වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මට කට පියාගෙන ඉන්න වෙලා

මට කට පියාගෙන ඉන්න වෙලා

උදාරි වර්ණකුලසූරිය

උදාරි වර්ණකුලසූරිය ලංකාවට ඇවිත්ලු. ඒ විතරක් නෙවෙයි යළිත් ඈ රඟපාන්නත් සූදානම් වෙනවලු. මේ අලුත් ආරංචිවල අලුත්ම විස්තර අහන්න උදාරිට අපි කතා කළා. ඒ වෙලාවෙත් ඇය හිටියේ ඇගේ නවතම ටෙලිසිතුවමේ රූගතකිරීම් අතරතුර. රංගනයට විතරක් නෙවෙයි උදාරි පහුගිය කාලයේ ගායනයටත් යොමුවුණා. එහෙත් ඇය ගැයූ ගීතය වෙනත් ගායිකාවකගේ හඬිනුත් ගැයුණා. ඇතැමුන් හිතාගෙන ඉන්නෙ ඒ ගායිකාවකගෙ ගීතයක් තමයි මේ උදාරි යළි ගයලා තියෙන්නෙ කියලා. ඒ පිළිබඳවත් අප විමසීමක් කළා. බලමු උදාරි ඊට පිළිතුරු සැපයුවේ කොහොමද කියලා.

* උදාරි ලංකාවට ආපු ගමන්ම කාර්ය බහුලවුණා නේද?

ඒකනම් එහෙම තමයි. මා මෙයට ප්‍රථම වරින් වර ලංකාවට ඇවිත් ගියා. එහෙම ආපු වෙලාවක තමයි මේ නාට්‍යයට ඇරුයුම් ලැබුණේ. එහි නම ආදර දෑසක්. සුජීව ප්‍රසන්නආරච්චිගේ ආදර දෑසක් නවකතාව ඇසුරෙන් නිල්වලා වීඩියෝ ප්‍රඩක්ෂන් වෙනුවෙන් උපුල් ජයසිංහ නිෂ්පාදනය කරන එය සඳුන් රාජකරුණා අයියගෙ අධ්‍යක්ෂණයක්. මං එහි රඟපාන්නෙ මතකය අමතකවූ ගැහුණු ළමයකුගේ චරිතයක්. බොහොම ආසාවෙන් එහි රූගත කිරිම්වලට සහභාගි වන්නේ.

* ඇයි ඔබ නිල්වලා ආයතනයේ නිෂ්පාදන සඳහා වැඩිපුර දායක වන්නේ. ඇතැම් අය කියනවා ඔබ ඉන් පිටත නිෂ්පාදනයන්ට සහභාගි වෙන්නේ හරිම අඩුවෙන් කියලා?

මේ ක්ෂේත්‍රයෙ අපි වැඩ කරන්න ඕන සහෝදර සහෝදරියන් විදිහට. නිල්වලා ටීම් එක අන්න ඒවගේ. උපුල් ජයසිංහ මහත්මා, සඳුන් අයියා, ලලිත් වසන්ත අයියා, නීල් රුක්මන් අයියා වගේ නිල්වලා ටීම් එකේ හැමෝම හරිම වගකීමක් ඇතුවයි වැඩ කරන්නේ. මං ඔවුන්ගෙ ලොකේෂන් එකේ ඉන්නෙ හරියට ගෙදර වගේ. එහෙම පිරිසකගෙන් ලැබෙන ආරාධනාවලට බැහැ කියන්නෙ කොහොමද?

* දැන් දිගටම ලංකාවෙ ඉන්නවාද?

දැන් දුව ටිකක් ලොකුයි. ඒක නිසා වැඩිපුර කාලයක් ලංකාවෙ ඉන්නත් රංගනයේ යෙදෙන්නත් තීරණය කළා. සුජිත් නම් එහෙ ඉන්නෙ.

* ඔබ ගායිකාවක් විදිහටත් පසුගිය කාලයේ උත්සාහ කළා?

ඔව් අනේ. ඒකටත් නොයෙකුත් බාධා.

