වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දවස්වල අපි

පොත්පත් අතර

චිත්‍රපට අධ්‍යක්ෂ

තිස්ස ලියනසූරිය

මේ සතියත් වෙනදා වගේම බොහොම සාමාන්‍ය විදියට තමයි ගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම ලිවීමේ කටයුතු වගේම පොත්පත් පරිශීලනයට වැඩි කාලයක් යොමු කරලා තියෙන්නේ. පහුගිය කාලයේ වැඩි වශයෙන් මට පොත් පත් කියවන්න වෙලාවක් ලැබුණේ නැහැ. දැන් සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් වැය කරනවා. ඒ වගේම ආගමික කටයුතුවලත් නිරත වෙන්න සූදානමින් තමයි ඉන්නේ. හෙට මගේ උපන් දිනය නිසා ආගමික කටයුත්තකට මුල් තැන දීලා සවස් වරුව පවුලේ ඥාතීන් සහ මිතුරන් සමඟ විනෝදයෙන් ගත කරන්න බලාපොරොත්තු වෙනවා.

මුනුපුරාත් සමඟ

මේ දවස්වල බොහොම විවේකීව නිවෙසට වෙලා කාලය ගත කරමින් තමයි ඉන්නේ. මට පුංචි මුනුපුරෙක් ඉන්නවානේ. ඔහුගේ සුරතල් සමඟින් දවස ගත වෙලා යනවා දැනෙන්නෙම නැහැ. ඒ වගේම ලබන සතිය මට සුවිශේෂ එකක් වෙනවා. මේ වසරේ ජනවාරි 19 වැනිදා මම මගේ 75 වැනි උපන් දිනය සමරනවා. ලොකු විශේෂ දෙයක් නම් නැහැ. මගේ දුව අනිවාර්යෙන්ම උපන් දින කේක් එකක් නම් ලෑස්ති කරනවා.

උද්‍යාන අලංකරණයක

රංගන ශිල්පිනී

සමන්ති ලැනරෝල්

අලුත් ටෙලි නාට්‍ය කිහිපකටම ආරාධනා ලැබිලා තියෙනවා. මේ සතියේ දිනවල අනුර මාධව ජයසේකරගේ සුර්ය භානු ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙන්න යොදා ගෙන තියෙන්නේ. කලා කටයුතු හැරුණාම මම උද්‍යාන අලංකරණ කටයුතුවලත් නිරත වෙනවා.

එහි දියුණුවට විශේෂ වැඩ පිළිවෙලවල් කිහිපයක්මත් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අජාසත්ත එක්ක

රංගන ශිල්පිනී

සුනීතා විමලවීර

මගේ ජීවිතයේ උදා වූ මේ සතියත් පහුගිය සතිය වගේම ගෙවිලා යනවා. ඒ හැරුණාම තූර්යා ටෙලි නාට්‍යයේ සහ මහරජ අජාසත්ත චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් සහභාගි වෙන්න තියෙනවා.

ලබන 19 වැනිදා නම් කිසිම වැඩක් මම යොදා ගෙන නැහැ. එදාට මගේ දරුවෝ දෙන්නා එක්ක ටිකක් ඇවිදින්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මම වයසට යන්නේ නැහැ

රංගන ශිල්පී
දමිත් ෆොන්සේකා

මේ සතිය මම වෙනදා වගේම බොහොම සාමාන්‍ය විදියට ගත කළත් ලබන 28 වැනිදා මට සුවිශේෂ දවසක්. එදාට තමයි මගේ අම්මගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ. ඒ වෙනුවෙන් දානමය පිංකමක් කරන්න සූදානම් වෙලා තමයි ඉන්නේ. ඒ වගේම 22 වැනිදාට මගේ උපන් දිනය යෙදුණත් මගේ ආදරණීය අම්මා අපෙන් සමුගෙන දැනට වැඩි කාලයක් ගත වෙලා නැති නිසා මම මගේ උපන් දිනය නම් සමරන්නේ නැහැ. මේ වසරේදී මම උපන් දිනය සමරන්නේ නැති නිසා මේ අවුරුද්දේ මම වයසට යන්නෙත් නැහැ.

සුදු කළු අළු පොතක් වේවි

චිත්‍රපට අධ්‍යක්ෂ

සුදත් මහදිවුල්වැව

නව වසරත් සමඟ මන්දගාමීව ගෙවුණු ජීවිතයට අර්ථයක් ලැබුණු බව සිතනවා. ඒ මේ නව වසර ආරම්භයත් සමඟ වැඩ කටයුතු රාශියක මා නියැලීමට නියමිත නිසයි. මේ දවස්වල චිත්‍රපට තිර පිටපතක් ලියමින් සිටිනවා වගේම එක් තිර පිටපතක් ලියා අවසන්. ඉන් කුමන හෝ පිටපතකින් චිත්‍රපටයක් කිරීමට මා අදහස් කරගෙන සිටිනවා. ඒ වගේම මගේ ඩිජිටල් ස්කූල් ෆිල්ම් ඇකඩමියේ දෙවන කණ්ඩායම විසිර යෑම නිමිත්තෙන් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් ඉදිරියේදී පැවැත් වේවි.

