වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




මම ඉන්නේ අනතුරක...

මම ඉන්නේ අනතුරක...

තවදුරටත් ජෙහාන් ව නඩත්තු කරන්නේ නැහැ....

තුමිඳු දොඩන්තැන්න

ලංකාවේ සිනමාව පසුගිය සමය ගතකලේ එක්තරා ආකාරයක ශෝකාකූල විලාසයකිනි. අතීත ලාංකේය සිනමාවේ මහා සම්ප්‍රදායේ ජීවමාන බල කණුවේ ඒ නික්ම යාමත් සමඟ විවිධ දේ යළි මතු වී ආවේය.

දැන් කලකට ඉහතදී ස්වාධීන රූපවාහිනිය ටෙලි නාට්‍යයක් විකාශය කළේය. එය රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ රටේ ජනප්‍රියම නාට්‍ය බවටත් එහි ප්‍රධාන නළුවා රටේ ජනප්‍රියම නළුවා බවටත් අභිෂේක වී තිබිණි. රටේ බොහෝ දෙනා කළුවර වැටෙද්දී ටෙලිවිෂනයෙන් නිකං පෙන්වන නාට්‍යයක් නරඹා එය රටේ අංක එක බවට පත් කිරීමට මහඟු දායකත්වයක් දැක්වුවෝය.

පසුගිය වකවානුවේ මේ රටාව වෙනස් වී පිරිසක් ටෙලිවිෂනයෙන් නාට්‍යයක් නරඹා බොහෝ පිරිසක් සිය අන්තර්ජාල දත්ත එසේත් නැත්නම් මුදල් වියදම් කරමින් එය නරඹා ලංකාවේ ජනප්‍රියම නාට්‍යය බවට පත් කළේ මේ රටේම ප්‍රේක්ෂක සමූහයාමය. ඔවුන්ට අනුව ඔවුන්ගේ රසයට අනුකූල නාට්‍යයකි ‘කූඹියෝ’. ඔවුන් අන්තර්ජාලයේ නිතර සැරිසරන පිරිසක් වන අතර ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ දියුණු රසයකි. මන්ද ඔවුන්ට ලෝකයේ ඕනෑතරම් ඉහල ගණයේ නිර්මාණ ක්ෂණයෙන් බාගත කර බැලිය හැකි නිසාය.

අපේ කතානායකයා මේ අලුත් ප්‍රවණතාව පරාවර්තනය කළ තරුණයාය. කූඹියෝ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න ගිනි පත්තු කරද්දී එගිනි පිම්බේ තුමිඳු දොඩන්තැන්න ය. ඔහු දැන් රටේ ජනප්‍රියම නළුවාය. හරියටම ගත්තොත් සැලකිය යුතු රංගන ඉතිහාසයක් තිබෙන තුමිඳු නළුකමේ අනුහස විඳීන්නේ දැන්ය. ජෙහාන් ප්‍රනාන්දු දුෂ්ටයා දැන් ප්‍රේක්ෂකාගාරයේ වීරයාය. කූඹියෝ පමණක් නොවේ. ඔහු සහෝදරයා ටෙලි නාට්‍යයේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියාය.

මේ දවස් වල ඔහුගේ රඟපෑම සිනමාව ඇතුළේය. සුමිත්‍රා පීරිස් මැතිනියගේ වෛශ්නාවී චිත්‍රපටයේ රූකඩ නෙළන ගැමි තරුණයාද යශෝධරා චිත්‍රපටයේ පොතේ ගුරා චරිතයද තුමිඳු ය. එමෙන්ම වේදිකාවද ඔහු නැති සොවින් පාළුවට නොයයි. මා සිතනා පරිදි තුමිඳු මේ ගෙවන්නේ ජිවිතේ දුර්ලබ කාලයකි. ප්‍රසාදය සමඟ ඇගයුම මෙන්ම සැලකිය යුතු බරක් තිබෙන සිනමා නිර්මාණ දෙකක කළ චරිත එක පිට එක ප්‍රේක්ෂකාගාරයට පැමිණීම ඔහුට විශේෂ වන්නක් විය යුතුය.

කෙසේ වුවද ඔහුගේ කැපවීම රංගනය ඉගැන්වීමටය. අලුත ලැබූ පිය පදවිය නිසා කාර්යය බහුලය. එමෙන්ම රයිගම් ටෙලීස් වේදිකාව මත අතහැරි බෝම්බය ගැන තවමත් බොහෝ දෙනා කතාබහ කරති.