* ඒ මොකෝ?

මං ගැයුවා දෙනුවන් පියා කියලා සිංදුවක්. ඔයත් ඒක දකින්න ඇතිනේ. ඒක වීඩියෝව කළේ සිංගප්පූරුවෙ. එම ගීතය මම කිව්වෙ මගෙ සැමියා සුජිත් වෙනුවෙන්. ඒත් එය නිර්මාණය කළ පාර්ශ්වයන් විසින් මටත් නොකියා වෙනත් ගායිකාවක් ලවා ඒක කියවලා. ඉතින් ඒක මුලින්ම අර ගායිකාවගෙ හඬින් ඇහෙද්දි ඇතැම් අය හිතන්නෙ මම අනුන්ගෙ සිංදුවක් හොරෙන් ගායනා කරලා කියලා.

* ඔය ඒ ගීතය සඳහා නියමිත මුදල් ගෙව්වද?

ඔව්. රුපියල් 75000 ක් ගෙව්වා. ඒත් ලංකවේ ගීතයක අයිතිය තියෙන්නෙ ගැයූ අයට නොව ඒක නිර්මාණය කළ අයටනේ. ඒකනිසා කටපියාගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ.

* ආයෙත් ගීත ගයන එකක් නැතිවෙයිද?

පිස්සු. මං මගෙ අලුත්ම ගීතයේ වැඩ කටයුතු පටන් අරගෙනත් ඉවරයි. ඒක වීඩියෝවකුත් සමඟින්ම අවුට් කරන්නටයි හිතාගෙන ඉන්නේ.

* ඒ ගීතයත් ගයන්නේ සැමියාටමද?

නැහැ. ඒක වෙනස්ම ආරකට නිර්මාණය වන්නක්. අසම්මත ප්‍රේමයක් පිළිබඳව සුන්දරව නිර්මාණය කළ ගීතයක් ඒක.

* ඉදිරියේදී ඔබ වැඩිවශයෙන් ගායනයට යොමු වෙයිද?

මෙහෙමයි. රංගනයෙන් තමයි මාව ගොඩක් අය හඳුනගත්තේ. ඒත් මං පුංචි කාලයේ ඉඳල සංගීතයට බොහොම දක්ෂයි. ඒත් කටහඬ ගැන හිතන්නේම නැති තරම්. දැන් ඇතිවෙන්න කූල් බොනවා. තාත්තා නම් හරියට බනිනවා කටහඬ විනාශකර ගන්න එපා කියලා.

* උදාරි දැන් මවක්. ඉස්සරවගේ දඟකාරකම් තවමත් එහෙම්මම තියනවද.

අපොයි ඔව්. මගෙ දඟකාරකම් ලබන ආත්මයෙදිවත් අඩුවෙන එකක් නැහැ.

* රුව ගැන මොනවගේ සැලකුමක්ද දැන් තියෙන්නේ?

රුව ගැන හොඳට හිතනවා. හැමදාම මං ව්‍යායාම කරනවා. මොන වැඩේ තිබුණත් ඒ වැඩේ කරන එක කරනවාමයි. මං හිතනවා මගෙ රුව සඳහා ප්‍රධානවම බලපාන්නේ මගෙ හිත කියලා. මොකද මගෙ හිත හරිම සැහැල්ලුයි.

* අතීතය ගැන හිතෙද්දි මොනවද දැනෙන්නෙ?

අතීතයට වඩා වර්තමානය බෙහෙවින් සුන්දරයි. මං අද සාර්ථික ජීවිතයක් ගතකරනවා. හැමදෙයක්ම නිසි කාලයේ කළා. පසුතැවෙන්නට කිසිම හේතුවක් නැහැ.

* උදාරිට කතා කරන්න ලියන්න රසික රසිකාවන් බලාගෙන ඇති?

උදාරි වර්ණකුලසූරිය, දංකොටුව පාර, බෝලවත්ත යන ලිපිනයට මගෙ රසික රසිකාවන්ට මට ලියන්න පුළුවන්.