විශ්වවිද්‍යාල කිහිපයක එකතුවකින් හා මා ඇතුළු කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් ‘මානව වංශ විත්ති’ නම් ශාස්ත්‍රීය කාරණය මූලික කර ගනිමින් ගෝත්‍ර පිළිබඳ ෆිල්ම් ෆෙස්ටිවල් එකක් පැවැත්වීමේ අදහසක් මා කෙරෙහි පවතිනවා. අනිත් කාරණය වන්නේ මා නිර්මාණය කළ ‘සත් වැනි සැඳෑවේ’ ගීතය සහ වාර්තා චිත්‍රපටයට වසර විස්සක් ගත වෙලා. එය නිමිති කරගෙන මේ වසර ඇතුළත දී එහි පිටපත සහ සුදු කළු අළු චිත්‍රපටවල තිරපිටපත් පොතක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සූදානමක් ද තිබෙනවා.

ආදර වස්තුව ළඟ

රාජිත දිසානායක

නව වසර උදා වුණ ජනවාරි මාසයේ 25 වැනිදා පළමුවෙන් ‘ආදර වස්තුව’ වේදිකා නාට්‍ය වේදිකා ගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් වෙනවා. 2014 වසරේ මගේ ‘සිහින හොරු අරං’ වේදිකා නාට්‍යයට වසර දහයක් පිරෙනවා. ඒ නිමිති කරගෙන අගෝස්තු මාසයේ ‘සිහින හොරු අරං’ හා ‘බකමූණා වීදි බසී’ වේදිකා නාට්‍ය ද්විත්වය වේදිකා ගත කිරීමට මා අදහස් කරනවා.

මවකගේ යුතුකම

රංගන ශිල්පී

පබෝධා සංදීපනී

මම වැඩිපුරම කාලය ගත කරන්නේ පුතත් එක්ක නිසා කාලය ගත වෙනවා නොදැනෙන තරම්. පුතා දැන් දැන් ටික ටික ලොකු වන නිසා එයාගේ ආහාර ගැන මුලික ලෙසම මගේ අවධානය යොමු වෙලා. මොකද පුතාට ඊළඟ ආහාර ලබා දිමේදී පෝෂණ ගුණයෙන් සපිරි ආහාරපාන ලබා දීම මවක් ලෙස මගේ යුතුකමක්.

විදේශගත වී සිටින මගේ මහත්තයගේ අක්කත් ලංකාවට පැමිණෙන නිසා විනෝද ගමන් කිහිපයක්ම මේ සති කිහිපයේ යෙදිලා. ඒ වගේම තවත් විශේෂත්වයක් වන්නේ සිදත්ගෙත් මගෙත් උපන් දිනය යෙදිලා තිබෙන්නේ එකම මාසයේ වීමයි. ඔහුගේ උපන් දිනය තිබුණේ ජනවාරි 12 වැනිදා.

බාස්කට් බෝල් ක්‍රීඩාවේ

ශාරන්‍යා ජයකොඩි

නව වසරේ පළමු වාරය ආරම්වීමත් සමඟම මම පාසල් යනවා. කලා කටයුතුවලට වගේම මම බොහොම ආශා කරන ක්‍රිඩාවකට සම්බන්ධ වෙලා සිටින නිසා මට කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. ඒ මම කැමැතිම ක්‍රීඩාව බාස්කට් බෝල් ක්‍රීඩාව නිසයි. මේ දවස්වල එහි තරගාවලි කිහිපයක් පැවැත්වෙන නිසා ඒ කටයුතුවලටයි මගේ අවධානය යොමුවෙලා තිබෙන්නේ. ඊට අමතරව තාත්තගේ ‘මාරම්බරී’ ප්‍රසංගයේ මම ගීත ගයනවා.

ළමා නිවාසයකට දානයක්

රංගන ශිල්පිනී

පියුමි පුරසිංහ

පහුගිය කාලයේදී මම රංගන කටයුතුවලට දායක වුණේ නැහැ. මේ දවස්වලත් මම වැඩි වශයෙන්ම යොමුවෙලා ඉන්නේ නිරූපණ ක්ෂේත්‍රයට තමයි. ඒ වගේම මේ සතිය මට සුවිශේෂ සතියක්. මගේ උපන් දිනය යෙදිලා තියෙන නිසා. ඒ වෙනුවෙන් ළමා නිවාසයකට දානයක් දෙන්න සූදානමින් ඉන්නේ.

නර්තන ක්ෂේත්‍රයේ මගේම වැඩක්

නර්තන ශිල්පිනී

හෂිනි ගෝනගල

මම මේ දවස්වල නම් අජාසත්ත ෆිල්ම් එකේ රූගත කිරීම්වලට දායක වෙමිනුයි සිටින්නේ. ඊට අමතරව නර්තන කටයුතුවලටත් ලොකු දායකත්වයක් ලබා දෙනවා. ජනතාව මාව හඳුන ගත්තේ නර්තන ශිල්පිනියක් විදියටනේ.

ඒ නිසාම නර්තන ක්ෂේත්‍රයෙන් මගේම කියලා දෙයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. දැනටමත් ඒ වෙනුවෙන් වැඩිදුර හැදෑරීම්වල නිරත වෙනවා. ඒ වගේම ඉසුරු වීරසිංහමුදලි අයියාගේ අලුත්ම ෆිල්ම් එකට ආරාධනාවකුත් ලැබුණා.