වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාවේ සදාදර දුෂ්ටයා එච්. ඩී. කුලතුංග

සිංහල සිනමාවේ සදාදර දුෂ්ටයා එච්. ඩී. කුලතුංග

මිය යන තුරුම සිටියේ කුලී ගෙයක
එච්. ඩී. කුලතුංගගේ බිරිය කියන කතාව

‘ඩිෂුම්, ඩිෂුම්’ දුෂ්ටයා තිරයේ වීරයාට නින්දෙන් අවදි වූ විටදී මෙන් ඈලිමෑළි දුබල ගතියෙන් අත පය ඒ මේ අතට දිග හරියි. කථානායකයා ද සරඹ සන්දර්ශනයකදී වාගේ දෑත් දෙපා දිගු කරයි. ප්‍රේක්ෂකයන්ට තරු විසි වෙන්නේ කථානායකයාත්, දුෂ්ටයාත් අතර පවතින ද්වන්ද සටනට නොව දෙදෙනා කරන මවාපෑමටය.

එහෙත් එච්. ඩී. කුලතුංග නම් ඔහුගේ රළු සිනාව සහ බැල්ම, උත්තුංග කාල වර්ණ දේහය, ප්‍රතිභාපූර්ණ රංගන කෞශල්‍ය නිසා කිසි දිනක කාඩ්බෝඩ් දුෂ්ටයකු වූයේ නැත. ඔහුට වැඩිපුරම සටන් කිරීමට සිදු වුණේ ද සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වැනි සැබෑ වීරයන් සමඟය. චණ්ඩියා සිනමාපටයේ ‘කළු මහත්තයා’ එච්. ඩී. කුලතුංගත් ‘චුට්ටේ’ ගාමිණී ෆොන්සේකාත් නොවුණා නම් ‘චණ්ඩියා’ චණ්ඩියකු නොවනු ඇත.

‘ඇත්තටම වදින්න හරියටම ගහන්න’ තිරයේ සටනේදී ඔහුගේ රංගන රීතිය විය. කැමරාකරුවන්ට කැමරා කිරීමට අමතක වෙන තරමටම ඔහුගේ සටන දුෂ්ට විය. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් රංගනයක යෙදීම ද ඔහුට අසීරු නොවීය. ‘සුරේඛා’ සිනමාපටයේ යුක්තිගරුක පියා වූයේ ද එච්. ඩී. කුලතුංගමය.

ලාංකේය සිනමාවට වසර හැට හතක් පිරෙද්දී මුද්දරයකින් ඔහු උපහාර ලබන්නේ මේ විශිෂ්ට රංග ප්‍රතිභාව නිසාය. එහෙත් මුද්දරයකින් උපහාර ලැබීමේ ගෞරවය, නිහතමානී ආඩම්බරයකින් සමරන්න අද ඉතිරි වී සිටින්නේ ඔහුගේ ප්‍රිය බිරියත්, දූවරුන් දෙදෙනා සහ පුතුන් දෙදෙනාය. මේ අභිමානවත් අත්දැකීම බෙදා ගැනීමේදීී ඇවැසිම චරිතය වූයේ කුලතුංගයන්ගේ බිරිය අයිරිස් කුලතුංගයි. ඔහු මිය ගොස් තිස් අට වසරක් ගත වෙද්දී ඇය සෙවීමට සරසවිය දැරූ ප්‍රයත්නය මල් පල දැරුවේය.

අයිරිස් කුලතුංග මහත්මිය පසුගියදා සරසවිය කර්තෘ මණ්ඩලයට බාල දියණිය චතුරංගි සමඟ පැමිණියහ. ජීවිතයේ හැත්තෑ වැනි දශකයේ පසුවෙන ඇය ජීවන් කුමාරතුංග ඇමැතිතුමා තිස් අට වසරකට පෙර ජීවිත රඟ මඬලෙන් සමුගත් සැමියා වෙනුවෙන් මෙවැන්නක් කිරීම ගැන හද පත්ලෙන්ම ස්තුතිවන්ත වූවාය. ඒ සමඟම සොළොස් වසරක යුග දිවිය, කලා ලොවේ අත්දැකීම් සමඟ බෙදා ගත් අතීතය ද අවදි කෙරිණි.

