වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ආදරය හිමිවුණේ වැරැදි කෙනෙකුට නොවෙයි

මගේ ආදරය හිමිවුණේ වැරැදි කෙනෙකුට නොවෙයි

සකුන්තලා පීරිස්

හදවතෙහි නැඟුණු ආදරය හදවතෙහිම සිරකරගෙන සිටින පෙම්වතුන් මෙන් ඔවුහු බොහෝ කාලයක් පෙම් කරති. සිය හදවත ඉපදුණු පෙම නිසා කිසිවකුටත් ආදරය නොකරන මේ අය ජීවිත කාලයටම අවිවාහකව සිටීමට ද පෙලඹෙති. අවිවාහකව සිටිමින් සිය සොඳුරු පෙම විඳිති. මෙවර තනි මංසලට සිය හදවත විවෘත කරන්නේ ඇයයි. ඈ සකුන්තලා පීරිස් ය.

* මල්කාන්ති නන්දසිරි, නිර්මලා රණතුංග, නිරංජලා සරෝජනී සහ මනෝජ් පීරිස් පවුලෙහි අන්තිමයා ලෙස ඉපිද වෙනස්ම ක්ෂේත්‍රයක් තෝරාගත් ඔබ වැඩිපුර කතා නොකරන චරිතයක් ද?

‘අපේ අය අතරෙන් කතා කරන්න ගත්තට පස්සේ වැඩිපුරම කතාබහ කරන්නේ මම තමයි. ඔබ ඔය කතා කරන්නේ නැහැ කියලා හිතන්නේ මම වැඩිපුරම මාධ්‍යවල පේන්න නැති නිසා වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඒ කොහොම වුණත් මා ගුවන්විදුලි නාට්‍යවලට වගේම රූපවාහිනියෙත් හඬ කැවීම් සිදු කරන බව කියන්න ඕනෑ. ඊට අමතරව රඟපානවා. උගන්වනවා.

* ඒ කියන්නේ ඔබ කාර්යබහුලයි.

‘ඔව් හැමදාම මට මොකක් හරි වැඩක් තියෙනවා. දවසේ කාලය බෙදාගෙන ඒ කටයුතුවලට යනවා. සමහරදාට වැඩකටයුතු අවසාන වෙලා ගෙදර එන්නේ රෑ වෙලා. මේ කොයිතරම් කාර්යබහුල වුණත් ගෙදර අස්පස් කරන කටයුතු කරන්නෙත් මමමයි. ගෙදර පිරිසිදුව නොතිබුණොත් මගේ හිතට හරි මදියි.

* ඔහොම ගෙවන ජීවිතයට පාළුව, තනිකම මුමුනලා තියෙනවද?

ඕනෑම කෙනෙකුට පාළුවක්, තනිකමක් නොදැනුණොත් ඒක පුදුම විය යුතු කාරණයක්. තනිකම, පාළුව විවාහකද අවිවාහකද කියලා බලන්නේ නැතිව සිතට එන හැඟීමක්. එවැනි තනිකමක් පාළුවක් වැඩිපුරම දැනෙන්න ගන්නෙ රාත්‍රියටයි. දවසේ වැඩකටයුතු අවසාන වෙලා වෙනදාට වඩා වේලාසනින් නිවෙසට ගියාට පස්සේ ඉඳලා හිටලා තනිකමක්, පාළුවක් දැනෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.

* තනිකම, පාළුව දැනෙන්නේ මොනවගේ හැඟීමක් මතද?

ඒ මොහොත අනුවයි එවැනි හැඟීමක් සිතට පිවිසෙන්නේ. ඒක මොකක්ද කියලා කියන්න බැහැ. සමහර විට එදා දවසේ හිත රිදෙන යමක් සිදුවුණොත් ඔය කියන තනිකම, පාළුව සිතට එන එක නවත්වන්න කිසිම කෙනෙකුට බැහැ.

* ළඟදී ඒ වගේ තනිකම, පාළුව දැණුන කාරණයක් ඔබට මතකයට නඟන්නට පුළුවන්ද?

