වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මාවත කටු අතු බොරළු මතක නැත

මාවත කටු අතු බොරළු මතක නැත

දෙපා රැඳුණු විට බුමුතුරුණේ

තිලකරත්න කුරුවිට බණ්ඩාර

මේ දිග හැරෙන්නේ සොඳුරු ගී පද රචකයන්ගේ පන්හිඳෙන් නොව හදවතෙහි රිදුම්දෙන සොඳුරු ගී මතක මං පෙත පිළිබඳව කියැවෙන පත් ඉරුවයි. සිය දිගු කාලයක් නිරත වූ පුවත්පත් ජීවිතයේ හා කලා ජීවිතයේ බොහෝ අත්දැකීම් අතර සැරිසැරෑ මේ සොඳුරුතමයා සිය ගී මතක මංපෙත අවදි කළේය. ඒ සොඳුරු සිතුවිලි සමඟ මෙවර ඔබ හමුවන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියකු ලෙස නමක් දිනා සිටින, සරසවිය පුවත්පතෙහි දිගු කලක් කර්තෘ ධුරය දැරූ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ය.

පසුගිය දිනෙක මට අපූරු මිතුරකු මුණ ගැසුණේ ය. ඔහු හා කතාබහක යෙදුණු කල මට මගේ සිත පැවසුවේ වෙනම කතාවකි. ඒ ඔහු සිටියේ දුක්බරව යන්නය.

‘ඔබ දුකක් හංගගෙන නේද ඉන්නේ’

මම සිය මිතුරාගෙන් විමසුවේ ඔහුගේ දුක්බර බවට පිහිටක් විය හැකිදෝ යැයි සිතුණු බැවිනි.

‘මට හැමදේම තිබුණත් කීර්තිය නෑ.’

ඔහු ගත් කටටම පැවසූයෙන් මම පුදුමයට පත්වීමි. ඔහු පැවසූ, ඔහුගේ සිතට වදදෙන කාරණය පිළිබඳ සිතන්නට වීමි.

‘කීර්තිය නැති වුණත් ඔබට හොඳ දරු පවුලක් ඉන්නවා නේ.’

පෙරලා මා ඔහුට පිළිතුරු බැන්දේ ඔහූගේ සිත සනසන අටියෙනි. ඒ මා පැවසූ අයුරෙන් ම ඔහුට අපූරු දරු පවුලක් සිටියේ ය. ඔහු සිය දරුවන්ට අපූරු පියෙකු විය. බිරිඳට අපූරු සැමියකු විය. සිය පවුල සම්බන්ධ සිදුවීම්වලින් ආනන්දයට පත්ව සිටින ඔහුගේ සිත කීර්තිය සොයා පියඹ ගියේය. එහෙත් බොහෝදෙනෙකුට නොතිබුණු එවන් සොඳුරු පසුබිමක ඔහු රජකු විය.

ඔහු ඔටුණු නොපළන් රජකු විය. සමහර අයට බොහෝ දේ තිබුණ ද විඩාපත් වන සිතට සහනයක් නොලැබෙන්නේ ය. ඒ ඔවුන්ගේ සිතැඟි ලෙස සිය දරු පවුල නිර්මාණය කරගන්නට ඔවුන්ට නොහැකි වන බැවිනි. තවත් සමහරෙක් සොඳරු කැදල්ලක හිමිකරුවකු වුවද එහි කිචි බිචි ගා දුව පනින කුරුලු පැටව් නොමැතිව ළතවන බව මම දනිමි. ජීවිතයෙහි සියලු පැතුම් සුන් වී කඩා වැටීමට ලක් වී ජීවිතයම දුක් ගීතයක් වූ අය පිළිබඳව ද මම දනිමි. මේ සියල්ල පූර්ණ වූ මා මිතුරා ලද දෙයින් තුටු වීමට අකැමැතිව හඬා වැටෙන්නෙහිය. ඊට හාත්පසම වෙනස් වූ කාරණයක් පිළිබඳ සිතමින් හඬා වැටෙන, අයුරු දුටු ඔහු පිළිබඳ සිතුවිල්ලෙන් ම මම පසුවීමි. හදිසියේම මා සිතට පිවිසියේ අපූරු ගී පද වැලකි.

