වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා

හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා

 රොන් හොවාර්ඩ් අධ්‍යක්ෂණයක්

Star wars ලොව පුරා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් ජනප්‍රිය වූ අභ්‍යවකාශ වීර කාව්‍යක්. ජෝර්ජ් ලූකස් හැත්තෑව දශකයේදී පණ දුන් ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව දශක හතරක් පුරා සිනමා ලොව ඒකාලෝක කළේ, ස්ටාර් වෝර්ස් සිනමා උන්මාදයක් ඇති කරමින්. අඳුරු බලවේගයක ඒකාධිපති පාලනයට එරෙහිව යහපත් පාලනයක් ඇති කිරීම වෙනුවෙන් මන්දාකිණි අධිරාජ්‍යයේ ඇති වන යුද සංග්‍රාමය ගෙන එන එහි ආරම්භය සනිටුහන් කළේ චිත්‍රපට මාලාවේ සිව්වැන්න වූ ඒ A New Hope (1977) චිත්‍රපටයෙන්.

දුෂ්ට තාරකා මණ්ඩල අධිරාජ්‍යාගේ පාලනයට එරෙහි වන කැරලි කණ්ඩායම් නායිකා ලීයා කුමරිය සමඟ එක්වෙන හන් සොලෝ සහ ලූක් ස්කයිවෝකර් මන්දාකිණි අධිරාජ්‍යයා හෙවත් ඩාර්ත් වේඩාර්ට අයත් මළ තරුව නම් අභ්‍යවකාශ නැවතුම් පළ විනාශ කර දැමීම සමඟින් ඇරඹි Star wars චිත්‍රපට මාලාවේ මේ දක්වා චිත්‍රපට අටක් තිරගත කෙරුණා.

මේ අතර 2016 වසරේදී Rogue One: A Star Wars Story  නම් චිත්‍රපටය තිරගත කෙරුණේ Star wars චිත්‍රපට මාලාවේ අනු කතාවක් ලෙසින්. එහි දෙවැන්න මෙන්ම Star wars හි එන හන් සෝලෝගේ චරිතය පසුබිම් කරගෙන Solo: A Star Wars Story චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. ජනප්‍රිය නළු හැරිසන් ෆෝඩ් විසින් පණ පොවන ලද හන් සෝලෝ චරිතයේ තරුණ වියේ ජීවිත කතාව ඒ ඔස්සේ ගෙන එනවා.

එහිදී තරුණ හන් සෝලෝගේ චරිතයට පණ පොවන්නේ ඕල්ඩන් එරන්රයික්. යුදෙව් ජාතික නළුවෙක් වන එරන්රයික් හැරිසන් ෆෝඩ් හමුවී හන් සෝලෝ චරිතය පිළිබඳ උපදෙස් පවා ලබාගෙන ඇති බවයි හොලිවුඩ් පුවත් ගෙන එන්නේ. 26 වැනි වියේ පසු වන එරන්රයික්, පෝල් මූනිගෙන් පසු චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට පණ දෙන යුදෙව් ජාතික නළුවා බවට ද පත් වෙනවා.

තරුණ හන් සෝලෝ ලෙසින් එරන්රයික් තෝරා ගැනීමට පෙර මයිල්ස් ටෙලර්, එන්සල් එල්ගෝර්ට්, ඩේව් ෆ්‍රැන්කෝ, ජැන් රේනර්, ස්කොට් ඊස්ට්වුඩ්, ලෝගන් ලර්මන්, එමොරි කොහෙන්, බ්ලැක් ජෙනර් වැනි නළුවන්ගේ නම් ද යෝජනා වී තිබුණා.

ලබන 25 වැනිදා සිට අමෙරිකාව ඇතුළුව ලොව පුරා තිරගත කෙරෙන Solo: A Star Wars Story චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, රොන් හොවාර්ඩ් විසින්. ජොනතන් කැස්ඩන් සහ ලෝරන්ස් කැස්ඩන් විසින් රචිත මෙහි ඕල්ඩන් එරන්රයික් සමඟින් වූඩි හැරෙල්සන්, එමීලියා ක්ලාර්ක්, ඩොනල්ඩ් ග්ලෝවර්, තන්ඩේ නිව්ටන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිනවා.

මෙතක් කල් හන් සෝලෝගේ අතිජාත මිතුරා වන වයස අවුරුදු 200ක් වන චිව්බාකා හෙවත් චෙවීගේ චරිතයට පණ පෙව්වේ පීටර් මේහිව් විසින්. මෙම චිත්‍රපටයේදී තරුණ චිව්බාකාගේ චරිතයට පණ පොවන්නේ Star Wars:The Force Awakens (2015) චිත්‍රපටයේ සිට එම චරිතයට පණ පොවන 31 හැවිරිදි පින්ලන්ත ජාතික නළුවකු වන ජෝනස් සූතමෝ විසින්.

Solo: A Star Wars Story චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඒ A New Hope (1977) චිත්‍රපටයේ සිට Star wars චිත්‍රපට මාලාවේ මේ දක්වා වූ සියලුම චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කළ ජෝන් විලියම්ස් විසින්.

මැයි 15 වැනිදා 71 වැනි කාන් සිනමා උලෙළේදීද එහි විශේෂ දර්ශනයක් පැවැත් වුණා. මේ සමඟින් Star wars රසික රසිකාවන්ට ගෙන එන අනෙක් සුබ ආරංචිය නම් ලබන 2019 වසරේ අගභාගය වන විට Star wars චිත්‍රපට මාලාවේ නවවැනි චිත්‍රපටය ද නිකුත් කිරීමට නියමිත බවයි.