වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




රෝගීන් සුවපත් කරන නාට්‍ය උලෙළක්

රෝගීන් සුවපත් කරන නාට්‍ය උලෙළක්

අලි මදිවට කොටි, යකා මළා, කන්ඩයි ආවේ කාලයි යන්නේ ආදී වේදිකා නාට්‍ය හෙළ වේදිකාවට දායාද කළ ප්‍රවීණ නාට්‍යවේදී රාජ්‍ය සම්මානලාභී කලා භූෂණ එස්. විජේසිංහයන්ගේ නවතම නාට්‍ය නිර්මාණය 'අතිගරු වානගුරු' සමඟ 'මමයි ඩොක්ටර්' 2018 මැයි 27 ඉරිදා සවස 6 ට හංවැල්ල රාජසිංහ විද්‍යාල රඟහලේදී වේදිකා ගත වේ. මෙය රෝගීන් සුවපත් කිරීමේ නාට්‍ය උලෙළ ලෙස නම් කර ඇත.

මොකක්ද මේ රෝගින් සුවපත් කිරීමේ නාට්‍ය උලෙළ කියන්නේ?

සිංහල සංස්කෘතියට අනන්‍ය කලාංගයක් වූ වේදිකා නාට්‍ය ජනගත කිරීම තුළින් උසස් රස වින්දනයක් පමණක් නොව නිරෝගීව තම ජීවන රටාව හැඩ ගැස්සවීම සඳහා මානසික සුවය කොතරම් බලපානවද කියා මෙම නාට්‍ය උලෙළ තුළින් ප්‍රේක්ෂකයින්ට පණිවිඩයක් දීම තමයි අපේක්ෂාව.

රංගන ශිල්පීන් ගැන?

ප්‍රවීණ රූපවාහිනී හා වේදිකා නාට්‍ය ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. දයානන්ද හේවගේ, චන්න කුලරත්න, සමන් ඉන්ද්‍රජිත්, ධම්මිකා දමයන්ති අංග රචනයෙන් ගාමිණී කොස්තා ද සංවිධාන ශක්තිය ලබා දෙන්නේ අජිත් බෝගොඩ, අතුල ප්‍රියන්තය.

2018 මැයි 27 සවස 6 ට හංවැල්ල රාජසිංහ විද්‍යාල රඟමඬලට පැමිණ රෝගීන් සුවපත් කරන නාට්‍ය උලෙළ නරඹන්න කියා කලාවට හිතැති සියලුම ප්‍රේක්ෂකයින්ට ගෞරවයෙන් ආරාධනය කරනවා. විමසීම් - 0777585458.


පැරැණි ගී ප්‍රසංගයක්

රංගන ශිල්පිණියක් මෙන්ම මෝස්තර නිර්මාණ ශිල්පිණී හා කලා අධ්‍යක්ෂවරියක්, නර්තන ගුරුවරයක් වන නාලිනී මල්කාන්ති මසකට වරක් පවත්වනු ලබන පැරැණි ගී ප්‍රසංගයක් සෑම මසකම සති අගදී පවත්වනු ලබයි. එය පැරැණි ගී රසය ප්‍රිය කරන රසිකයන් වෙනුවෙනි. ශබ්ද තාක්ෂණය හා සජීවි සංගීතය සමඟ ගී ගයන්නට කැමැති ඕනෑම කෙනකුට මේ සඳහා සහභාගි විය හැකිය. පැරැණි ගීයට සංගීතය මුසු කරනු ලබන්නේ විශාරද බුද්ධික විතානගේ ගෙනි. ඇය මේ සඳහා රැකියාවල නියුතු වෘත්තිකයන්ට ද අවස්ථාව සලසා දී ඇත. ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම සුහද ප්‍රසංගය පවත්වනු ලබයි. ඒ නගර අතර බොරැල්ල, කොට්ටාව, බොරලැස්ගමුව, පිළියන්දල, රත්මලාන යන නගරයි. සෑම මසකම සති අග සෙනසුරාදා / ඉරිදා සවස 5.00 සිට රත්‍රී 10.30 දක්වා මෙම සංගීත හමුව පවත්වනු ලබයි. මතකයේ රැඳුණු ගී ප්‍රසංගය සියලුදෙනාටම නොමිලේ රස විඳීමේ අවස්ථාව ද උදා වී ඇත. මේ මස සෙනසුරාදා රත්මලානේ ධර්මාරාම විද්‍යාලයේදී ද, ඉරිදා බොරලැස්ගමුවේ සමිති ශාලාවේදී ද පැවැත්වේ.


‘දාසි’

ජනපි‍්‍රය ලේඛක නිමල් සේදරගේ නවතම කෘතිය 'දාසි' පසුගිය දින දොරට වැඩුම සිදු විණි. 'දාසි කාලීන' ඔහුගේ නවතම නවකථාවයි. විදේශීය රටවල ගෘහ සේවිකාවන් ලෙස ජීවත්වන කාන්තාවන්ට මුහුණ පාන්නට සිදුවන ඛේදජනක අත්දැකීම් සමුදායක් පදනම් කර ගනිමින් මෙම නවකතාව නිමල් සේදර රචනා කොට ඇත. දාසි නවකථාවේ ප්‍රධාන චරිතය වන 'බිසෝ' අත් විඳින දුක්ඛ දෝමනස්ස, අත් විඳින පිඩනයට එරෙහිව නැඟී සිටීම පාඨකයාට ජනිත කරවන නවකතාවකි.