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි

පා යුග නැති ඔබ දකින තුරා

කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි

නෙත් යුග නැති ඔබ දකින තුරා

 

මාවත කටු අතු බොරලු මතක නැත

දෙපා රැඳුණු විට බුමුතුරුණේ

දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ

මැදුරේ දෙසවන් අගුළු වැටේ

 

සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ

රස මසවුළුවල සුවඳ පිරේ

ඒ රස සුවඳට දෑස අයාගෙන

බත් ඇට අහිදිති පොඩි දරුවෝ

 

ගේය පද – මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - විශාරද නන්දා මාලනී

ගායනය – විශාරද නන්දා මාලනී

 

සුනිල් ආරියරත්නගේ සුරතෙන් පද බැඳුණු මේ සොඳුරු ගීතයෙහි පද සිහියට නැඟූ මට එහි ඇති අපූර්වත්වය සිතට දැනෙන්නට විය. මිනිස් සිත තමාට ලැබුණු සියලු දේ පිළිබඳ සිතන්නට නොපෙලඹෙයි. තමන්ට නොලැබුණු එක් දෙයක් පමණක් පිළිබඳ සිතන්නටම පෙලඹෙයි. අසීමිත ආශා පසුපස ලුහුබඳීන සිතක ස්වභාවය මනාව කියැවෙන මේ ගීතයට මම බෙහෙවින් පි‍්‍රය කරමි. ආදරය කරමි.

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි

පා යුග නැති ඔබ දකින තුරා

කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි

නෙත් යුග නැති ඔබ දකින තුරා

මේ ගීතය සිය සිතැඟි නැඟී එසවෙන ආශා පසුපස ලුහු බඳින ඔබට තම සිත පිළිබඳ සිතන්නට ඉගැන්වෙන අපූරු ගී පද කිහිපයකි. ලද දෙයින් සතුටු විය යුතුයි යන බුදු වදන අපට සිහිපත් කරන මේ ගී පද තමා සතුව තිබෙන්නා වූ දෑ පිළිබඳ සිහිපත් කරයි. එහි අගය දැනෙන්නට නම් ඊට පරිබාහිර වූ දෙයක් පිළිබඳ සිතන්නට අපට ඉඟි කරයි.

එපමණක් පමණක් නොවේ, මේ ගීතයෙන් පවසන්නේ ලෝක ස්වභාවයයි. යමෙකුට ධනය ඇත. යමෙකුට ධනය නැත. යමෙකු රුව සම්පත්තිය ඇතිව උපදී. යමෙකු රූප සම්පත්තිය නැතිව උපදී.

ඇති නැති පරතරයෙහි ගිලී සිටින පරිභෝජනවාදී සමාජ රටාව මෙහිදී අපූරුවට හැඟවෙයි. ගහකොළ ඇති අය සුපිරිසුදු සුසුමක් ගනිති. ඒ ආශ්වාස ප්‍රාශ්වාසයෙන් තුටු වෙති. එනමුදු එය නොමැති අය සුසුම්ලති. දෙපා ඇති අය මනා ලෙස ඇවිද යති. දෙපා නැත්තෝ දුකට පත්වෙති.

මිරිවැඩි සඟලක් නොමැතිව දුකට පත්වන අයට, ලෝකයෙහි මට වඩා නැති අය සිටින්නේ යැයි සිතෙන්නේ දෙපා නැති නුඹ දුටු මොහොතෙහිය. මිරිවැඩි සඟලක් නොමැති වීම නිසා හදවතේ පවතින දුක්ඛ දෝමනස්ස දුරු වී යන්නේ ඊට හාත් පසින්ම වෙනස් වූ පා යුග නොමැති නුඹ දුටු මොහොතෙහිය. නමුදු මින් හැඟෙන්නේ ඇති කමයි, නැති කමයි අතර වූ සමාජයේ අර්ථයයි.

