වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අහම්බෙන් නළුකමට ඇවිත් නිෂ්පාදන කළමනාකරුවකු වූ සතිෂ් රණසිංහ

අහම්බෙන් නළුකමට ඇවිත් නිෂ්පාදන කළමනාකරුවකු වූ සතිෂ් රණසිංහ

ක්‍රිෂ්ටි ෂෙල්්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සිටු මැදුර ටෙලි සිතුවමේ මහතුන්ගේ ගෝලයා ලෙස රැඟූ සතිෂ් රණසිංහ වර්තමානය වන විට නිෂ්පාදන කළමනාකරුවකු විදිහට ඉදිරියට එමින් සිටියි. ඉටි මල්, දම්සාරි, සිටු මැදුර ආදී නාට්‍යන් ඔහු වැඩ කළ නාට්‍ය කිහිපයකි. මේ සතිෂ් පිළිබඳ කෙටි සටහනක්.

සතිෂ් රණසිංහ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අහම්බෙනි. එය මෙසේය. ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කළ තරුණයකි. දිනක් සිය මිත්‍ර පිරිස සමඟ ගල්කිස්සේ මුහුදු වෙරළට විනෝදය පිණිස ගිය සතිෂ්ට එතන නාට්‍යයක් රූගත කෙරෙන අයුරු දක්නට ලැබෙයි. ඔහු ඒ අසලට යන්නේ නිකමට මෙනි. එම ටෙලි සිතුවම බොඳ මීදුම් විය. සතිෂ්ගේ කඩවසම් රූපය දුටු බොඳ මීදුම් අධ්‍යක්ෂ චන්දික විජේසේනගෙන් එහි රඟන්නට ඇරැයුම් ලැබෙයි.

මට එවලේ කිසිම චකිතයක් දැනුණේ නැහැ. චන්දික අයියා මට දුන්නු ඩයලොග් ටික මං හොඳින් කිව්වා. ඊට පසුව එම නාට්‍යයේම දිගින් දිගටම රඟපෑවා.

කුරුණෑගල ඉපදුණු සතිෂ්ගේ පොඩි කාලේ හීනයක් වෙලා තියෙනවා රංගන ශිල්පියකු වන්න. ඒත් කාලයත් සමඟම එම හීීනය ක්‍රමයෙන් වියැකිලා. නමුත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන රැකියාවෙන් අස් වී ඔහු නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙනවා. සතිෂ්ගේ ගමන් මග වෙනස් වන්නේ චාමර සමරවික්‍රමගේ හමුවත් සමඟ.

චාමර තමයි ස්වර්ණවාහිනියේ ටෙලි නාට්‍යවල රේඛීය නිෂ්පාදකවරයා විදිහට ඉන්නේ. ඔහු මාව නිෂ්පාදන කළමනාකරුවකුª කියන තනතුරෙහි පිහිටවූවා. පළමුවෙන්ම බුද්ධික කුලසේකරගේ අධීක්ෂණය යටතේ ඉටිමල් නාට්‍යයෙයි එහෙම වැඩ කළේ. ඒ වන කොටත් සිටු මැදුර, රන් සමනළයෝ, මේ වසන්ත කාලයයි ආදී නාට්‍යය බොහොමයක මං විවිධ චරිත මැව්වා.

නිෂ්පාදන කළමනාකරුවකු කියන්නේ නිර්මාණයක සියලු කටයුතු සොයා බලන අයෙක්. විශේෂයෙන්ම මූල්‍යමය කටයුතු බාරවයි ඔහු කටයුතු කරන්නේ.

මං හිතනවා මං ඒ වගකීම විශ්වාසවන්තව කරනවා කියලා. මට ඒකයි එක දිගටම ඒ තනතුරේම ඉන්න ලැබුණේ. මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගැනීම මා ලද වාසනාවක්.

නාට්‍යයක නළු නිළියන් මාරු වෙද්දී ඒ ගැනත් චෝදනා එල්ල වෙන්නේ නිෂ්පාදන කළමනාකරුට. ඒ පිළිබඳවත් සතිෂ් කතා කළා.

නාට්‍යයක නළු නිළියන් අතරමග දාලා යෑමේ ප්‍රවණතාවය දැන් දැන් වැඩියි. මටත් එහෙම අවස්ථාවන්ට මුහුණ දෙන්න වුණා. ඒ වෙලාවේදී කරන්නේ නාට්‍යයේ පිටපත් රචකයා ලවා චරිතය වෙනස් කරන එක හෝ අලුත් අයකු ගේන එක. මේක මම අවස්ථාවක් කර ගන්නවා අලුත් පරපුරේ අයට නිර්මාණයක් මගදී දාලා යන්නේ නැතුව වගකීමෙන් වැඩ කරන්න කියන එක පවසන්න.

සතිෂ් නව නිෂ්පාදකවරයකු ක්ෂේත්‍රයට ගෙනත් අපූරු කතා පුවතක් පුංචි තිරයට ගේන්නට සූදානමින් ඉන්නවලු.

ඒකේ නම පිං පොඩි ගුරුන්නාන්සේ. නිමල් අබේවර්ධන තමයි එහි නිෂ්පාදක. මම පිං පොඩි ගුරුන්නාන්සේහි නිෂ්පාදන කළමනාකරු විදිහට මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් සිටිනවා. කවදා හරි මගේ බලාපොරොත්තුව නිෂ්පාදකවරයකු වෙන්න. ආයෙත් නළු හීනය මගෙන් ඉවත් වෙලා.