කවුරුහරි හිතවත් කෙනෙක්, විශ්වාසවන්ත කෙනෙක් බොරුවක් කිව්වොත් මට පුදුම විදියට දුකයි. ඇත්තක් කියලා මගේ හිත රිදුනත් කමක් නැහැ. එතකොට ඒ ගැන හිතලා විසඳුමක් සොයා ගන්න මට පුළුවන් නේ.

* ඒ වගේ හිත රිදීමක් වුණේ කවුරුන් නිසාද?

ගොඩක්ම ළඟම යහළු යෙහෙළියන් ඒ වගේ දෙයක් කළොත් ඇත්තටම මගේ හිත රිදෙනවා. මම එයාට ඒ වගේ බොරුවක් නොකර, ඇයි මට එයා එහෙම කළේ කියන හැඟීම ඇති වෙනවා. මට මතකයි ළඟම යහළුවෙක් විදියට හිටිය ඇන්ටන් ජූඩ් මියගිය වෙලාවේ මගේ හිතට ඇති වුණේ පුදුම දුකක්.

* මේ තරම් සංවේදී ඔබ ඇයි විවාහ නොවුණේ?

අනේ මං දන්නේ නැහැ. ඒක මට හිතාගන්නවත් බැහැ. මම ගොඩක් කාලයක් හැදුනේ වැඩුණේ සනත් අයියයි, මල්කාන්ති අක්කයි ළඟ. මාත් සමඟ එකට පන්තියේ හිටිය ළමයි වුණත් අපි ආශ්‍රය කළේ ගැහැනු, පිරිමි භේදයකින් තොරවයි. ඒ නිසා අපි අතර තිබුණු බැඳීමත් විවාහය පිළිබඳ නොසිතන්න හේතු වුණා.

* මල්කාන්ති අක්කා ඔයාට විවාහ විය යුතුයි කියලා යෝජනාවක් කළාද?

අපේ මම්මා, පප්පා දෙන්නම මිය යනවිට මට අවුරුදු විස්සයි. ඒ අය ජීවත් වෙන කාලෙ වුණත් ඔයා විවාහ විය යුතුයි කියලා මට කිසිම දවසක කියලා නැහැ. මල්කාන්ති අක්කා වුණත් මට එහෙම යෝජනාවක් කරලා නැහැ. ඔයා දැන් විවාහ වෙන්න ඕන වයසේ ඉන්නේ කියලා අක්කලා මට කියලා නැහැ.

* ඔවුන් එහෙම බල කිරීමක් නොකළේ ඇයි?

අක්කලා ඔක්කොම බැන්දෙ යාළු වෙලා නේ. ඉතිං ඒ අය හිතන්න ඇති මමත් කවුරුහරි කෙනෙක් හොයාගනී කියලා. ඒ නිදහස මට එයාලා දෙන්න ඇති කියලයි මට නම් හිතන්නේ.

* ඒ නිදහස ඔබ කදිටම බුක්ති වින්ඳා?

ඇත්තටම ඒක ඒ විදියට දිගටම ගියා. මටත් විවාහ වෙන්න ඕන කියලා හිතුණෙ නැහැ.

* ඔයා කාටවත් ආදරය කරලා තියෙනවද?

නැහැ කියලා කියන්න බැහැ. මම ආදරය කරලා තියෙනවා.

* ඒක පාසල් කාලයේ ප්‍රේමයක්ද?

පාසල් කාලයේ නම් එහෙම ප්‍රේමයක් තිබුණේ නැහැ. ඊට පස්සේ වුණත් මගේ වයසේ හිටිය, අපේ ක්ෂේත්‍රයේ අය යෝජනා ගෙනාව වුණත්, මම ඒවා විහිළුවෙන් මඟ හැරියා. ඒත් ඒ අය අද මුණ ගැසුණට පස්සේ ට්‍රයි කරපු ඒ අතීතය මතකයට නඟනවා. ඒ වුණත් විවාහ විය යුතුයි කියලා ඒ කාලයේ මට හිතුණේ නැහැ.

* ඒ කාලයේ තිබුණු ඔබේ ආදරයට මොකද වුණේ?

