වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




යුද්දේ දිනපු දවසේ පැය එකහමාරයි

යුද්දේ දිනපු දවසේ පැය එකහමාරයි සුනාමි දින පැය දෙකයි

නදීක කරුණානායක රසමුසු තැන් කියයි

කලක් නදීක කරුණානායක ස්වර්ණවාහිනියට නැතිවම බැරි වූ ප්‍රවෘත්ති නිවේදකයකු විය. දිනපතා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ නිරන්තයෙන් අප ආලින්දයට ගොඩ වූ හෙතෙම මේ වන විට ඉඳ හිටවත් දකින්නට නැතිය. නදීක ගැන වැඩි දෙනෙකුගේ මතකය අලුත් වුණේ ඉකුත් රයිගම් සම්මාන උලෙළේදීය. එහිදී ඔහු හොඳම ප්‍රවෘත්ති නිවේදකයා වශයෙන් අභිෂේක ලැබීය. ජීවිතයේ තවත් එක් කාල පරිච්ඡේදයක් ගෙවමින් සිටින නදීකව මෙලෙස අප කතාබහකට අල්ලා ගත්තෙමු.

නදීක, මොකද මේ විරාමයක් අරගෙන?

මං මේ ගත්තු විරාමයක් නෙවෙයි. මට ලැබුණු විරාමයක්. වැඩි දෙනකු හිතාගෙන ඉන්නවා මං ප්‍රවෘත්ති කියන එකෙන් අයින් වෙලා කියලා. එහෙම දෙයක් නැහැ. මං තවම චැනල් එකේ ඉන්නවා. නිසි වෙලාවට ආයේ ප්‍රවෘත්ති කියන්න ලැබේවි.

ඔබට යම් කැපිල්ලක් තියෙනවා වගේ?

ඒ ගැන මං උත්තර බඳිනවට වඩා මං ප්‍රිය කරන්නේ ආයේ ප්‍රවෘත්ති කියන්න එන එක. එතැනින් ඔය සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් ලැබේවි.

පහුගිය කාලයේ කලකිරීමෙන්ද ගත කළේ?

ඇත්තෙන්ම නැහැ. මං හිතන්නේ මං මේ ගත කරන්නේ මගේ ජීවිතයේ වටිනාම කාල පරිච්ඡේදයක්. මං මේ කාලය අතරතුරදී උගත් පාඩම් ගණන බොහොමයි. ඒ අතරතුරදී මට හොඳ විවේකයකුත් ලැබුණා. අමතර රාජකාරීන් කළා. එහෙම බලන කොට නිහඬ කාලයේ මං අර්ථවාන්විත දෙයක් ජීවිතයට එකතු කරගෙන තියෙනවා.

ඔබේ ජනප්‍රියත්වයේ අඩුවක් වුණේ නැතිද?

දැනෙන අන්දමේ ජනප්‍රියත්වයේ අඩුවක් වුණා කිව්වොත් ඒක බොරුවක්. තවමත් මිනිස්සු නදීක කරුණානායකගේ නම මතකයි, හඬ මතකයි, රුවත් මතකයි. ප්‍රසිද්ධ තැනකට ගියාම කොපමණ මිනිසුන් මගෙත් එක්ක කතා කරනවාද?

මොනවද ඔවුන් විමසන්නේ?

ඇයි ප්‍රවෘත්ති කියන්නේ නැත්තේ කියලා තමයි අහන්නේ.

එතකොට ඔබ මොනවද කියන්නේ?

ඔබට දුන් පිළිතුරමයි දෙන්නේ.

බට තිබුණනෙ මේ ගෙවා දමන කාලය තුළදී වෙනත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න?

ප්‍රවෘත්ති නිවේදකයා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම පමණක් කළ යුතුයි කියන මතයේ මං ඉන්නේ. ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නා ගැන සමාජයේ තියෙන්නේ බොහොම ගෞරවාන්විත හැඟීමක්. ඒ අය කෙරෙහි ලොකු විශ්වාසයකුත් තියෙනවා. මේ තත්ත්වය නැති වෙනවා අපි වෙනත් වැඩ සටහන් කළොත්. මට ඒ අදහස කිව්වේ සංගීත් කළුබෝවිල සහ අශෝක ඩයස් කියන මහත්වරුන්.

ප්‍රවෘත්ති නිවේදනයේ යෙදෙන විට නිරන්තරයෙන් අමතක නොවන අත්දැකීම්වලට මුහුණපාන්න වෙනවා. ඒවායින් එකක් දෙකක් කියමුද?

යුද්දෙ දිනපු දවසේ මං ප්‍රවෘත්ති කිව්වා හරියට පැය එක හමාරක්. ඒ වගේම සුනාමි දවසේ පැය දෙකහහමාරක් කිව්වා. ඒ මොහොතවල් දෙක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම පේදුරුතුඩුවේ ගියා මගේ පෞද්ගලික රාජකාරියකට. එදා මං නිවාඩු. ඒ දිනයට ප්‍රවෘත්ති කියන්නට සිටි නිවේදකයා අසනීප වෙලා. හරේන්ද්‍රත් කොළඹ නැහැ. රාජකාරියේ හැටියට මං එන්නම ඕන. මට මේ පණිවුඩය ලැබෙද්දී දහවල් දෙකට විතර ඇති. විදුලි වේගයෙන් වාහනයේ කොළඹ ආවා. හතයි හතළිස් පහටත් පෑලියගොඩ. අටට විනාඩියක් තියලා මං මැදිරියට ගොඩ වුණා. මං හරි ටෙන්ෂන් එකේ හිටියේ මැදිරියට එනකම්. මොකද මං හිතුවේ නැහැ මට වෙලාවට එන්න පුළුවන් වේවි කියලා. ඒත මං ආවා. තවමත් පුදුමයි එදා ආව ගමන ගැන.

ප්‍රවෘත්ති නොකීවට කටහඬ ගැන සැලකිලිමත් විය යුතුයි නේද?

ඔව් ඒක හරි මං නිහඬව හිටියට ප්‍රායෝගික අභ්‍යාස නිතරම කරනවා. ඒක වරදින්නේ නැහැ. කටහඬෙන් තමයි අපේ පැවැත්ම තීරණය වන්නේ.

ප්‍රවෘත්ති නිවේදකයකු නොවුණා නම් ඔබ කවුරු වේවිද?

එහෙනම් මං චෙෆ් කෙනෙකු වේවි.

මේ වන විට සම්මාන කීයකට ඔබ හිමිකම් කියනවාද?

ජාතික මට්ටමේ සම්මාන දහයක් මා සතුයි. ඒත් මම හිතන්නේ නැහැ පරිණත නිවේදකයෙක් කියලා. තවම ඉගෙන ගන්නා කෙනෙක් හැටියටයි මං ජීවත් වෙන්නේ.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

වෙන මොනවත් නෙවෙයි මා වටා ඉන්න මිත්‍ර පිරිසව මතක් කරන්න කැමැතියි. තුෂාරි හේමමාලි, චවිකා ගුණසේකර, තිළිණි පෙරේරා, අයේෂා කල්පනී. ඒ තමයි මගේ ළඟින්ම ඉන්න යෙහෙළියෝ. දුකේදී සැපේදී වැටීම්වලදී ඔවුන් එකසේ මාත් එක්ක හිටියා.