වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




දේශීය සිනමාවට අලුත් ඉලන්දාරියෙක්

දේශීය සිනමාවට අලුත් ඉලන්දාරියෙක්

ඇන්ජලෝ සංජීව් බාන්ස්

දේශීය සිනමාවට එක්වන නවතම සිංහල චිත්‍රපටය එළඹෙන සිකුරාදා එනම් හෙට සිට තිරගත වීමට නියමිතය. ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය වන 'වස්සානේ සඳ' යි. ආරම්භයේ සිටම දේශීය සිනමාවට අලුත් නළු නිළියන් හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වශයෙන් උදයකාන්තගේ නම ඉතිහාස ගත වෙයි. වර්තමානයේ දක්ෂ ජනප්‍රිය නළු නිළියන් බොහෝ දෙනෙකුගේ මූලාරම්භය පිළිබඳ සොයා බැලුවහොත් උදයකාන්තගේ නම ඒ හා බැඳී තිබෙනු දක්නට ලැබෙයි. ඔහුගේ නවතම සිනමාපටයෙන් ද සිය සුපුරුදු සිනමා චාරිත්‍රයට ඉඩ දෙමින් හෙට දින සිට ඔහු තවත් ආකර්ෂණීය නළු පෞරුෂයක් දේශීය සිනමාවට හඳුන්වා දෙයි. ඔහු වස්සානේ සඳින් සිනමාගමනය සනිටුහන් කරන ඇන්ජලෝ සංජීව් බාන්ස්ය.

* 'වස්සානයේ සඳ' ඔබේ පළමු සිනමා සිත්තම. කොහොමද ඔබ සිනමාවට පය ගහන්නේ?

සිනමාව කියන එක මට හීනයක්. ඒ ගැන මම කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. මම මුලින්ම සම්බන්ධවෙලා හිටියේ නිරූපණ ක්ෂේත්‍රයට. 2014 දී මම මිස්ට ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙලා ඉන් ජයග්‍රහණය කළා.ඊට පස්සේ මම මිස්ට වර්ල්ඩ් තරගයට ඉදිරිපත් වෙන්න එංගලන්තය බලා ගියා. ඒ අතරතුර කාලයේදී රූපවාහිනි වෙළෙඳ දැන්විම් කිහිපයකටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. බ්‍රයන් තෙර්කෝවන් යටතේ තමයි මම මගේ නිරූපණ කලාව ආරම්භ කළේ. ඔය අතරතුරදී තමයි මට උදයකාන්ත වර්ණසූරිය මහත්මයාව හඳුනාගෙන වස්සානේ සඳ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

* වස්සානේ සඳ චිත්‍රපටයේ ඔබේ චරිත නිරූපණය කොයි වගේද?

මේකේ මම රඟපාන්නේ උප ප්‍රධාන චරිතය. ගයන්ත කියන පයිලට්ගේ චරිතය. තිර රචනය කියවනකොට මට හිතුණා ඒ චරිතය මගේ ජීවිතේට හරි ළඟයි කියලා. ඒ හින්දා මම මේ ජීවත්වෙන විදිහෙන් ඉන්නවා මිසක් අමුතු දෙයක් කරන්න මට අවශ්‍ය වුණේ නෑ කියලා හිතෙනවා.

* සිනමාව කියන මාධ්‍යය ඔබ හඳුනාගෙන තිබුණේ කොහොමද? අඩු තරමින් පාසල් යන කාලයේ හෝ චිත්‍රපටයක් නරඹලා හෝ ඇතිනේ?

චිත්‍රපට නරඹලා නම් තිබුණා. නමුත් මගේ කුඩා කාලයේ පටන් ඒ පැත්තට නැඹුරු වෙන්න ඉඩක් අපේ පවුල් පරිසරය තුළ තිබුණේ නෑ. අම්මා තාත්තා දෙන්නම නිරන්තරව අපිව උනන්දු කෙරෙව්වේ අධ්‍යාපනය පැත්තට. කුඩා කාලයේ පාසල් නාට්‍යවල නම් මම රඟපෑවා. නමුත් ගෙදරින් වැඩි බලය තිබුණේ අධ්‍යාපනයට නිසා ඒ පැත්තට තමයි යොමු වුණේ.