ඕනෙම කෙනෙක් ආදරය කරන්නේ විවාහ වීමේ පදනම මත ඉඳලයි. නමුත් මම ආදරය දකින්නේ වෙනස්ම විදියකටයි. ඒ කියන්නේ මට හිතෙනවා මම ආදරය කරන කෙනා ගැන ලෝකයට කියන්න ඕන නැහැ කියලා. ඒක තමන්ගේ හිතේ විතරක් තිබුණම ඇති කියලා මට හිතෙනවා. එදා වගේම අදත් මම ඔහුට ආදරෙයි.

* ඒ කියන්නේ ඔබගේ ආදරය වෙනස් වෙන්නේ නැහැ?

ඔව්, ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක මට කියන්න ඕනත් නැහැ. මොකද ඒක මගේ පෞද්ගලික කාරණයක්. ඒ වුණාට දැන් විවාහ වෙන්නත් බැහැ. විවාහ වෙන කාලය දැන් හොඳටම ගෙවිලා ගිහින්.

* විවාහ වෙන්න එහෙම වයසක් අවශ්‍ය නැහැ කියලා කවුරුහරි කිව්වොත්?

දැන් නම් එහෙම හිතෙන්නේ නැහැ. මගේ හිතේ ඇඳිලා ඉන්න රූපයට හා ගතිගුණවලට සමාන කෙනෙක් ඇවිත්, මගේ හදවත වෙනස් කළොත් ඇරෙන්න ඔබ ඔය කියන දෙය වෙනස් වේවි කියලා මම නම් හිතන්නේ නැහැ.

* එහෙනම් ඇයි විවාහ නොවුණේ?

ඒකට විවිධ වූ හේතු තිබුණා. නමුත් ඒවා කියන්න බෑ. හැබැයි මා ආදරය කළේ වැරැදි කෙනෙකුටත් නෙමෙයි. ඒ කියන්නේ විවාහක කෙනෙකුට එහෙම නෙවෙයි. මේක මගේ දෛවය වෙන්න ඇති.

* හදිසියේවත් ඔහු හා සමාන ගතිගුණ, රූපය තියෙන කෙනෙක් ඔබට මුණ ගැසුණොත්?

මම හිතන්නේ නැහැ ඒ වගේ කෙනෙක් තවත් නම් ඉඳීයි කියලා. යොවුන් කාලයේ තිබුණු ඒ ආදරය මම තවමත් විඳිනවා. සතුටක් ලබනවා. ඒ ආදරය ප්‍රබලයි. ඒක නේ ඒ ආදරයෙන් මට තවම ඈත් වෙන්න බැරි වෙලා තියෙන්නේ.

* එහෙම වුණත් ඒක පාර්ශවීය ආදරයක් තිබිය හැකිද?

ඒක එහෙම වෙන්න බැහැ. තරුණ දෙන්නෙක් අතර ඇති වුණ ආදරය කොහොමද ඒක පාර්ශවීය වෙන්නේ. එහෙම වුණත් ඒ ආදරයේ නාමයෙන් මම කිසිම දවසක අයුතු ප්‍රයෝජන අරගෙන නැහැ. ඒක මගේ විදියයි.

* ඔබගේ පවුලේ සහෝදරියන්ට ඉන්න දරුවෝ දැක්කම දුකක් දැනෙනවාද?

අනේ නැහැ. මල්කාන්ති අක්කගේ දුව අනුරාධා වුණත් ගොඩක් හැදුණේ වැඩුණේ මගේ ළඟයි. එයාලා මොනවහරි වැඩසටහනකට යනකොට ළමයි දාලා යන්නේ මා ළඟයි. ඒ නිසා අනුරාධයි මමයි අතර තියෙන්නේ කිට්ටු සම්බන්ධයක්. අපි දෙන්නා හරියට යාළුවෝ වගෙයි. සහෝදරියන්ගේ අනිත් දරුවොත් මට බොහොම ආදරෙයි. ඒ අයගේ ගෙවල්වල මම යනවා වගේ ඒ අයත් මගේ ගෙදර එනවා. මගේ දුක සැප සොයා බලනවා.