‘ඔහුත් මාත් වේදිකා නළු නිළියන්. ජේ. ඩී. එල් පෙරේරා මහතාගේ වේදිකා නාට්‍යවලින් තමයි රංගන ජීවිතය ඇරැඹුවේ. මට ඔහු මුණ ගැසුණේ ‘කළු එතනා’ නාට්‍යයේ රඟපාද්දියි. ඔහු දුටුගැමුණු රජ ලෙස රඟද්දී මං කළු එතනා වුණා. වේදිකාවේදී ගොඩ නැ¼ගුණු මිත්‍රත්වය පසුව ආදරයකට පෙරලුණා. 1960 අවුරුද්්දේ විවාහ වුණා. ඒ වෙනකොට ඔහු කොළඹ අලෙවි දෙපාර්තමේන්තුවේ සේවය කළා.

විවාහ වුණ අවුරුද්දේම ඔහු සිනමාවට සම්බන්ධ වුණා. මුලින්ම රඟපෑවේ නළඟන සිනමාපටයේ. එහි හෝටල් අයිතිකාරයා ලෙස රඟපෑවා. ඉන් පසු දිගින් දිගටම සිනමාවට සම්බන්ධ වුණා. රැකියාව සමඟ රංගනය කරගෙන යාමට අසීරු නිසා වෘත්තීීය නළුවකු වුණා.

* නිවෙසේදීත් දැක්කේ සිනමාවේ දැක්ක දුෂ්ටයාමද?

අනේ නැහැ. ඔහු හැබෑම කරුණාවන්තයි. හරිම හිත හොඳයි. දන්නා අඳුනන හැමෝම ‘කුලේ’ට කිව්වේ ‘කළු මහත්තයා’ කියලයි. ලැබෙන සෑම සතයක්ම වගේ මගේ අතට ගෙනත් දුන්නා.

* දුෂ්ට නළුවකු වීම නිසා බොහොම කටුක අත්දැකිම් ලබන්න ඇති නේද? නළුවකු ලෙස ඔහුව ඔබ දකින්නේ කෙසේද?

චණ්ඩියා සිනමාපටයේ සටන් ජවනිකාවක් රඟපාද්දී ඔහුගේ දණහිස්වලට තුවාල වුණා. චිත්‍රපට නිසා නිදි මරාගෙන දුක්වින්දා. ඒ කාලේ මොන තරම් අනතුරු සිදුවුණත් ඒවට වන්දි ගෙව්වේ නෑ.

පුදුම ආදරයක්, කැපවීමක් සිනමාව වෙනුවෙන් කළා. ‘ආත්ම පූජා’ චිත්‍රපටයේ සටන් පුහුණුව ලැබීම සඳහා ඔහු ගාමිණී ෆොන්සේකා මහතා සමඟ ඉන්දියාවට ගොස් තෙමසක් සටන් පුහුණු වුණා. දවස් විසි එකෙන් ඔහු තුන් මාසයක පුහුණුව නිම කළා. ඒ දක්ෂකමට ඉන්දියාවේ කලාකරුවෝ පවා ගෞරව කරලා තිබුණා.

රංගනයට විවාහයෙන් පසු සමු දුන්නත් මං ඔහු රඟපෑ සෑම සිනමාපටයකම මංගල දර්ශනවලට සහභාගි වුණා. තරුණ තරුණියන් එච්. ඩී. ට සමරු පොත දෙන්නේ බියෙන්. චකිතයෙන්. ‘අපෝ මට ඔය නළුවගේ දුෂ්ටකම් පේන්න බැහැ’ කියන අයත් ඉන්නවා. මේ සියල්ලෙන්ම ඔප්පු වුණේ ඔහුගේ දක්ෂකම්.

* ජීවිතයේ අවසන් කාලයේ මේ විශිෂ්ට රංගධරයා සෑහෙන්න අසරණ වුණා නේද?

ඔව්. එච්. ඩී. ජීවිතයම කැප කළේ කලාව වෙනුවෙන්. සතයක්වත් ගෙව්වේ නැතත් කලාවේ නාමයෙන් සිනමාපටවල රඟපෑවා. ඒත් කවරදාකවත් අපට අපේම කියලා ගෙයක් තිබුණේ නැහැ. මාලිගාවත්තේ කුලී ගෙයක තමයි ජීවත් වුණේ.