ඔබ සමඟ කතාවකට එළඹෙන්නට පෙර මම ඔබේ සහෝදරයා සමඟ කතා බහකට එළඹුණා. ඔබේ සහෝදරයා කූඹියෝ නිෂ්පාදකවරයා. ඔහුට අනුව මේ ටෙලි නාට්‍ය රේට් කරන ක්‍රමය විකෘතියක්. නාට්‍යයට ලැබිය යුතු නිසි රේටින් එතුළින් ලැබුණේ නැහැ. නමුත් අවසානයේදී කූඹියෝ තමයි ලංකාවේ ජනප්‍රියම නාට්‍යය. ඔබ ජනප්‍රියම නළුවා?

මම හිතන විදිහට කූඹියෝ වෙනුවෙන් පෙනී හිටිය ප්‍රේක්ෂකාගාරයේ බොහෝ අය හිටියේ ටෙලිවිෂන් එකෙන් එළියේ. ඒ වගේම තමයි කූඹියෝ බලපු තවත් ප්‍රේක්ෂකාගාරයක් හිටියා රටෙන් එළියේ. මොවුන් සියල්ලන්ගේම නාට්‍යය බලපු මාධ්‍ය වුණේ අන්තර්ජාලය. මම දන්නා විදිහට මේ දෙගොල්ලෝ සෑහෙන්න වෙහෙසක් ගත්තා කූඹියෝ ඉහලින්ම ඔසවා තබන්න. ඒකට මගේ මේ දුරකථනය සාක්ෂියි. මොකද පිටරට ඉන්න බොහෝ දෙනා මටත් දැනුම් දුන්නා ඔවුන් කූඹියෝ වෙනුවෙන් මනාපය පළ කරන බව. ඒ නිසා මම හිතනවා මගේ අදහසයි අයියගේ අදහසයි එක්ක පරස්පරයක් නැහැයි කියලා.

ඔබ එතැන නිරූපණය කරන්නේම පරපීඩක හා ප්‍රතිවීර චරිතයක් නේද?

ඔව්. වෙන්න පුළුවන්. මම හිතන විදිහට මේ වගේ සිස්ටම් එකක් ඇතුළේ මතුවෙන්නෙම ඒ වගේ පරපීඩක සහ දුෂ්ට අයම තමයි.

ඔබට සිද්ධ වෙනවා කූඹියෝ ඇතුළේ දේවල් සඟවා ගනිමින් රඟපාන්න. ස්ථර කිහිපයකට යන රඟපෑමක් සහ හොඳ අඛණ්ඩතාවක් තබා ගත යුතු චරිතයක් ඔබට තිබුණේ?

ඇත්තෙන්ම ඔව්. මගේ චරිතය ඇතුළේ මගේ වැඩිම ගනුදෙනුව ඇතිවුනේ. ප්‍රියන්ත කියන චරිතය වටා. ඔහුත් එක්ක මම ගොඩනගාගන්නා ගනුදෙනුව තල කිහිපයකට යනවා. මුල්ම තලය තමයි මම ඔහුව බස් රථයේදී මුණ ගැසීම. ඒ තලය නඩත්තු කළාට පසුව ඔහුව පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් ආයතනය කියන තැන පෙන්වීම තව තලයක්. ඒ වගේම ඔහු අහනවා වතාවල් කිහිපයක ‘අයියා කවුද අයියේ’ කියලා. ඒ තව තලයක්. ඔහුගෙන් එහාට ගිය තව තල දෙකක මට රඟපාන්න සිද්ද වෙනවා. ඒ තමයි ඔස්ටින් අයියා සමඟ කරන ගනුදෙනුව සහ මල්දෙණිය සමඟ කරන ගනුදෙනුව. එහෙම බලද්දී මට සිද්ධ වෙනවා තල කිහිපයකම අවබෝදයෙන් යුතුව රඟපෑමට.

ටෙලිවිෂනයේ ඔබ කළ චරිත දෙකක් එක ළඟ ජනප්‍රිය වුණා. කූඹියෝ හි ජෙහාන් සහ සහෝදරයා හි රජීව. වෙනස් චරිත දෙකක්. එමෙන්ම දේශපාලනිකයි.

