|
2018 උසස් පෙළ සඳහා සැරසෙමුනූර්තියෙන් කඩවුණු පොරොන්දුවට
පසුගිය සතියෙන්... නාඩගම් නිර්මාණකරුවෝ * පිලිප්පු සිඤ්ඤෝ - ඇහැලේපොල, සිංහවල්ලී, හෙලේනා, රජතුන් කට්ටුව සුලඹාවති, ස්ථාක්කි * වී. ක්‍රිස්ට්‍රියන් පෙරේරා - බ්‍රම්පෝඩ්, බැලසන්න * මෝදර පෑලිස් අප්පුහාමි - මියුරින්, මිලිනා, පරවුර * හෙන්ද්‍රික් අප්පුහාමි - රංගවල්ලි, මැරිනා, කාංචි * පී. පීරිස් - ඉයුජින්, ප්‍රෝටියන්, දඹදෙණි කතාව * චාර්ලිස් ද ආබ්‍රේව් - සෙලෙස්තිනා * එන්. ඩී. තෝමස් සිල්වා - ලියමෝරා
නුර්ති බොම්බයේ සිට මෙරටට පැමිණි පාර්සි ජාතික (පර්සියානු) බලිවාලාගේ මූලිකත්වයෙන් යුතු එල්ෆින්ස්ටන් නාට්‍ය සමාගම විසින් නුර්ති මෙරටට හඳුන්වා දෙන ලදී. නුර්ති නාට්‍යයේ ආදි කතුවරයා සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර මහතාය. නුර්ති ලංකාවට පැමිණීමට පෙර මොහු තමාගේ නාඩගම්වල සිංදු හා රාග තාල බොම්බායේ නාට්‍ය කණ්ඩායම්වල සිංදු රාග තාල අනුව සකස් කර නාඩගම් ප්‍රතිනිර්මාණය කළේය. නුර්ති පැමිණි පසු තමාගේ නාඩගම් නුර්ති බවට පෙරලා ඉදිරිපත් කළේය. ඒ අනුව බිහි වූ ප්‍රථම නුර්තිය 'රොලීනා' නම් විය. මොහු නිර්මාණය කළ අනෙකුත් නුර්ති අතර රෝමියෝ ජුලියට්, සිංහබාහු, ස්වර්ණතිලකා යන නූර්තිවලට ප්‍රධාන තැනක් හිමි වේ. නුර්තියට අප්‍රමාණ සේවයක් කළ අනෙක් පුද්ගලයා නීතිඥ ජෝන් ද සිල්වාය. මොහු විසින් රචනා කළ ප්‍රථම නුර්තිය වන්නේ 'පරාභව' නුර්තියයි. මොහු 1902 දී ආර්ය සිංහ නාට්‍ය සභාව' පිහිටුවා සිංහල නුර්තියට ඉමහත් සේවයක් කළේය. ඔහු විසින් නිර්මාණය කරන ලද නුර්ති පහත පරිදි වර්ග කර දැක් විය හැකිය.
ඓතිහාසික කතා සිරිසඟබෝ, දස්කොන්, ශ්‍රී වික්‍රම, වළගම්බා, අලකේශ්වර
බෞද්ධ කතා වෙස්සන්තර, කුස, විදුර
සංස්කෘත නාට්‍ය සකුන්තලා, රත්නාවලී, නගානන්ද
ශේක්ෂ්පියර් නාට්‍ය හැම්ලට්, වැනීසීයේ වෙළෙන්දා, ඔතෙලෝ
සමකාලීන සමාජ නාට්‍ය සුරා සොඬ, පරාභව, මරණානුස්මති
ජෝන් ද සිල්වාගේ නාට්‍ය ලක්ෂණ: * පිරිහෙමින් තිබූ සිංහල ජාතික, ආගමික සිරිත් විරිත් තම නාට්‍ය මඟින් නංවාලීමට උත්සාහ දැරීම. * නාඩගම්වලදී භාවිත වූ දකුණු ඉන්දියානු කර්නාටක සංගීතය වෙනුවට උත්තර භාරතීය රාගධාරී සංගීතය භාවිතයට ගැනීම. * නාට්‍ය රසයට වඩා නාට්‍ය මඟින් උපදෙස් ලබාදීම (මෙම උත්සාහය නිසා නාට්‍ය රසය හීන වී ගිය අතර චරිත හා අවස්ථා නිරූපණය දුර්වල විය). අනෙක් ප්‍රබලම නුර්ති නිර්මාණකරුවා චාල්ස් ඩයස්ය. පණ්ඩුකාභය, නාගානන්ද, කුස ජාතකය,පද්මාවතී ඔහුගේ නුර්ති නිර්මාණ වේ.