* එතකොට ඔබ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

ඒක වුණෙත් මම අධ්‍යාපනය හමාර කරලා රැකියාවක් කරන්න කොළඹ ආවට පස්සෙයි. මාව දැකපු හුඟාක් දෙනෙක් කිව්වා නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න කියලා. ඊට පස්සේ තමයි මිස්ට ශ්‍රී ලංකා තරගය දැකලා නිකමට වගේ අයදුම් පත්‍රයක් යොමු කළේ.

* ඔබ අධ්‍යාපනය ලැබුවේ කොහේද?

මගේ උපන් ගම මඩකලපුව. මම ඉගෙන ගත්තේ මඩකලපුවේ ශාන්ත මයිකල් කොලේජ් එකෙන්. උසස් පෙළට ගණිත විෂයන් කරලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණා. කැම්පස් අවුට් වෙලා රැකියාවක් කරන්න තමයි මම කොළඹ ආවේ. හැබැයි විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ මම ඉංග්‍රීසි නාට්‍යවල රඟපෑවා.

* එතකොට ඔබේ පවුල් පසුබිම?

මගේ පියා සුබුමාරා. වෘත්තියෙන් කෘෂිකර්ම ඉංජිනේරුවෙක්. අම්මා රෝහිණී. මට ඉන්නේ අක්කා කෙනෙක් විතරයි. එයත් ලංකාවේ විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගෙන දැන් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. අපේ පවුලේ කවුරුවත් කලාව ඇසුරේ වැඩුණු අය නෙවෙයි. මගේ අම්මගේ අම්මා සිංහල. ඒ නිසා අපි පොඩි කාලේ ගෙදර තිබුණේ සිංහල රූපවාහිනි චැනල් එකක් විතරයි. ඒකේ ගිය සිංහල චිත්‍රපට බලලා තියෙනවා. ටෙලි නාට්‍ය බලලා තියෙනවා. වැඩිපුරම බැලුවේ ඉන්දියන් චිත්‍රපට හා නාට්‍ය තමයි.

* ඔබ රැකියාව කරන්නේ කොහේද?

2008 වර්ෂයේදී මට Virtusa ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවකු ලෙසින් රැකියාව ලැබුණා. 2012 වෙනකම් ඒ Company එකේ ලංකාවේ ශාඛාවේ වැඩ කළා. දැන් මම ඒ කම්පැනි එකේම ඇමරිකාවේ පිහිටි ශාඛාවේ වැඩ කරන්නේ. නිවාඩු ලබාගෙන තමයි ලංකාවට එන්නේ.

* 'වස්සානේ සඳ' තිරගත කිරීම වෙනුවෙන්ද ඔබ ආවේ?

ඒකත් එක හේතුවක්. ඒත් විශේෂම කාරණාව තව චිත්‍රපටයක රූගත කිරීම් යෙදිලා තිබෙනවා. ඒක මගේ දෙවන චිත්‍රපටය. වස්සානේ සඳ කැමරා ශිල්පී අයේශ්මන්ත හෙට්ටිආරච්චි තමයි මේ චිත්‍රපටයට මාව සම්බන්ධ කළේ. සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කරන පළමු චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ජයලත් මමෝරත්න.

* රැකියාවයි රංගනයයි කියන්නේ හාත්පසින්ම වෙනස් අංශ දෙකක් නේද?

මට හිතෙනවා ඉංජිනියරින් කරන්න වෙහෙසෙනවා වගේම රංගනයටත් ගොඩාක් කැපවෙන්න, වෙහෙසෙන්න ඕන කියලා. මම නිරූපණ ක්ෂේත්‍රයේ හිටියට රංගනය මට අලුත් දෙයක්. ඒකට හුරුවෙන්න මට දවස් කීපයක් ගියා. ඒ වගේම දැන් මට තේරෙනවා මේ විෂයන් දෙක සම්පූර්ණයෙන්ම වෙනස් කියලා.

* රැකියාවයි, රංගනයයි එකට කරන්න පුළුවන්ද?

මගේ ආයතනය රංගන කටයුතුවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

* දිගටම රඟපාන්නද බලාපොරොත්තුව?

චිත්‍රපට ලැබුණොත් දිගටම රඟපාන්න ආසයි. ඒ පිළිබඳව ඉදිරියට ඉගෙන ගන්නත් ඕනකමක් මට තිබෙනවා. ඉන්දියාව පැත්තට සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. අපේ පවුලේ අය මුලින් මේකට අකමැති වුණාට දැන් ඒගොල්ලත් ආසයි මේ ක්ෂේත්‍රයට. ඒ නිසා ඒ සහයෝගයත් මට ලැබෙනවා