ඔහු දරුවන්ටවත්, මටවත් කවදාවත් සැරදාලා බැණලා නැහැ. දරුවන් සැරවැර කරලා හැදුවේ මායි. ඒත් එක නරක පුරුද්දක් නිසා ඔහුට වයස අවුරුදු හතලිස් නවයක් වගේ අඩු වයසකදී ජීවිතයෙන් සමු ගැනීමට සිද්ධ වුණා. රංගනය නිසාම ඔහු මධුවිතට ඇබ්බැහි වුණා.

චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඔහු ලොකු කැමැත්තකින් හිටියා. ‘කම්කරුවා’ නමින් ලියූ තිර පිටපත සිනමාවට නඟා එහි රඟපෑම සිහිනයක්ම වුණා.

ඔහු අවුරුදු ගණනක් රෝගී වී සිටියා. හොඳින් හිටිය කාලයේ බලන්න ආ බොහෝ දෙනෙක් රෝගී වුණාම බලන්න ආවේ නැහැ. නීටා ප්‍රනාන්දු එච්. ඩී.ව බලන්න සුප් අරගෙන රෝහලට පැමිණියා. මහත්තයාගේ අවමඟුලට ප්‍රේමදාස ජනාධිපතිතුමා, එඩී, රුක්මණී දේවිය වගේ කලා ශිල්ප ශිල්පිනියන් අතළොස්සක් සහභාගි වුණා.

එච්. ඩී. මැරෙන කොට ලොකු පුතාට අවුරුදු 16 යි. පොඩිම දුවට අවුරුදු 10 යි. ගෙවල් කුලිය ගෙවාගෙන ළමයි හතර දෙනාටම උගන්වන්න පුදුම සටනක් කරන්න සිදුවුණා. අසරණ වෙලාවේ පිහිටට ආවේ ගාමිණී ෆොන්සේකා මහතායි.

ඔහු ආර්. ප්‍රේමදාස ජනපතිතුමාට මගේ අසරණකම දන්වා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ දුරකථන ක්‍රියා කරවන්නියක සහ අමුත්තන් පිළිගන්නා නිලධාරිනියක ලෙස රැකියාව කරන්න අවස්ථාව ලබා දුන්නා.

කලාවේ අනාගතය ස්ථිර නැති නිසා දූ දරුවන්ගෙන් (සම්පත්, ශාරාංගිකා, ශාමන්ත්, චතුරංගි) එක්කෙනෙක්වත් කලාවට සම්බන්ධ වුණේ නැහැ. පොඩි දුව ඇර අනෙක් ළමයි ජීවත් වෙන්නේ ප්‍රංශයේයි. ලොකු පුතා පමණක් ප්‍රංශයේ ටෙලි නාට්‍යයක රඟපාලා තියෙනවා.

* ඔබේ වර්තමානය ගැන පැවසුවොත් . . .?

දරුවන් හතර දෙනාම විවාහ වෙනතුරු මාලිගාවත්තේ කුලී නිවාසයේ හිටියා. දැන් මාත්, පොඩි දුවත්, මිනිබිරියෝ දෙන්නත් මාකොල ජීවත් වෙනවා. අනෙක් දරුවො තුන් දෙනාම ප්‍රංශයේ. ඔවුන්ටත් දරුවන් දෙදෙනා බැගින් ඉන්නවා.

* ස්ථිර නිවාසයක් නැතිකම අදටත් හිතට වධ දෙනවා.

පවුල් ජීවිතය වෙනුවෙන් රංගනය කැප කළ මට දැන් නම් රඟපාන්න විවේකයක් තියෙනවා. මෑතකදී විකාශය වූ ‘සඳමඬල’ නාට්‍යයේ සුසන්තා චන්ද්‍රමාලිගේ මවට රඟපෑවා. ඉදිරියටත් අවස්ථාවක් ලැබුණොත් රඟපානවා.

වසර තිස් අටක් වැනි දිගු කාලයක් කාලයේ වැලි තලාවෙන් වැසී තිබුණු මේ විශිෂ්ට රංගධරයාගේ මතකය යළි අවදිවීම ගැන අයිරිස්ගේත්, බාල දියණිය චතුරංගිගේත් මුහුණුවල ඇඳී ඇත්තේ කෘතඥතා පූර්වක සිනාවකි.