වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




බී. ඒ. ඩබ්ලිව්ගේ චිත්‍රපට ත්‍රිත්වය 21 දා

බී. ඒ. ඩබ්ලිව්ගේ චිත්‍රපට ත්‍රිත්වය 21 දා

තිස්ස නාගොඩවිතානගේ සංරක්ෂණයක්

පළමු සිංහල කතානාද චිත්‍රපටය තිරගත වී මෙම වසරේ මෙම මස 21 වැනිදාට වසර හැට හතක් සපිරීම නිමිති කර ගනිමින් මෙරට පුරෝගාමී සිනමාකරුවකු, නළුවකු හා රචකයකු ද වන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් සමරා ඔහු විසින් රචනා කළ චිත්‍රපට ත්‍රිත්වයක් සිංහල සිනමාවේ ජන්ම දිනදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ප්‍රදර්ශනය වේ.

ඒ අනුව එදින උදෑසන 10 ට ජේ. සිංහ අධ්‍යක්ෂණය කළ කපටි ආරක්ෂකයා ප්‍රදර්ශනය වේ.

සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් සමඟ රොබට් පරාක්‍රම සේනානායක සිලෝන් තියටර්ස් නිෂ්පාදනය කළ එහි රුක්මණී දේවි, බී. ඒ ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, ජෙමිනි කාන්තා, හර්බි සෙනෙවිරත්න, මාක් සමරනායක ආදී පිරිස චරිත නිරූපණයේ යෙදෙති.

දහවල් 12.30 බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ සැඟවුණු පිළිතුර තිරගත වනු ඇත. සිලෝන් තියෙටර්ස් ආයතනයේ නිෂ්පාදනයක් වන එහි රුක්මණී දේවි, එඩී. ජයමාන්න, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, බෙනඩික්ට් ප්‍රනාන්දු, මේබල් බ්ලයිත්, ස්ටැන්ලි මල්ලවආරච්චි මෙහි නළු නිළි පිරිවරයි.

එදින තිරගත වන අවසන් චිත්‍රපටය වනුයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ හදිසි විවාහයයි. එය සවස 6 ට ප්‍රදර්ශනය වේ. සිලෝන් ස්ටුඩියෝහි නිෂ්පාදනයක් වන එහි බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ධර්ම ශ්‍රී රණතුංග, ෂර්ලි බ්ලයිත්, රූබි ද මැල්, ඩඩ්ලි වානගුරු ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවා ඇත. මේ දරශනයන් නැරැඹීම සඳහා කලින් ආසන වෙන්කර ගත යුතුය. ඒ සඳහා 0112593429 ට කතා කොට ආසන වෙන් කර ගත හැකිය.

එමෙන්ම එදා සවස 4 ට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සමරමින් විශේෂ උත්සවයක් පවත්වනු ලැබේ. ඔහුගේ සිනමා භාවිතය පිළිබඳ ග්‍රන්ථයක් ද එහිදීී එළි දැක්වේ. එපමණක් ද නොව රංගනවේදී බොනිපස් ප්‍රනාන්දු හට උපහාර තිළිණයක් ද ප්‍රදානය කෙරෙනු ඇත. මෙම චිත්‍රපට සංරක්ෂණය තිස්ස නාගොඩවිතානයන්ගෙන්ය.