නුර්තිය ජනප්‍රිය වීමට හේතු: * නාඩගම දින 3 -7 අතර කාලයක් පෙන් වුව ද නුර්තිය පැය 3 කට සීමා විය. (වෙහෙසකර බව දුරු කළ අතර මේ නිසා රුචිකත්වයද වර්ධනය විය). * නාඩගම්වල ස්ත්‍රී චරිත පිරිමින් විසින් රඟපෑව ද, නූර්තිවලදී ස්ත්‍රීන් රංගන දායකත්වය ලබා දුන්නාය (මේ නිසා ප්‍රේක්ෂක රුචිකත්වය සහ ආකර්ෂණය වර්ධනය විය). * දකුණු ඉන්දියානු කර්නාටක සංගීතය වෙනුවට සුමියුරු රාගධාරී සංගීතය භාවිතයට ගැනීම. * පස් ගොඩ කර පොළව මට්ටමෙන් උස් කොට තැනූ නාඩගම් වේදිකාව වෙනුවට පහසුකම් සහිත නවීන වේදිකාවක් භාවිතයට ගැනීම. * නාඩගම්වලදී භාවිත කළ පන්දම් හෝ කිට්සන් ලාම්පු වෙනුවට නවීන අලෝක උපකරණ භාවිත කළහ. * නාඩගම්වලට වඩා නුර්තියේදී වේදිකා පසුතල, රංග වස්ත්‍ර, අංග රචනය යන අංගවලට සුවිශේෂී තැනක් හිමි විය.
නුර්ති පිළිබඳව විවේචන 'භාරතයේ නුතන නගරවල විසූ භින්න රුචික ප්‍රේක්ෂකයින්ගේ විනෝද මාර්ගයක් ලෙස වැඩුණු නූතන සංකර නාට්‍ය කලාවක් ආදර්ශ කොටගෙන හැඩ ගැසෙන්නට වීම සිංහල නුර්තියේ ප්‍රථම අභාග්‍ය විය. ද්විතීය අභාග්‍ය නම් නුර්ති ක්ෂේත්‍රයට බට ලේඛකයන් අතර නාට්‍ය සන්දර්භය පිළිබඳ හසල බුද්ධියෙන් යුතු රචකයන් දුර්ලභවීමයි. පාර්සි නාට්‍ය කලාව වූ කලී නියම භාරතීය නාට්‍ය සම්ප්‍රධායේ විකාශයක් නොව භාරතීය සංස්කෘතිය හා යුරෝපීය සංස්කෘතිය යන මේ දෙකේ නොමනා සංසර්ගයෙන් හටගත් අවජාතක ඵලය ලෙස හැඳින්විය හැක.' එදිරිවීර සරච්චන්ද්‍ර ('සිංහල ගැමි නාටකය' කෘතිය)
නූර්තිය පිරිහීමට හේතු * විවිධ සංස්කෘතීන්ගෙන් මිශ්‍ර කොටගත් අංග නූර්තිය තුළ දක්නට ලැබීම. * අනුචිත ගීත හා සිංදු බහුලව යොදා ගැනීම නිසා නාට්‍ය රසයට වඩා ගීත රසය ඉස්මතු වීම * රසය විසිරී යන ආකාරයට අනවශ්‍ය ලෙස ජවනිකා යොදා ගැනීම * නාට්‍ය සන්දර්භය පිළිබඳ දැනුවත් බවකින් යුත් රචකයන් දුර්ලබ වීම
දේශිය නාට්‍ය කලාව පෝෂණයට නුර්තියෙන් ලද දායකත්වය * විශාල නාට්‍ය සංඛ්‍යාවක් බිහිවීම නිසා පසුකාලීන නාට්‍ය කලාවේ පෝෂණයට විශාල මෙහෙවරක් ඉටු වීම * ආනුශාංගික අංග උපරිම ලෙස භාවිතයට ගැනීම * වේදිකා තාක්ෂණය උපරිම ලෙස භාවිතයට ගැනීම * වෘත්තීය නාට්‍ය කලාවක් බිහිවීමට පදනම සැකසීම * නව රංග ශෛලියක් බිහි වීම