ඕනෑම සමාජ ස්ථරයකට, පන්තියකට අදාළ කරගත හැකි වූ මේ සංසිද්ධිය පිළිබඳ සිතන්නට මම ඔබට ඇරැයුම් කරමි. එමෙන්ම ගී පද වැලක් ගෙතිය යුත්තේ ද බොහෝ අර්ථ දිග හරින්නට හැකි අයුරිනි. ඒ නිසාම මම මේ ගීතයට පි‍්‍රය කරමි.

ගීතයක් යනු හුදෙක් විනෝදයක් ලබන්නක්ම පමණක් නොවේ. ඊට පද වැලත්, මියුරු ස්වරයත්, සත්සර මුසුවක් ද ඇතුළත්ය. යමකු ආනන්දයෙන් ප්‍රඥාව කරා යන ගමනේදී එය සාර්ථක වන්නේ මියුරු ස්වරයට, සත්සර මුසුවට භාෂා වික්‍රමය ද එක් වූ කල ය. ගුවන් විදුලියේ ශ්‍රාවකයන් සඳහා ගී පදවැල් බැඳුුණු කල ලියැවුණු ගීතවල මනා අර්ථයක් ගැබ්ව පැවතිණි.

එනමුදු ගීත නරඹන යුගයක් වූ මෙකල එවැනි අර්ථයක් ගී පදවල ගැබ්ව නොතිබුණි. මේ නිසා රූප සංස්කෘතිය ඔස්සේ යන ගමනේදී අර්ථවත් ගීත සම්පාදනය නොවේ. නමුදු ගැඹුරු අරුථක් සහිත කාව්‍යෝක්තිවලින් ග්‍රහණය වූ, මා සිතට පි‍්‍රය වූ ගීතවත් රචනාවක් මම මී ළඟට පවසමි.

මිනිසා සුවඳයි මල සේ

නුවණින් එළියයි හිරු සේ

පර වී වැටිලා

ඒ හිරු මල මේ දෙරණේ

 

පොළොවේ උරුමේ කියමින්

බිලි දී විහිගුම් ගුණදම්

දහසින් මියෙනා සටනින්

අඟලේ හිමිකම් සොයමින්

 

ලොව නහවා සෝ කඳුළින්

හිනැහේ ජයපැන් පුරමින්

උණු ලේ විෂ වී සිරුරේ

ඉසුරන් ගැටෙනා අතරේ

 

ගිනිමල් පිපිලා අහසේ

ඇවිලේ ගිනිදැල් සයුරේ

සා පවසින් ඉකිබිඳිනා

සුසුමෙන් යදියන් හෙළනා

 

ගේය පද – කුමාරදාස සපුතන්ත්‍රී

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය - සුනිල් එදිරිසිංහ

සොඳුරු ගී පද වැලක අසිරිය අපූරුවට විදහා දැක්වෙන මේ ගීතය මා සිත පුදුමයට පත් කරයි.