ජෙහාන් ප්‍රනාන්දු ඉන්නේ මේ දූෂිත සිස්ටම් එක ඇතුළේ. රජීව් සමරසිංහ ඉන්නේ මේ සිස්ටම් එකේ එළියේ. මේ චරිත දෙකට වෙන වෙනම කැමති ප්‍රේක්ෂකාගාර දෙකක් තිබුණා. ඒ වගේම විධි දෙකක්. ලක්මාල් හදපු ජෙහාන් ගේ චරිතයට ලොකු ප්‍රේක්ෂකාගාරයක් හිටිය නාමල් ගේ රජිව්ගේ චරිතයට වඩා. තැටිය රත් වෙච්ච වෙලාවේ තමයි මේ චරිත දෙකම ආවේ. ඒ නිසා ප්‍රේක්ෂකාගාරය මේ චරිත දෙක තදින්ම වැළඳගත්තා.

සහෝදරයා ටෙලි නාට්‍යයේ කතා වෙන දේශපාලනයට ඔබ එකඟද?

නාට්‍යයේ ශිල්පීන්ට වෙන වෙන දේශපාලන මත තිබෙන්නට පුළුවන්. නමුත් අපි පොදු දේකට එකඟ වුණා. මමත් සහෝදරයා පෙන්වන පොදු දේශපාලනයට එකඟයි.

ඔබ රංග කලාව පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. අතිරේකව වෘත්තීය මට්ටමේ නළුවෙක්. සමාන්තර වෘත්තීන් දෙකක්. ඔබට ඒක වාසියක්ද?

අනිවාර්යනේම. මම හිතන්නේ මම නිරන්තරයෙන් පෝෂණය වෙනවා රඟපෑම තුළින් ඉගැන්වීම සඳහා.

ඔබ මේ වකවානුවේ විශාල තරු ගුණයක් අත් පත් කරගත්තා. ඔබ ගුරුවරයෙක්. මේ රටේ ඇකඩමික් ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ අයට නොලැබෙන තත්වයක් ඔබට ලැබුණා.

ඔතැන සාධකය තමයි ජනප්‍රිය ධාරාවේ චරිත ලැබීම කියන දේ. ජෝ අබේවික්‍රම මහත්මයා වගේම මහේන්ද්‍ර පෙරේරා මහත්මයාටත් අපේ ජනප්‍රිය ධාරාවේ චරිත ලැබුණා. ඒ නිසා ඔවුන්ටත් තිබෙනවා තරු තත්වයක්. ඒ හැරෙන්නට මම නම් හිතන්නේ නැහැ ඒක ගැන එච්චර දුරට.

කූඹියෝ නිසා ඔබට විශාල තරු ගුණයක් එක්ක රංගනයට ලොකු බලපෑමක් ආවා. ඔබට සිද්ධ වේවි නේද ඒක පවත්වාගෙන යන්න.

ඇත්තටම මම ඉන්නේ අනතුරක. ප්‍රේක්ෂකාගාරය හිතනවා මම තව ඒ විදිහේ චරිත තෝරා ගනීවි කියලා. හැබැයි මම හිතනවා තව දුරටත් මම ජෙහාන් ව නඩත්තු කරන්නේ නැහැයි කියලා. එහෙමයි කියලා ඒ වෙනුවෙන් සුදු චරිත කරන්නත් මම සුදානම් නැහැ. සංකාරා චිත්‍රපටයෙන් පස්සේ මට ආරාධනා ගොඩක් ආවා හාමුදුරුවන්ට රඟපාන්න. නමුත් මම ඒවා බාරගත්තේ නැහැ. ඒ වගේම තමයි ජෙහාන් වගේ චරිතත්. නැවත බාර ගන්නේ නැහැ.

අවසානයේදී ඔබ රඟපෑ වෛශ්නාවිත්, යශෝධරාත් තිරයට ඇවිත්.

ලෙස්ටර් මහත්මයාගේ කතාවක් අනුව වෛශ්නාවී හැදුනා. මම ඒකෙ තරුණ ගැමි කලාකරුවෙක්ට ඉන්නවා. යශෝධරා හි පොතේ ගුරා චරිතයට මම ඉන්නවා. මේ චරිත දෙක දෙයාකාරයකින් මට අත්දැකීම් ගෙනාවා.