මිනර්වා නාට්‍ය (ජයමාන්න නාට්‍ය) බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතා විසින් නිර්මාණය කළ මිනර්වා නාට්‍ය කණ්ඩායම විසින් රඟ දැක් වූ නාට්‍ය 'මිනර්වා නාට්‍ය' ලෙස හැඳින්වේ. මෙම නාට්‍ය කණ්ඩායම නිර්මාණය කළ පහත සඳහන් නාට්‍ය වැදගත් වේ. * කඩවුණු පොරොන්දුව * උමතු විශ්වාසය * කපටි ආරක්ෂකයා * හදිසි විනිශ්චය * සැඟවුණු පිළිතුර
මිනර්වා නාට්‍යවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ: * පෙර තිබූ නාඩගම සහ නූර්තිවලින් බැහැර වීම * පැරැණි ඓතිහාසික කතා වෙනුවට තත්කාලීන සමාජය පදනම් කරගත් කල්පිත කතා වස්තු නිර්මාණය කිරීම * වානිජ පරමාර්ථය මුල් කර ගැනීම නිසා ත්‍රාසය, භීතිය, කුතුහලය, ප්‍රේමය, අද්භූත වැනි තේමාවලට මූලිකත්වය දීම. * මධ්‍යම පන්තිය ඉලක්ක කර ගැනීම * ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී යන සම්ප්‍රදායන් දෙකේ මිශ්‍රණයෙන් වීම (එම නිසා ගීතය හා සංවාදය යන දෙකම භාවිතයට ගනී) * සමාජයේ ඉහළ කොටස් උපහාසයට ලක් කිරීම.
මිනර්වා නාට්‍ය ජනපි‍්‍රය වීමට හේතු * ජොසී බබා සහ මනප්පුවා වැනි විකට චරිත යොදා ඉදිරිපත් කළ විහිළු අතුරු කතා මඟින් ගැලරිය පිනවීම. * රුක්මණී දේවිගේ අලංකාර නැටුම්, මිහිරි ගීත ගායනය, එඩී ජයමාන්නගේ විකට ජවනිකා සහ බී. ඒ. ඩබ්. ජයමාන්නගේ දක්ෂ රංගනය
මිනර්වා නාට්‍යවල දුර්වලතා * චරිත නිරූපණය දුර්වල මට්ටක පැවතීම * සරල හාස්‍යයට මුල්තැන දීම නිසා රස නිශ්පත්තිය දුර්වල වීම * ව්‍යවහාර භාෂාව වෙනුවට ලිඛිත භාෂාවක් භාවිතයට ගැනීම * ගීතය හා සංවාදය දෙකම භාවිත කළ ද එය අවස්ථාවට උචිත පරිදි යොදා නොගැනීම
මිනර්වා නාට්‍ය පිළිබඳ විවේචන ජයමාන්න නාට්‍ය අභාවයට ගියේ කලාත්මක ස්වරූපයෙන් ඈත්වීම හෝ ජාතිය නැමති සිරුර පුරා දිවෙන සංස්කෘතිය නැමති රුධිරය සමග මිශ්‍රවීමට අසමත් වීම නිසා නොවේ. ඒ තත්ත්වය ප්‍රේක්ෂක ජනයාට කෙමෙන් අවබෝධ වීම නිසා ඔවුන් තුළ කලකිරීමක් ඇතිවීමේ කාලයක් එලඹෙන්නටත් පෙර නාට්‍ය නිෂ්පාදකයින් වැඩි ආදායමක් ලැබිය හැකි ජාවාරමක් වූ චිත්‍රපට නිෂ්පාදනයට බැසීම නිසාය.' පියදාස නිශ්ශංක (සිංහල නාට්‍ය කලාව සහ පබාවතී කෘතිය) |