගමේ අය මට කියන්නේ නිළි නැන්දා කියලා. එච්චරට මට ගමේ අය ආදරෙයි.

* කෝරළේ මහත්තයා දර්ශන තලයේ වෙච්ච රසමුසු අත්දැකීම් එහෙම තියෙයිද?

ගොඩක් දේවල් තියෙනවා. ඒත් පත්තරයකට කියන්නේ කොහොමද. ඒත් පද්මසිරි කොඩිකාර ඇතුළු අපේ කණ්ඩායම වැඩ කරන අන්දම සහ ඔවුන් එක්ක දර්ශන තලයේ ගත කරන කාලය හරිම සුන්දරයි.

* සෙලෙස්තිනාගෙන් පසුව?

නාට්‍ය කිහිපයකටම කතා කළා. බොහෝ ඒවා ගැමි චරිත. ඒවා අතරින් ජනක චමින්ද අත්තනායකගේ අකඩවාරිය විශේෂයි.

* රංගනයෙන් ඉදිරියට යාමද ඔබගේ බලාපොරොත්තුව?

මට සම්මාන ගන්න බැහැ කියලා දන්නවා. ඒක නිසා හොඳ නිළියක් වෙන්න උත්සාහ ගන්නවා. ඒ අතරතුර නිර්මාණ ගැන අධ්‍යයනයක යෙදෙනවා.

* සෙලෙස්තිනාගෙන්ම මේ කතාව අවසන් කරමු?

මට සෙලෙස්තිනාට ආරාධනා කලේ පද්මසිරි කොඩිකාර මහත්මයා. ඔහුට බෙහෙවින් තුති පිදිය යුතුයි. එමෙන්ම සෙලෙස්තිනා විතරක් නෙවෙයි මට විවිධ චරිතයන් රඟපාන්න පුළුවන් කියලා කියන්න ඕනේ.