වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අනාගතයේදී මම පොලිස් නිලධාරිනියක්

අනාගතයේදී මම පොලිස් නිලධාරිනියක්

වීදි පහන් ඔස්සේ ඔබ හමුවන රන්දි උෂාරා

රන්දි උෂාරා සෙව්වන්දි අපේ පුංචි තිරයට වගේම රිදි තිරයටත් පෑයු පුංචි තරුවක්. මේ දවස්වල වීදි පහන් ටෙලි සිත්තමෙන් ඔබ හමුවට එන රන්දි අද සරසවිය සමග කතාබහට එකතු වුණේ මේ විදියටයි.

“මම පුංචි කාලේ පටන්ම ටෙලි නාට්‍ය, චිත්‍රපට නරඹනවා. මගේ සීයා කලාවට ගොඩක් ලැදි කෙනෙක්. සීයා ළග පරණ චිත්‍රපට ගොඩක් තියෙනවා. මම වැඩිපුරම නරඹලා තියෙන්නේ මාලිනි ෆොන්සේකා නැන්දා රඟපාන චිත්‍රපට තමයි. 2009 වසරේදි සරසවිය පත්තරේ දැන්වීමක් දාලා තිබුණා ළමා චිත්‍රපටයකට ළමා නළු නිළියන් හොයනවා කියලා. සීයා තමයි ඒ දැන්වීමට අයදුම්පතක් දැම්මේ. ඒ නිසා තමයි මට සුනිල් අරුණ වීරසිරි මාමාගේ ටිකිරි සුවඳ චිත්‍රපටයේ ටිකිරිගේ යහළුවාගේ චරිතය ලැබුණේ.”

මුලින්ම කැමරාව ඉස්සරහට එන්න රන්දිට බය හිතුනේ නැද්ද?

එහෙම බයක් නම් දැනුනේ නැහැ. එදා මට කියලා දුන්න විදියට මම රගපෑවා. සුනිල් මාමා මට ගොඩක් උදව් කලා. අනිත් හැමෝගෙන්මත් ලැබුණේ ලොකු සහයෝගයක්. රඟපානවා කියලා හිතුණෙම නැහැ.

ටිකිරි සුවඳ චිත්‍රපටයෙන් පසුව දායක වුණ නිර්මාණ ගැනත් කියන්නකෝ?

ඊට පස්සේ මම තුලාධාර, සික්කා, නටු නැති මල් ටෙලි නාට්‍යවලත් විහඟ පියාපත් චිත්‍රපටයේත් රංගනයෙන් දායක වුණා.

රන්දි තවම පාසල් ශිෂ්‍යාවක්. රංගනය ඉගෙනීමට බාධාවක් වෙලා නැද්ද?

මම පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබන්නේ. ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයටත් සුදානම් වෙනවා. රංගන කටයුතු ඉගෙනීමට බාධාවක් වෙලා නැහැ. ගොඩක් වෙලාට නිවාඩු කාලයේ තමයි රූගත කිරිම්වලට දායක වෙන්නේ. ඒත් පංති නම් පාඩුකර ගන්නේ නැහැ. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා වගේම ගුරුවරුන්ගෙනුත් ලැබෙන්නේ ලොකු සහයෝගයක්.

අනාගතයේත් රංගන ශිල්පිනියක් වෙන්නද බලාපොරොත්තුව?

කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ආසයි. දැනට මට සහන් විජේසිංහ සහ මාලක නන්දන මාමලාගේ ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ලැබෙන වෙලාව අනුව රංගන කටයුතු වලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන කටයුතුවලින් පසුව පොලිස් නිලධාරිනියක් විදියට රැකියාව කරන්න තමයි මම කැමැති. ඒ වුනාට රඟපෑමෙන් ඈත් වෙන්න කැමැති නැහැ. 0714565452 දුරකථන අංකයෙන් රසික ඔබට මගේ රංගනය ගැන අදහස් දක්වන්නත් පුළුවන්. ඒ වගේම මේ දක්වා මට රංගනයට සහාය දුන් හැමෝටමත් ඒ ගැන අදහස් දැක්වූ හාමෝටමත් ගොඩක් ස්තූතියි.