මිනිසා සුවඳයි මලසේ

නුවණින් එළියයි හිරුසේ

පර වී වැටිලා

ඒ හිරු මල මේ දෙරණේ

මනුෂ්‍යත්වයේ උත්තරීතර බව කියැවෙන මේ ගීතයෙහි අපූරු බව කෙතරම් ද යත්, මේ තරමටම ගුණවන්ත වූ ඥානවන්ත වූ මහිමයෙන් යුක්ත හිරුමල නමැති මිනිසා මේ දෙරණෙහි පරවී වැටේ. ඒ මන්ද යත් ඔහු සිය ගුණදම් බිලි දෙන්නේ පොළොවේ උරුමය සඳහා වීමය. අඟලේ අයිතිවාසිකම වෙනුවෙන් ඔවූහු සිය ගුණදම් නසා මුළු ලෝකයම සෝ කඳුළෙන් නහවන්නෙහිය. තෘෂ්ණාව හා ද්වේශය, තෘප්ත කළ නොහැකි ආශා නිසා මනුෂ්‍යත්වය හෑල්ලුවට ලක් කරන්නෙහිය. මනුෂ්‍යත්වය පිරිහීමට පත්කරන්නෙහිය. එවන් අපූරු අර්ථ රැසක් ධ්වනිතාර්ථවත් වන මේ ගීතය සොඳුරු ගීපද වැලක්මය. ඊට මම ආදරය කරමි. පි‍්‍රය කරමි. ඒ උත්තරීතර අදහසට මම ගරු කරමි. ගීතයක් රත්තරන් කෙණ්ඩියක් සේය. එහි දැමිය යුත්තේ සිංහ තෙල්ම ය. නොවටින අන් තෙලක් නොවේ. ඒ නිසා ගීතය නමැති රන් කුසලානයට දැමිය යුත්තේ සමාජයට ඉතා වැදගත් වන උත්තරීතර අදහස් නමැති සිංහ තෙල යැයි මම කියමි. මනුෂ්‍යත්වයේ උත්තරීතර බව කියාදෙන, මේ ගීතය මගේ මතකයට පිවිසෙන, ශෝක ජනක පුවතක් පසුගිය දිනෙක පුවත් පතක මුල් පිටුවෙන් කියවන්නට ලැබිණි.

දිනෙක පුතු පැමිණියේ හදිසියෙනි. ඔහු කොපමණ හදිසි වූයේ දැයි කිවහොත් සියලු දේපළ තම නමට ලියන ලෙස පැවසුවේ සිතෙහි තරහා උතුරමිනි.

‘මගේ නමට ඔක්කොම ලියන්න ඕන’

සිත් නොගත් ඔහුගේ විලාසය දෙසම පියාණන් බලා සිටියේ පුදුමයෙනි. එහෙත් ඔහු සිය පුතුගේ අදහස ප්‍රතික්ෂේප කළේ අනෙක් පුතු සිය දේපළවලට කළ දේ මතකයට නැඟුණ හෙයිනි. පුතු යන්නට ගියේය. එහෙත් ඔහු ආපසු ගියේ සතුටු සිතින් නම් නොවේ. ඔහුගේ සිතෙහි රජ කළේ පියාට උරුම වූ දේපළ අයිතිකර ගන්නා අන්දමය. ඔහු සිය යහළුවකු අත පියාගේ මරණ සහතිකය ලිව්වේ කෝටියක මුදලකටය. දරුවන්ට දැඩි සේ ආදරය කළ පියාණන් සිය පුතු අණෙන් මරු තුරුළට ගියේ එසැනිණි.

මෙවැනි දුක්ඛ දායක පුවත් අසන්නට ලැබෙන සමාජ ක්‍රමයක් නිර්මාණය වී තිබෙන්නේ උත්තරීතර මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීමක් වර්තමානයේ වෙසෙන්නන්ගේ හදවතෙහි සනිටුහන් වී නොමැති හෙයිනි. එවැනි ශෝක ජනක දෑ මේ සමාජයෙහි සිදුවන වරක් වරක් පාසා මේ ගීතය මගේ හදවත රැව්දෙන්නේ සිහින් රිදුමකින් හදවත පිරි මදිමිනි.

ඒ සිහින් රිදුම අපගේ හදවත ද ශෝකයෙන් පිරි මැදීමට සමත් වූයේය. ඒ නෙතට කඳුළක් නංවමිනි. හදවත නැඟුණු ඒ සිහින් රිදුම අතරෙන් අපි ඒ සොඳුරු ගී පද රචකයාට සමු දුනිමු.